Thursday, May 19, 2022

අධිවේගයේදී ඇල්ලූ ජීප් රි‍යේ ව්‍යාජ අංක තහඩු

අගමැතිතුමාගේ පසුගමන් රාජකාරී ආරක්ෂක රථ පෙළ පසුපසින් ගමන්කරනා රථයක් බව පවසා පොලිසියෙන් පලා යාමට උත්සාහ දැරූ ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ ලෑන්ඩ් කෘෂර් වර්ගයේ ජීප් රථයක් ව්‍යාජ අංක තහඩු හයක් සමඟ මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (10) පෙ.ව. 11.15ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිවිසුමෙන් ඇතුළු කිරීමට සූදානම් වූ මෙම රථය තංගල්ල මාතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ සහ මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක සුනිල් මහින්ද කල්දේරා මහත්වරුන් ඇතුළු නිලධාරීන් මෙම ජීප් රථය සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ජීප් රථයේ තිබී ව්‍යාජ අංක තහඩු 6ක්ද පොලිසිය සොයාගෙන ඇත. සැකකරු බදුල්ල රිදීපාන ප්‍රදේශයේ පදිංචි (අවු. 32) ‍අයකු වන අතර මොහුගේ හැඳුනුම්පතේ ජනමාධ්‍ය අධ්‍යක්ෂ යනුවෙන් තනතුරක්ද සඳහන් වී ඇත.

සැකකරු ව්‍යාජ අංක තහඩු භාවිත කරමින් අපරාධ සිදු කර ඇතිද, අග්‍රාමාත්‍යතුමා ගමන් කරන පසු ගමන් ආරක්ෂක රථ පෙළ පිටුපස ගමන් කර තිබේද? කොතරම් කාලයක් මොහු වංචනික ලෙස මෙසේ හැසිරී ඇත්ද? යනුවෙන් දීර්ඝ ලෙස පරීක්ෂණ පැවැත්වීමට මාතර පොලිසිය පියවර ගෙන ඇත. සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න, හම්බන්තොට මාතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ, මාතර පොලිස් අධිකාරී ජී.එම්. මාරපන යන මහත්වරුන්ගේ උපදෙස් මත මාතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් මහින්ද කල්දේරා මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles