Wednesday, October 5, 2022

ආක්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ මට්ටුකරන්න ජාතික ප්‍රතිපත්තියක්

ජෛව පද්ධතියට බාහිරින් ඇතුල්වී දේශීය විශේෂ අභිබවා වේගයෙන් ව්‍යාප්ත වන ජීවී විශේෂ ආක‍්‍රමණශීලී ආගන්තුක ජීව විශේෂ ලෙස අපි හදුන්වමු. අද වන විට ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථක  හා පාරිසරික වශයෙන් විවිධ අංශ ගණනාවක් සදහා මෙම විශේෂ ආක‍්‍රමණශීලී ආගන්තුක ජීව විශේෂ වල බලපෑම ඇති වී තිබේ.

විශේෂයෙන් ගොවි බිම් වල ඵලදාව , වාරිමාර්ග පද්ධතිවල කාර්්‍යක්ෂමතාව මෙන්ම මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට සෘජු බලපෑමක් එල්ල වී තිබේ. තවද මෙමගින් පරිසර පද්ධතියේ ඇති ජෛව විවිධත්වයට ඇති වන තර්ජන අති මහත්ය.

ශී‍්‍ර ලංකාව ජෛව විවිධත්වය අතින් පොහොසත් රටක් ලෙස හඳුනාගෙන ඇත. ආසියානු කලාපයේ සපුෂ්ප ශාක, උභය ජීවීන්, උරගයින් හා ක්ෂීරපායීන් ගේ වැඩිම විශේෂ ඝනත්වයක් ඇති රටද ශී‍්‍ර ලංකාව වේ. එබැවින් කලාපීය හා ජාත්‍යන්තර වශයෙන්ද ශී‍්‍ර ලංකාවේ ජෛව විවිධත්වය වැදගත්කමක් උසුලයි. කෙසේ වෙතත්, මෙකී සිත්ගන්නාසුලූ පරිසර පද්ධතිය විවිධාකාර වූ මානව ක‍්‍රියාකාරකම් හා ස්වභාවික උවදුරු හේතුවෙන් විශාල ලෙස තර්ජනයට ලක්ව ඇත. මෙම තත්ත්වය යටතේ අන්තර්ජාතිකව ශී‍්‍ර ලංකාව  Biodiversity hotspot ජෛව විවිධත්වය අධික වුවත් බෙහෙවින් තර්ජනයට ලක්වූ කලාපයක් ලෙස හඳුනාගෙන ඇත.

ආක‍්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ ( Invasive Alien Species ) මෙරට තුල ස්ථාපිත වීම හා ව්‍යාප්ත වීමද ජෛව විවිධත්වය කෙරේ බලපාන මූලික තර්ජනයක් වී ඇත.

ආක‍්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ ජෛව විවිධත්වය කෙරේ බලපාන මූලික තර්ජනයක්

වන අතර විශේෂයෙන්ම කුඩා දූපත් හා සංවර්ධනය වන රටවල් වැනි භූ විද්‍යාත්මකව හා  පරිණාමික වශයෙන් හුදෙකලා වූ පරිසර පද්ධති වලට මෙමගින් බලපෑම් ඇතිකරවයි. ඉහළ යන ගෝලීය වෙළ`දාම, ප‍්‍රවාහනය, සංචාරක කර්මාන්තය හා ගෝලීය උෂ්ණත්වය වැඩිවීම හා දේශගුණ විපර්යාස යන සාධක නිසා ආක‍්‍රමණශීලිතාවය සිදුවීමට හැකි අවදානමද ඉහල යයි

මෙවැනි ජීව විශේෂ ව්‍යාප්ත වීම හා එවායේ බලපෑම අවම කිරීමට යෙදූ විවිධ උපාය මාර්ග හා වැඩසටහන් මනා සැළසුමක් හා කළමණාකරන යාන්ත‍්‍රණයකින් තොර වීම හා ඒ සදහා  ශක්තිමත් නීති පද්ධතියක් නොමැති වීම හේතුවෙන් මෙමගින්  සිදුවන පාරසරික ආර්ථික හා සමාජීය බලපෑම දිනෙන් දින ඉහල යන්නට විය.

මෙය රටේ ඉදිරිගමනට හා සංවර්ධනයට සෘජුවම හා වක‍්‍රාකාරයෙන් බලපාන්නා වූ අභියෝගාත්මක තර්ජනයකි.

මෙවන් පසුබිමක ආක‍්‍රමණශීලී ආගන්තුක ජීව විශේෂ පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක අවශ්‍යතාවය මැනවින් හදුනාගත් අදාළ විෂය භාර අමාත්‍යවරයා ලෙස අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිඳුන් ආක‍්‍රමණශීලී ආගන්තුක ජීව විශේෂ පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය, උපායමාර්ග හා ක‍්‍රියාකාරී සැලැස්ම මෑතකදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව වර්ෂ 2016 මාර්තු 30 වන දින ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණි.

DSC_1871

ඉන්පසු විවිධ කේෂත්‍රන්හි උගතුන් බුද්ධිමතුන් ඇතුළු විෂය ප්‍රවීණ්නගේ සම්පත් දාකත්වයෙන් පිළියල වූ ආක‍්‍රමණශීලී ආගන්තුක ජීව විශේෂ පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය, උපායමාර්ග හා ක‍්‍රියාකාරී සැලැස්ම 2016 ජුනි මස 05 වන දින ඓතිහාසික මාතලේ පුරවරයේ දී පැවැති ජගත් පරිසර දින සැමරුම් උළෙලේ දී  එළි දක්වන ලදී.

මෙම අවස්ථවේදී මහවැලි සංවර්ධන හා පරිසර අමාතංශ‍යේ ලේකම් උදය ආර් සෙනවිරත්න මහතා අතින් ආක‍්‍රමණශීලී ආගන්තුක ජීව විශේෂ පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය, උපායමාර්ග හා ක‍්‍රියාකාරී සැලැස්මේ සිංහල දෙමළ හා ඉංග්‍රීසි යන තෛභාෂාවෙන්ම සැකසු පිටපත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිදුන් හට පිරිනමන ලදී

එම අවස්ථාවේ උත්සවය ඇමතූ ජනාධිපතිතුමන් ප්‍රකාශ කර සිටියේ තමා  ඇමතිවරයෙක්ව අදාළ අමත්‍යංශයේ සිටි අවධියේ පවා මෙවැනි ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය මතුවුවද තිබූ වතාවරණය උඩ ඒවා ක්‍රියාත්මක නොවූ බවයි. නමුත් අවුරුදු ගණනක් ගතවී  හෝ මෙවැනි දෙයක් ක්‍රියාත්මක කිරීමට හැතිවීම පිළිබද මහත් සතුටට පත්වන බවයි.

දැනටමත් මාතලේ දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවල ආක‍්‍රමණශීලී ආගන්තුක ජීව විශේෂ පාලනය කිරීමේ වැඩසටහන් සාර්ථක අයුරින් ක්‍රියාත්මක වන බවත් නකල්ස් රක්ෂික ප්‍රෙද්ශයේ හා මහවැලි ගංගා ධාර ප්‍රෙද්ශවල ආක‍්‍රමණශීලී ආගන්තුක ශාක ඉවත් කිරීම සාර්ථකව සිදුවන බව එතුමා විසින් ප්‍රකාශ කරන ලදී.

ප්‍රජා සහභාගීත්වයෙන් මතලේ දිස්ත්‍රික්කයේ වාසල කෝට්ටේ වැවක විශේෂිත දේශීය තාක්ෂණික උපකරණයක් මගින් ඉතා අඩු පිරිවැයක් යටතේ ජපන් ජබර ඉවත් කිරිමෙ සදහා නායකත්වය  ලබාදුන් ග්‍රාම නිළධාරී මහතෙකු ඇගයීම සදහා අතිගරු ජනාධිපති තුමන් අතින් සහතික පත් ප්‍රදානයක්ද සිදුකරන ලදී.

මෙම ජාතික ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම රටේ සමස්ථ පාරසරික පද්ධතියට සෘජුවම බලපාන අතර සමාජීය හා ආර්ථික වශයෙන් වක‍්‍රාකාරයේ ප‍්‍රතිලාභ රැසක් අත්කර දීමට සමත් වේ.

මෙමගින් මෙවැනි ජීවීන්  කළමණාකරනය කිරීමට කාර්්‍යක්ෂම ආයතනික  යාන්ත‍්‍රණයක් ඇතිකිරීමටත්  යෝග්‍ය නෛතික රාමුවක් සකස් කිරීමටත්  මග සැලසේ.

vlcsnap-2016-06-10-22h41m04s177

මෙම  ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ප‍්‍රධාන අංග 05 කින් සමන්විතයි.

එනම්, පොදු ප‍්‍රතිපත්ති, නිවාරණය පිළිබඳ ප‍්‍රතිපත්ති , කල්තියා හදුනාගැනීම හා කඩිනම් ප‍්‍රතිචාර පිළිබඳ ප‍්‍රතිපත්ති

සීමා කිරීම , පාලනය හා මුලිනුපුටා දැමීම පිළිබඳ ප‍්‍රතිපත්ති  සහ ජෛව විවිධත්වය, වාස භූමි හා පරිසර පද්දති ප‍්‍රතිස්ථාපනය කිරීම පිළිබඳ ප‍්‍රතිපත්ති වේ

මෙම පස් වැදෑරුම් අංගයන්ගෙන් යුතු ප‍්‍රතිපත්ති සාක්ෂාත් කරගැනීම සඳහා උපාය මාර්ග ද හදුනාගෙන එය ක‍්‍රියාත්මක කිරීම සදහා වන ජාතික ක‍්‍රියාකාරී සැළැස්මක් ද මේ තුළ අන්තර්ගත වෙයි.

ආක‍්‍රමණශීලී ආගන්තුක ජීව විශේෂයන්ගෙන් තොර ශී‍්‍ර ලංකාවක් බිහිකිරිමේ යහපත් දැක්ම පෙරදැරි කරගෙන

මෙමගින් ඇතිවිය හැකි අවදානම් වලින් ශී‍්‍ර ලංකාවේ කෘෂිකාර්මික බිම් හා ජලාශ වැනි ප‍්‍රදේශයන්ද ඇතුළු සමස්ත ස්භාවික පාරසරික පද්ධතියම ආරක්ෂා කර ගැනීම සදහා අවැසි ක‍්‍රීයාශීලිී මෙහෙවරක් වෙනුවෙන්  එළිදක්වන ලද මෙම ආක‍්‍රමණශීලී ආගන්තුක ජීව විශේෂ පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය, උපායමාර්ග හා ක‍්‍රියාකාරී සැලැස්ම හුදෙත්ම සමස්ත රටේ අභිවෘද්ධියේ සුභ පෙර නිමිත්තක් වනු නිසැකය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles