Monday, July 4, 2022

අගමැති රනිල් 107 වන ජාත්‍යන්තර රොටරි සමුළුවේ මුඛ්‍ය දේශනය කරයි

රොටරි සමාජය වැනි ජාත්‍යන්තර සේවා සංවිධානයන්ට ආණ්ඩුවක් පය ගැසීමට බිය වන තැන්වලට යෑමටත්, වෙනත් කිසිවෙකුට අත පෙවිය නොහැකි තැන් ස්පර්ශ කිරීමටත් හැකියාව ඇති බැවින්, එවැනි සංවිධානයන්ගේ හවුල්කාරීත්වය ලබා ජනතාවට වඩාත් පුළුල් සේවාවක් ඉටු කිරීමට ලෝකයේ ආණ්ඩු කටයතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජාත්‍යන්තර රොටරි සමාජයේ 107 වන ජාත්‍යන්තර සමුළුවේ මුඛ්‍ය දේශනය පවත්වමින් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ සේවා සංවිධාන සමග හවුලේ කටයුතු කිරීම හෝ යම් යම් සේවාවන් ඉටු කිරීම සඳහා සේවා සංවිධානවල සේවය වෘත්තීයමය පදනමින් ලබා ගැනීම වැනි පියවර පිළිබඳව අලූතින්  සිතා බැලිය යුතු බවය. ඒ ඔස්සේ සුබසාධන සේවා වඩාත් අඩු පිරිවැයකින් සිදු කිරීමේ ක්‍රමවේදයක් සකසා ගත හැකි බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ලෝකය පුරා සිටින රොටරි සාමාජිකයන් පණස් දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් 107 වන ජාත්‍යන්තර රොටරි සමුළුව මැයි 29 වන දා දකුණු කොරියාවේ සියොල් පුරවරයේ ගොයං නගරයේ පිහිටි කොරියා ජාත්‍යන්තර ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී උත්සවාකාරයෙන් ආරම්භ කෙරුණු අතර, විශේෂ ආරාධිතයන් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බන් කී මූන් සහ දකුණු කොරියානු අග්‍රාමාත්‍ය ගරු හ්වං ක්යොආන් මහත්වරුන්ද සහභාගී වූහ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය ඩී එම් ස්වාමිනාදන් මහතා ද රොටරි සාමාජිකයෙකු ලෙස මේ අවස්ථාවට එක් විය.

රොටරි සමුළුවේ සමාරම්භක උත්සවය ඉතා විචිත්‍රවත් හා අභිමානවත් අන්දමින් ඇරඹුණේ කොරියානු සංස්කෘතියේ කැපී පෙනුණු අංගයක් වන සටන් කලා පදනම් කර ගත් සංදර්ශනයකිනි. ඉන් පසු වත්මන් රොටරි සභාපති කේ ආර් රවීන්ද්‍රන් මහතා සිය සාමාජිකයන් පිළිගනිමින් අදහස් දැක්වීය.

මෙහිදී විශේෂත්වයක් වූයේ රොටරි සංවිධානයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත පෝල් පී හැරිස් මහතා නවීන තාක්‍ෂණ ක්‍රමවේදයන් ඔස්සේ වේදිකාව මත සජීවී ලෙස මවා පෙන්වීමයි. හැරිස් මහතා සහ රවීන්ද්‍රන් මහතා අදහස් හුවමාරු කර ගන්නා අයුරින් මේ අවස්ථාව නිරූපණය විණි.

ඉන් අනතුරුව රොටරි ජාත්‍යන්තරයට සම්බන්ධ රටවල් 200 ක ජාතික ධජ හඳුන්වා දුන් අතර අවසානයේ දකුණු කොරියානු සහ ශ්‍රී ලංකා ජාතික ගීත ගායනා කෙරිණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බන් කී මූන් මහතා සහ දකුණු කොරියානු අග්‍රාමාත්‍ය හ්වං ක්යොආන් මහත්වරුන් සභාව ඇමතීමෙන් පසුව මුඛ්‍ය දේශනය පැවැත්වුණු අතර, ඒ සඳහා වික්‍රමසිංහ මහතා වේදිකාවට පැමිණෙද්දී රැස්ව සිටි සියළු දෙනා අසුන්වලින් නැගිට ගෞරවය පළ කළහ.

සිය දේශනයේදී වික්‍රමසිංහ මහතා අධාරණය කළ විශේෂ කරුණක් වූයේ ආණ්ඩු යන්ත්‍රණයේදී මෙන්ම, සේවා සංවිධාන ක්‍රියාවලියේදී ද කාන්තා හා තරුණ සහභාගීත්වයේ අවශ්‍යතාවයයි. පහළ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා වූ සෑම තලයකදීම ක්‍රියාකාරී කාන්තා සහභාගීත්වයක් ලබා ගැනීම පිලිබඳ ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම අතිශය වැදගත් බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

14ac7578-cfc0-4cc6-8395-d5de3aecef87

7a789b85-b86c-4c9e-9e24-e6218db9cc96

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles