Wednesday, August 17, 2022

ආපදා වාර්තාකරණයේ ජනමාධ්‍යයේ වගකීම!

සමන් රාජපක්‍ෂ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

“අශ්වයා පැන ගිය පසු ස්‌ථාලය වසා ඵලක්‌ නැත” නමුත් ලංකාවේ යළි යළිත් සිදුවන්නේ අශ්වයා ගිය පසු ස්‌ථාලය වසා දැමීම වැනි ක්‍රියාවන් ය. මේ සඳහා ආසන්නතම උදාහරණය වන්නේ මේ දිනවල ගංවතුර හා නාය යැම නිසා රට තුළ උද්ගතව ඇති තත්ත්වය යි. ගංවතුරෙන්, නාය යැමෙන් අනතුරට පත්වූවන්ට වහ වහා සහන සැලසීමට ආණ්‌ඩුව කටයුතු කරමින් සිටියි. නිවාස, දේපළ හානි වූවන් සඳහා වන්දි ලබාදීම අපදාවන්ට පත් වූවන් සඳහා සහන සැලසීමේ යාන්ත්‍රණය සැකසීම, එය අධීක්‍ෂණය කිරීම, විපතට පත්වූවන්ගේ ජීවන තත්ත්වය නිරීක්‍ෂණය වැනි දේ සඳහා රජය, වහා වහා කටයුතු කරමින් සිටියි.

රටේ සාමාන්‍ය ජනතාව සිදුවූ විනාශය හමුවේ ශෝකයට පත්ව තමන්ට හැකි අයුරින් විපතට පත්වූවන් සඳහා සහනාධාර ලබාදීමේ වැඩපිළිවෙළට උරදී සිටිති. ඒ අනුව රටේ සියලු ප්‍රදේශවල වෙසෙන ප්‍රගතිශීලී ජනතාව වහ වහා තම යුතුකම අනතුරට පත් ප්‍රජාව වෙනුවෙන් නොපැකිලිව ඉටු කරමින් සිටියි. මේ සියලු පාර්ශවයන්ට නොදෙවෙනි ලෙස මෙරට විද්යුත් මාධ්‍ය නාළිකා ස්‌වාභාවික ව්‍යවසන හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සිය මාධ්‍ය මෙහෙවර ඕනෑවටත් වඩා ඉටුකරන්නට යන බව පෙනේ.

නමුත් රජය, ප්‍රජාව සහ ජනමාධ්‍ය මූලිකව ම සිය වගකීම් පිළිබඳව පූර්ව අවබෝධයකින් ක්‍රියාත්මක වන්නේ නම් ඕනෑම ආකාරයක ආපදා, ස්‌වාභාවික ව්‍යවසන කල්තියා හඳුනා ගැනීමටත්, ඒවා පාලනය කිරීමටත්, එමගින් සිදුවන හානිය අවම කරගැනීමටත් එම ආපදා මුලිනුපුටා දැමීමටත් අවකාශ සැලසේ.

ලංකාවේ මිල මුදල් යහමින් ඇති, දේශපාලන බලය සහිත ඕනෑම තැනැත්තකුට ඕනෑම තැනක ඕනෑම ආකාරයේ ව්‍යාපෘතියක්‌ ඇරඹීමට, ගොඩනැඟිලි ඉදි කිරීමට හැකිය. මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති මෙන් ම ගොඩනැඟිලි ඉදිකිරීම් වැනි දෑ පිළිබ`දව විමසා බලා ඒවායේ තාක්‍ෂණික ශක්‍යතා මෙන්ම එම ව්‍යාපෘති මගින් පරිසරයට මහජනයාට බලපෑමක්‌ වන්නේ ද වැනි දෑ සොයා බලා වාර්තා කිරීම පිණිස බලය පැවරුනු ආයතන කොතෙක්‌ තිබුණ ද ඒ හැම ආයතනයක්‌ ම සිය වගකීම නිසි පරිදි ඉටු කරන බවක්‌ නොපෙනේ. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ප්‍රමිතියෙන් තොර ඉදි කිරීම් මෙන් ම සොබා දහමට පරිසරයට හානිදායක සංවර්ධන ව්‍යාපෘති, නිවාස, මංමාවත් ඉදිකිරීම්, ජනප්‍රවාහන ක්‍රම, අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රම භාවිතයට ගැනීමේ ප්‍රවණතාවක්‌ හඳුනා ගැනීමට පිළිවන.

මේ පිළිබඳ විමසා බලා කටයුතු කිරීමට බලය පැවරුනු හැම ආයතනයක ම වගකීම වන්නේ, පරිසරය සහ මිනිසා අතර පවත්නා සබඳතා ආරක්‍ෂා කිරීම වෙනුවෙන් කටයුතු කිරීමයි.

රටක සංවර්ධනය පරිසරයේ හතුරකු නොවේ. පරිසරය රටේ සංවර්ධනයේ හතුරකු ද නොවේ. යට කී ආයතනවල කාර්යභාරය විය යුත්තේ සංවර්ධනයත්, පරිසරයත් අතර පවතින සබඳතාව ආරක්‍ෂා කරමින් එමගින් යහපත් ජන ජීවිතයක්‌ ගොඩනැංවීමට ක්‍රියාකිරීමයි. නමුත් මෑතකාලීනව මෙරට සිදු වූ ගංවතුර, පස්‌ කඳු කඩාවැටීම්, කසල කඳු නාය යැම්, ඩෙංගු උණ ආදී වසංගත රෝග ව්‍යාප්ත වීම් වැනි ව්‍යවසන සඳහා මංපෙත් විවර වූයේ ඉහත කී ආයතනවල අකාර්යක්‍ෂමතාව නිසා ය. එමෙන් ම මේ කිසිදු ආයතනයකට පරිසරය හා ජන ජීවිතය සුරක්‍ෂිත කිරීම පිණිස කෙටිකාලීනව හා දිගුකාලීනව ගොඩනැඟුණු සැලසුම් සහගත වැඩපිළිවෙළක්‌ නොමැත. ප්‍රාදේශීය සභා, පළාත් සභාව, මධ්‍යම රජය නියෝජනය කර මෙම හැම ආයතනයක්‌ ම මහජන බදු මුදලින් යෑපෙන පිංගුත්තර නවාතැන් බවට පත් ව ඇති බවක්‌ පෙනේ. පරිසරය සහ ජන ජීවිතය සුරැකීම පිළිබඳ විශේෂඥ දැනුමක්‌, මේ කිසිදු ආයතනයකින් සමාජ ගත නොවීම අවාසනාවට හේතුවකි.

රජයක වගකීම වන්නේ මෙම අක්‍රීය ආයතන සැලසුම් සහගත ලෙසත් කාර්යක්‍ෂම හා ඵලදායි ලෙසත් දියුණු කිරීමයි. නමුත් නිදහසින් පසු බලයට පත් මෙම කිසිදු ආණ්‌ඩුවකින් එම වගකීම ඉටු කර ඇති බවක්‌ නොපෙනේ.

මෙරට ආණ්‌ඩු දන්නේ ස්‌වාභාවික ව්‍යවසනයක්‌ වූ විට ආධාර බෙදා දෙන්නටත්, ආපදාවෙන් පසුව තමන් ගනු ලබන ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමටත් පමණි.

ආපදා ඇති නොවන පරිදි නිශ්චිත ක්‍රමානුකූල නිවැරැදි ප්‍රතිපත්ති මත පිහිටා පරිපාලන ව්‍යqහයන් සකස්‌ කිරීමට හෝ ආපදා කල් ඇතිව හඳුනාගෙන ඒවායේ හානිය අවම කරගැනීමට බලධාරීන් සමත් නොවීම කනගාටුවට කරුණකි.

මෙරට ප්‍රජාව ද ආපදා ඇති නොවීම පිණිස හෝ පූර්වයෙන් වළක්‌වා ගැනීමට ක්‍රියා කිරීම ප්‍රශස්‌ති මට්‌ටමක නොපවතියි. ඔවුන් හැමවිට ම පරිසරය සමඟ ගැටුම් ඇති කරගැනීමට යොමු වේ. එහි ප්‍රතිඵලයක්‌ ලෙස රටේ පාරිසරික ප්‍රශ්න රාශියක්‌ උද්ගත වී ඇත. ආසන්නතම නිදසුන වන්නේ අලි මිනිස්‌ ගැටුමයි. පරිසරය යනු මිනිසා විසින් සිදු කරන ලද නිර්මාණයකැයි බොහෝ දෙනකු සිතුව ද සැබැවින් ම මිනිසා පරිසරයේ නිර්මාණයකි. සොබා දහමට අනන්‍ය සෑම ධර්මතාවක්‌ ම මිනිසා කෙරෙහි ද වලංගු වන්නේ මේ නිසා ය. පොළොව මිනිසාගේ නිර්මාණයක්‌ නොවේ. මිනිසා පොළවේ නිර්මාණයකි. පොළවෙන් උපන් මිනිසා පොළවට ම පස්‌වන බව කිතුනු දහමේ දාර්ශනික සංකල්පයකි. එහෙයින් පරිසරය සමඟ ගැටීමට යාම බුද්ධිමත් ප්‍රජාවේ ලක්‍ෂණයක්‌ නොවන්නේ ය.

බුදු දහමේ දැක්‌වෙන්නේ රටක පාලකයන්, නිලධාරීන්, පූජකයන් වහන්සේලා, ජනපදවාසීන් අධාර්මික වූ කළ පාරිසරික සමතුලිත බව බිඳ වැටෙන බවයි. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් අව්ව පෑයීම, වැස්‌ස වැසීම, සුළං හැමීම, සෘතු භේදය යනාදිය වෙනස්‌ වේ. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් අස්‌වනු පැසෙන්නේ විෂමාකාරයෙනි. විෂමව පැසැණු අස්‌වනු අනුභව කරන ප්‍රජාව අල්ප ආයුෂ ඇත්තෝ වෙති. ශරීරය දුර්වර්ණ වූවෝ වෙති. බොහෝ ආබාධ ඇති අය වෙති. නමුත් පාලකයන් මෙන් ම සියලු ප්‍රජාව පරිසරය සමඟ සමබර තිරසර සබඳතාවක්‌ පවත්වා ගැනීම මගින් සියලු පාරිසරික ප්‍රශ්න ජයගැනීමට අවකාශ සැලසෙන බව බුදු දහමේ දැක්‌වේ.

මව පුතකු පෝෂණය කරන්නාක්‌ මෙන් වර්ෂාව අලස පුද්ගලයා මෙන් ම අනලස පුද්ගලයා පෝෂණය කරයි. පොළව ඇසුරු කරන සියලු ප්‍රාණීන් වැස්‌ස නිසාම ජීවත් වෙයි. එය බුද්ධ දේශනාවයි. බෞද්ධ සංස්‌කෘතියෙහි පෝෂණය වූ ලාංකේය ජන සමාජය ජලයේ දූෂිත බව, පරිසරයේ දූෂිත බව, ප්‍රතික්‍ෂේප කළේ ය. ජල මූලාශ්‍ර පිරිසිදුව තබා ගැනීමටත් ගස්‌වැල්

සුරැකීමටත් සතා සිවුපාවුන්ගේ ජීවිත ආරක්‍ෂා කිරීමටත් ලාංකික බෞද්ධයෝ නොපැකිලව කටයුතු කළහ.

එසේ නම් ආපදාවක්‌ වූ විට ශෝකයට පත්ව සහනාධාර මල්ලකින් විපතට පත්වූවන්ගේ දුක නිවීම වෙනුවට පරිසරය ගැන සිතා පරිසර හානි අවම වන ලෙස ස්‌වකීය කටයුතු පවත්වාගෙන යැමෙන් දිගුකාලීනව මෙරට පාරිසරික අභියෝග ජයගැනීමට හැකි වනු ඇත.

අප විසින් ම ගොඩනඟන ලද පරිසර ප්‍රශ්නවලින් තවත් පිරිසක්‌ පීඩාවට පත් වූ විට ශෝක වනවාට, සහනාධාර දෙනවාට වඩා තමා ගැන සිතා, තමා ජීවත් වන පරිසරය ගැන සිතා ක්‍රියාකිරීම කාලෝචිත වූවකි.

අවුරුද්දේ දින 365 පුරා හරසුන්, බොළඳ, පක්‍ෂග්‍රාහී, අසත්‍ය මාධ්‍ය සංදේශයන්ගෙන් මෙරට ප්‍රජාවේ හිස ගසා දමන ජනමාධ්‍යයට ස්‌වාභාවික ආපදාවක්‌ වූ විට තම නාළිකාවේ අනුග්‍රහයෙන් මිනිසුන්ගෙන් රැස්‌කරගත් සහනාධාර පැට වූ ලොරියක්‌ යවා උඩු ගුවනේ සිට එය නිරීක්‍ෂණය කොට වාර්තා කිරීමෙන් පමණක්‌ සිය වගකීමෙන් මිදිය හැකිද? ආපදා වූ විට ඒ ගැන ශෝක වනවාට වඩා ස්‌වාභාවික ආපදාවක්‌ සිදු වීම කෙරෙහි බලපාන සමාජ, සංස්‌කෘතික, දේශාපාලන, ආර්ථික මූල මුලිනුපුටා දැමීම පිණිස මෙරට ජනමාධ්‍යයන්ට කටයුතු කිරීමට පිළිවන.

නමුත් සිදුවන්නේ අනෙකකි. මෙරට බොහෝ ජනමාධ්‍ය සිය දේශපාලනික, ආර්ථික න්‍යාය පත්‍රය යටින් තබා ආපදාව තම වාසිය කරගෙන කටයුතු කරන බවක්‌ පෙනෙන්නට තිබේ. දවසේ පැය 24 පුරා පාඨකත්වය, ශ්‍රාවකත්වය, ප්‍රේක්‍ෂකත්වය බහුජාතික වෙළඳ සමාගම්වලට විකුණා එමගින් ලාභ ලබන ජනමාධ්‍ය ආපදාවක්‌ වූ විට කිඹුල් කඳුළු හෙළීම සහ එමගින් සිය නාළිකාව ජනප්‍රිය කර ගැනීමට සිතීම ශිෂ්ටසම්පන්න සමාජයක ලක්‍ෂණයක්‌ නොවේ. ඉහත දැක්‌ වූ පරිදිම ජනමාධ්‍යයට පරිසර විනාශය සඳහා පුද්ගලයා පොළඹ වන මනෝ මූලික සාධක ආකල්පමය පරිවර්තනය වෙතින් බැහැර කිරීමටත්, පරිසරයේ වැදගත්කම වටහා දීමටත්, පුළුල් ප්‍රචාරණ යාන්ත්‍රණයක්‌ සකස්‌ කළ හැකි ය. දවසේ පැය 24 න් ඉතා වැදගත් ගුවන් කාලයක්‌ තෝරාගෙන අඩු තරමින් එක්‌ පැයක්‌ පරිසරය වෙනුවෙන් ප්‍රජාව වෙනුවෙන් වෙන් කිරීම වගකීම් සහගත ජන මාධ්‍යයක ලක්‍ෂණයක්‌ වශයෙන් දැක්‌වීමට පිළිවන.

එමෙන් ම පරිසර සංරක්‍ෂණය සඳහා ගවේෂණාත්මක වාර්තාකරණයක නියෑළීමටත් පරිසරය ආරක්‍ෂා කිරීම විෂය පථය කරගත් සියලුම රාජ්‍ය, රාජ්‍ය නොවන ආයතන, ප්‍රජාව, ප්‍රතිපත්ති සම්පාදකයන් මනා ලෙස සම්බන්ධීකරණය කොට එමගින් තිරසර ලෙස පාරිසරික ගැටලු විසඳීමේ යාන්ත්‍රණයක්‌ සකස්‌ කිරීමට ජනමාධ්‍යයට හැකිය. එමෙන් ම නූතන ලාංකේය ජනමාධ්‍යයේ ප්‍රමුඛතම වගකීම විය යුත්තේ පරිසරය පිළිබඳව පරිසර සංරක්‍ෂණය පිළිබඳව ආපදා කළමනාකරණය පිළිබඳව යහපත් සමාජ සංස්‌කෘතියක්‌ සකස්‌ කිරීමට උර දීමයි. ඊට අවශ්‍ය ආකල්ප පරිවර්තනය සිදු කිරීමට ජනමාධ්‍යයට අවකාශයක්‌ පවතියි.

“ලංකාවේ මිනිසුන් කිසිදු දෙයකින් පාඩම් ඉගෙන ගන්නේ නැත” යන්න දෙස්‌ විදෙස්‌හි ප්‍රකට අදහසකි. ලක්‌වැසියන්ට බොහෝ ඉක්‌මනින් සියල්ල අමතක වේ. එක මොහොතකින් ජීවිත දහස්‌ ගණනක්‌ බිළිගත්, ප්‍රකෝටි ගණනක දේපළ අහිමි කළ සුනාමි ව්‍යවසනයෙන්වත් ඔවුන් පාඩමක්‌ ඉගෙන ගත්තේ නැත. සුනාමියෙන් පසුව රටක්‌ ලෙස සාමයෙන්, සමඟියෙන්, සංහිඳියාවෙන් ගොඩනැඟීමට තිබුණු අවස්‌ථාව ඔවුහු නැති කරගත්හ. එමෙන් ම වාර්ෂිකව සිදුවන ගංවතුර, පස්‌කඳු කඩා වැටීම් වැනි ව්‍යවසනවලින් යමක්‌ ඉගෙන ගැනීමට උත්සාහ ගන්නා බවක්‌ නොපෙනේ. ව්‍යවසනයක්‌ වූ විට එය අලුතින් ම ඇති වූ එකක්‌ සේ සිතා සියලු අංශ කටයුතු කරයි. වර්තමානයට මුහුණදීම සඳහා ඔවුන් කිසිවිටෙක පූර්ව සිදුවීම් අත්දැකීමක්‌ කර නොගනී. ස්‌වාභාවික විපතට අනුව දින දින අලුත් වෙවි ඒ සඳහා ඔවුහු අලුතින් ම සුදානම් වෙති. මෙසේ සිදුවන්නේ ආපදා වැළැක්‌වීම හා කළමනාකරණය සදහා සැළසුම් සහගත ක්‍රියාශීලී, විධිමත්, ඵලදායි ජාතික ප්‍රතිපත්තියක්‌ නොමැති නිසාද? එහෙයින් අප හැමදා කරන්නේ, ‘අශ්වයා ගිය පසු ස්‌ථාලය වැසීම’ වැනි ක්‍රියා නොවන්නේද?

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles