Friday, August 19, 2022

“අභියෝග මැද වුවත් ශ්‍රී ලංකා ආර්ථිකයේ ගමන සාර්ථකයි”


මෑත කාලයේ දී උද්ධමනයේ කිසියම් ඉහළ යෑමක් සිදු වුවද, නිසි සැපයුම් සහ ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති හේතුවෙන් වසර තුළ දී සාමාන්‍ය උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ පවතිනු ඇතැයි පුරෝකථනය කෙ‍ෙර්. ‍

ශ්‍රී ලංකා ආර්ථිකය විවිධ අභියෝගවලට මුහුණ දෙමින් වුවද, ඉදිරියේ දී ස්ථාවර හා ශක්තිමත්භාවයට පවත්වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

මුදල් මණ්ඩලය විසින් ආර්ථික ස්ථායිතාවය ඇති කරලීම සඳහා අරගනු ලැබූ හා ගන්නා වූ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල අනුව මේ බව ප්‍රකාශ ක‍ළ හැකි බවද මහ බැංකුව පවසයි.

සංචාරක ඉපැයීම් සහ විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ඉපැයීම් වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ආචාර්ය යූතිකා ඉන්ද්‍රරත්න මහත්මිය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකා ආර්ථිකය කොයිබට ද? යන පැනය අසන සැමට ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ දැක්ම ප්‍රකාශ කිරීම මේ මුල්‍ය ප්‍රතිපත්ති විවරණය එළිදැක්වීමෙන් සිදු කැරිණි. වසර 2015ට සාපේක්ෂව වසර 2016 අප රට අත්කරගත් ආර්ථික තත්ත්ව විශ්ලේෂණයක් මින් ඉදිරිපත් කැරිණි.

උද්ධමනය, වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට සපයන ලද ණය ප්‍රමාණය, විදේශ අංශය, සංචාරක ඉපැයීම් වැනි ප්‍රධාන අංශ කිහිපයක දත්ත විශ්ලේෂණය කළ ආචාර්ය යූතිකා ඉන්ද්‍රරත්න මහත්මිය, වසර 2016 ජනවාරි සිට දෙසැම්බර් දක්වා වාණිජ බැංකු පෞද්ගලික අංශයට සපයන ලද ණය ප්‍රමාණයෙහි වැඩිවීමක් දක්නට ඇතැයි කීවාය. වසර 2015 දී රුපියල් බිලියන 78.7 ක් වූ එම ණය ප්‍රමාණය වසර 2016 රුපියල් බිලියන 81.3 දක්වා සියයට 21.9කින් ඉහළ ගොස් තිබේ.

වසර 2016 දී පෞද්ගලික අංශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 754.9ක්වූ අතර, එම ප්‍රමාණය වසර 2015 දී රුපියල් බිලියන 691.4 වේ.

රජයේ ආදායම් ලැබීම්වල ප්‍රගතියක් සනිටුහන් වූ වසර 2016 ජනවාරි – ඔක්තෝබර් කාලය තුළ රාජ්‍ය ආදායම් ලැබීම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 10.8ක් විය. එය වසර 2015 එම කාල පරිච්ඡේදයේ දී සියයට 9.7ක් විය.

වසර 2016 මුල් මාස දහයේදී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 15.3ක් දක්වා ඉහළ ගියේය. වසර 2016 දී සමස්ත අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 4.4ක් වූ අතර, එය වසර 2015 දී සියයට 5.4ක් වී තිබේ.

වසර 2016 මුල් මාස 11 ඇතුළත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9.4ක් විය. එය සියයට 2.7 වැඩිවීමකි.

එනමුත් ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 17.6 දක්වා සියයට 1.7 වැඩිවීමක් ද වේ.

ආහාර හා ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (කො.පා.මි.ද., 2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස අනුව මනිනු ලබන මතුපිට උද්ධමනය, 2016 දෙසැම්බර් මාසයේ දී වාර්තා කරන ලද සියයට 4.5 හා සැසඳීමේ දී 2017 ජනවාරි මාසයේ දී සියයට 5.5 ක් දක්වා ඉහළ ගියේය.

‍කො.පා.මි.ද. මත පදනම් වූ මූලික උද්ධමනය ද 2016 දෙසැම්බර් මාසයේ වාර්තා කරන ලද සියයට 5.8 සිට 2017 ජනවාරි මාසයේ දී සියයට 7.0 ක් දක්වා ඉහළ ගියේය. කාලපමාවක් සහිතව ප්‍රකාශයට පත් කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (ජා.පා.මි.ද., 2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මත පදනම්ව ගණනය කරනු ලබන මතුපිට හා මූලික උද්දධමනයෙහි, කිසියම් ඉහළ යෑමක් පෙන්නුම් කරමින් 2016 දෙසැම්බර් මාසයේ දී පිළිවෙළින්, සියයට 4.2 ක් සහ සියයට 6.7ක් විය.

බදු ව්‍යුහයේ සිදු කරන ලද වෙනස්කම් සහ අයහපත් කාලගුණ තත්ත්වයන්හි බලපෑම හේතුවෙන් මෑත කාලයේ දී උද්ධමනයේ කිසියම් ඉහළ යෑමක් සිදු වුවද, නිසි සැපයුම් සහ ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති හේතුවෙන් වසර තුළ දී සාමාන්‍ය උද්ධමනය මැදි – තනි අගයක මට්ටමේ පවතිනු ඇතැයි පුරෝකථනය කෙ‍ෙර්. ‍

මේ අතර, 2016 වසර අවසානයේ දී වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට සපයන ලද ණය ප්‍රමාණයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය සියයට 21.9 ක ඉහළ අගයක් වාර්තා කළේය. 2016 ජූලි මාසයේ පැවැති සියයට 28.5 ක ඉහළ මට්ටම හා සාපේක්ෂව ණය වර්ධනයෙහි කිසියම් අඩු වීමක් වාර්තා වුවද, නාමික හා මූර්ත පොලී අනුපාතිකවල සැලකිය යුතු ඉහළ යෑම මධ්‍යයේ වුවද ණය ප්‍රසාරණය ඉහළ මට්ටමක පැවැතුණි.

ප්‍රධාන වශයෙන්, පෞද්ගලික අංශයට සහ රාජ්‍ය අංශයට සපයන ලද ණය ප්‍රමාණයෙහි ඉහළ ය‍ෑමෙහි ප්‍රතිඵලයක් වශයෙන්, 2016 වසර අවසානයේදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් සැපයුමෙහි (M26) වර්ධනය සියයට 18.4 ක ඉහළ මට්ටමක පැවතියේය. අපේක්ෂිත මූර්ත ආර්ථික වර්ධනය සහ මැදි තනි අගයක මටටමේ උද්ධමනය හා ගැලපෙන අගයක් දක්වා මුදල් සහ ණය සමස්තවල ප්‍රසාරණය 2017 වසර තුළදී ක්‍රමිකව මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විදේශ අංශය සැලකූ කල, ආනයන වියදම් ඉහළ යෑම සහ අපනයන ආදායමේ අඩුවීම හේතුවෙන් වෙළඳ ශේෂයේ සමුච්චිත හිඟය 2015 වස‍ෙර් පළමු මාස එකොළහ තුළ දී පැවැති එ.ජ. ඩොලර් බිලියන 7.6 හා සාපේක්ෂව 2016 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී එ.ජ. ඩොල් බිලියන 8.2 දක්වා තවදුරටත් පුළුල් විය. සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, වෙළද ශේෂයේ හිඟය මඟින් සමස්ත ගෙවුම් ශේෂය මත ඇති කරනු ලබන අහිතකර බලපෑම තවදුරටත් අවම කිරීමට හේතු විය.

වසර 2016 දී සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර් බිලියන 3.4 දක්වා සියයට 14.0 කින් වර්ධනය වී ඇතැයි ඇස්තමේන්තුගත කර ඇති අතර, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එ.ජ. ඩොලර් බිලියන 7.2 දක්වා සියයට 3.7 කින් වර්ධනය විය. 2016 වසරේ පළමු මාස ණය තුළ දී ඍජු විදේශ ආයෝජන ලැබීම් අපේක්ෂිත මට්ටමට වඩා අඩු වූ අතර, රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ තුළ විදේශ ආයෝජනවල පිටතට ගලායෑමක් වාර්තා විය.

දළ නිල සංචිත, 2016 වසරේ අවසානයේ වාර්තා කළ එ.ජ. ඩොලර් බිලියන 6.0 හා සාපේක්ෂව 2017 ජනවාරි මස අවසානයේ දී එ.ජ. ඩොලර් බිලියන 5.5 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. විදේශ අංශයෙහි වර්ධනයන් පිළිබිඹු කරමින්, 2016 දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 3.8 කින් අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල 2017 වසරේ මේ දක්වා සියයට 0.5 කින් තවදුරටත් අවප්‍රමාණය වී ඇත.

ඉහත කරුණු සැලකිල්ලට ගනිමින්, 2015 වසර අවසානයේ සිට ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය විසින් ක්‍රියාවට නංවන ලද ලද ස්ථායීකරණ ක්‍රියාමාර්ග සඳහා ආර්ථිකය ක්‍රමානුකූලව ප්‍රතිචාර දක්වමින් සිටින බව 2017 පෙබරවාරි 06 වැනි දින පැවැති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස විය.

කෙසේ වෙතත්, අවශ්‍ය පරිදි තවදුරටත් සුදුසු පිළියම් යෙදීමේ අරමුණින් ඉදිරි කාලයේ දී සාර්ව ආර්ථික වර්ධනයක් සමීපව අධීක්ෂණය කිරීම අවශ්‍ය වේ.

මෙම පසුබිම තුළ, දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළ‍ිවෙළින්, සියයට 7.00 සහ සියයට 8.50 මට්ටමේ තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේය.

මුදල් ප්‍රතිපත්ති තීරණය ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවතී
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 7.00‍
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 8.50
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) සියයට 7.50

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles