Thursday, May 19, 2022

ආර්ථිකයේ හෙට දවස

ශ්‍රී ලංකාවට ඇමෙරිකන් ඩොලර් බිලියන. 1ක ණය මුදල ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍යඅරමුද‍ලේ විධායක සභාවේ අනුමැතිය ලැබි ඇතැයි ඉකුත් 4 වැනිදා නිවේදනය කෙරුණි. මුදල් අමාත්‍යවරයා ඇතුළු රජය ඩොලර් බිලියන 1.5 වෙනුවට ඩොලර් බිලියන 3ක ණය මුදලක් ඉල්ලා සිටියද විධායක සභාවේ අනුමැතිය ලැබි ඇත්තේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ ඩොලර් බිලියන 1.5 සඳහා පමණි.
මෙම ණය මුදල රටේ අභ්‍යන්තර සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදා ගැනීමේ හැකියාවක් නොමැති අතර ඉන් කිසියම් අස්වැසිල්ලක් ලැබෙන්නේ විදේශ වත්කම් කිසියම් ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම සඳහා පමණි. 2015 සැප්තැම්බර් 04 වැනිදා වත්මන් රජය ශ්‍රී ලංකා රුපියල නිදහසේ පා කර හැරීමට තීරණය කරනු ලැබිය. එමගින් මෙරට අපනයන වෙළෙඳාම පුළුල් වී ගෙවුම්ශේෂ පරතරය අවම වනු ඇතැයි මහ බැංකුව උපකල්පනය කළේය. එහෙත් රජයේ සහ මහ බැංකුවේ උපකල්පන සියල්ල බිඳ වැටීමෙන් මෙරට අපනයන ආදායම සැලකිය යුතු මට්ටමකින් පහළ වැටී ගෙවුම් ශේෂ ‍ලේඛනයේ හිඟය දරුණු ලෙස ඉහළ ගියේය.
2014 වසරේදී සියයට 7.1ක් වර්ධනය වූ අපනයන ආදායම 2015 වසරේදී එ.ජ. ඩොලර් මිලියන 10,505ක් දක්වා සියයට 5.6කින් අඩු විය.
(ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව 2015 පිටුව 146) 2014 වසරේ ඇමෙරිකන් ඩොලර් මිලියන 8,287ක්ව පැවැති වෙළෙඳ හිඟය හෙවත් ගෙවුම් ශේෂ හිඟය 2015 වසරේදී ඇමෙරිකන් ඩොලර් මිලියන 8,430ක් දක්වා සියයට 1.7කින් වර්ධනය වී තිබේ. මේ නිසා රජය ආර්ථික උභතෝකෝටිකයකට මුහුණ දී තිබේ. අපනයන අංශය දිරි ගැන්වීම අරමුණු කොටගෙන රුපියල පා කර හැරියද ඉන් බලා‍පොරොත්තු වූ ප්‍රතිඵල නොලැබුණු අතර ඉන් ආර්ථිකයට අත්වූයේ අහිතකර තත්ත්වයකි. රුපියල් 133ක පමණ මට්ටමේ තිබූ ඇමෙරිකන් ඩොලරය රුපියල් 149ද පසුකර රුපියල් 150 සීමාවට පැමිණියෙන් ආර්ථිකයට අහිතකර බලපෑම් ගණනාවකට මුහුණ දීමට සිදුවිය. විදේශ වත්කම් පිරිහීම, ආනයන වියදම ඉහළ යාම, විදේශ ණය සඳහා ගෙවිය යුතු වාරික හා ‍පොලී ප්‍රමාණය ඉහළ යාම ඒ අතුරින් ප්‍රධානය.
මූල්‍ය කළමනාකරණය රජයේ මූල්‍ය කළමනාකරණය ඉතා දුර්වල මට්ටම්වල පවතිනවා කියමින් හා ඊට මුදල් අමාත්‍යවරයා වගකිව යුතු බව පවසමින් ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂයේ කණ්ඩායම් කටයුතු කරනු ලැබිය. රජයේ බදු ආදායම ණය වාරික හා ‍පොලී ගෙවීමට හෝ ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍යවරයාම ප්‍රකාශ කරනු ලබයි. රටේ මූල්‍ය තත්ත්වය එබදු දුර්වල මට්ටමක පවතින්නේ නම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කොට සමෘද්ධි හා විශ්‍රාම වැටුප් දීමනා විශාල ප්‍රතිශතයකින් ඉහළ දැමුවේ මක්නිසාදැයි ජනතාවට විමසීමේ අයිතියක් ඇත. මෙරට ජනගහනය කෝටි දෙකකට අධිකය. එහෙත් රාජ්‍ය සේවකයින් සිටින්නේ ලක්ෂ දාහතරක් පමණය. නමුත් ඔවුන් ජාතික මැතිවරණයකදී තීරණාත්මක සාධකයකි.
දේශපාලන අවශ්‍යතා හා වාසි වෙනුවෙන් ආර්ථිකය තොරොම්බල් කිරීමට යාමෙන් සාර්ව ආර්ථිකය බිඳ වැටෙන බව දැන් ඇස් පනාපිටම පැහැදිලි වී තිබේ. ශීඝ්‍රයෙන් ඉහළගිය රජයේ වර්තන වියදම් පියවා ගැනීමට ආර්ථිකයේ ඇති බහුතරයක් වූ භාණ්ඩ හා සේවා මත බදු පැනවීමට රජය කටයුතු කොට ඇත. අයවැයට අමතර, විශේෂ ප්‍රකාශ ගැසට් නිවේදන මේ ආදී සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගෙන බදු පනවමින් ආදායම් රැස් කර ගැනීම සඳහා කූට වෙළෙන්දෙකු බවට පත්වීමට රජයට සිදුවී තිබේ.
නිෂ්පාදනය රටේ නිෂ්පාදනය හෝ නිෂ්පාදන  ආර්ථිකයන් පිළිබඳ අද කතාවක් නොමැත. ආණ්ඩුවේ ප්‍රධාන අභිප්‍රාය විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමය. නමුත් රජයේ ස්ථාවර ආර්ථික ප්‍රතිපත්තියක් හෝ බදු ප්‍රතිපත්තියක් නොමැතිවීම හේතුකොටගෙන දෙස් විදෙස් ආයෝජකයන්ට ආර්ථිකය පිළිබඳව විශ්වාසයක් නොමැත. මේ අතර රටේ නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකින් පහළ වැටී ඇති බවත්, දැඩි ආනයනික රැඳියාවක් දක්වා ආර්ථිකය තල්ලු වී ගොස් ඇති බවත් පෙනීයයි. එය 2015 මහ බැංකු වාර්ෂික වාර්තාව විමසා බලන විට මැනවින් පැහැදිලි වෙයි.
ප්‍රධාන භාණ්ඩ වර්ග ආනයනය මේ වගුව පරීක්ෂා කර බලන විට ඉතා පැහැදිලිව රටේ ආනයන වියදම් පාර්ශ්වය ඉහළ ගොස් තිබෙන බව පෙනී යයි. රට තුළ නිපදවාගත හැකි මාළු, කුළුබඩු, ලූනු වැනි ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා වන වියදම් කිහිප ගුණයකින් ඉහළ නැග තිබිමෙන් පෙනී යන්නේ රටේ      නිෂ්පාදන හැකියාව සංකෝචනය වී ඇති බවකි. උදාහරණයක් ලෙස 2014 වර්ෂයේ රුපියල් මිලියන 14462ක වියදමින් මාළු ආනයනය කොට ඇති අතර එය 2015 වර්ෂයේදී රුපියල් මිලියන 29799ක් දක්වා වැඩි වී තිබිමෙන් මෙහි ආදිනවයේ දිග පළල පිළිබඳ අදහසක් ලබා ගත හැකිය.
ඇත්ත වශයෙන්ම මෙහිදී ආනයන වියදම් පාර්ශ්වය ඉහළයාමට ආනයන ප්‍රමාණයේ ඉහළ යාම මෙන්ම රුපියල අවප්‍රමාණයවීමද බලපෑම්කොට තිබෙන බව පැහැදිලිය. එම නිසා සියලු වැරදි පසුගිය ආණ්ඩුව මත පටවා ජනතාව ඉදිරියේ වීරයන් වීමේ හැකියාවක් වත්මන් ආණ්ඩුවට නොමැත. ඔවුන් අනුගමනය කරනු ලැබූ මූල්‍ය ප්‍රතිපත්තියේ වූ අඩු ලුහුඬුකම් නිසා බොහෝ ආර්ථික ගැටලු අලුතින් පැන නැගී ඇති බවද අවංකව පිළිගත යුතුය.
ආණ්ඩුව පැවැසූ ආකාරයට හා බලා‍පොරොත්තු වූ ආකාරයට විදේශ ආයෝජකයින් අපේ රටට පැමිණියේ නම් විදේශ වත්කම්වල පිරිහීමක් හෝ මූල්‍ය ක්‍ෂේත්‍රයේ හිරවීමක් අපේක්ෂා කළ නොහැකිය. රජය මෝටර් රථ ආනයනය මත සීමා සහිත ලෙස බදු පනවනු ලැබිය.
එහිදී සිලින්ඩර් ධාරිතාවය 1000ට අඩු විට්ස්, වැගන් ආර්, ලීෆ් වැනි මෝටර් රථවල බදු ප්‍රතිශතය තරමක් අඩු කළ බව සත්‍යයක්. එහෙත් මෙම වාහන අරභයා පෙරදී වැඩි කළ බදු ප්‍රතිශතයෙන් කිසියම් ප්‍රමාණයක් අඩු කළා මිස එම බදු වැඩි කිරීම්වලට පෙර පැවැති මිල දක්වා වාහන මිල අඩුවී නොමැත. එසේම ඉන්දියාවෙන් ආනයනය කරන එන්ජින් ධාරිතාවය 1000ට අඩු ඇල්ටෝ වර්ගයේ කුඩා මෝටර් රථයක මිල රුපියල් 225000කින් ඉහළ ගොස් ඇත. එම නිසා මෙම බදු පදනම හා පැනවීම පිළිබඳ ප්‍රතිපත්තියක් ඇති බවක් නොපෙනේ.
මෙවැනි ව්‍යාකූල මූල්‍ය පරිසරයක් රට තුළ ක්‍රියාත්මක වෙද්දී අනපේක්ෂිත සිදුවීම් තුළින් ආර්ථිකයේ සලිත වීම්ද ඇතිවනු දැකිය හැකිය. ගංවතුර නායයාම්වලින් බැට කෑ ජනතාව අලුතින් හුස්ම ගැනීමට සැරසුණා පමණි සාලාව යුද හමුදා කඳවුරේ ආයුධ ගබඩාව පිපිරී විනාශ වී ගියේය. ඉන් විනාශ වී ගියේ අවි ආයුධ පමණක් නොවේ. සාලාව නගරය අවට නිවාස වෙළෙඳසල් හා සාප්පු සංකීර්ණ මුළුමනින්ම විනාශ වී ගියේය. මෙම ලිපිය ලියන මොහොත වනවිටත් (ජුනි 08) අතිවිශාල ජනතාවක් සරණාගතයින් ලෙස පාසල් හා පන්සල්වල හිරවී සිටිති. සාලාව ප්‍රදේශයේ නිවාස සහ දේපළ අහිමි වූවන්ට රජය මැදිහත් වී නිවාස තනාදෙන බව අග්‍රාමාත්‍යවරයා ‍පොරොන්දු වී ඇත. නමුත් එම නිවාස හා අලාභහානිවලට වන්දි ලබාදී ජනතාව නැවත පදිංචි කිරීම සඳහා තව සෑහෙන කාලයක් ගත වනු ඇත.
කබලෙන් ළිපට ස්වභාවික විපත් හා අනපේක්ෂිත සිදුවීම් කරන කොට ගෙන ඇතිවෙන විනශයන් ආර්ථිකයට දරා ගැනීමට නොහැකි තරම් විශාලය. මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කොට තිබුණේ ගංවතුර හා නායයාම්වලින් විනාශ වූ දේ‍පොළ ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් කෝටි 15,000ත් 25,000ත් අතර මුදලක් වැය විය හැකි බවය. එහෙත් සාලාව යුද හමුදා කඳවුරේ ආයුධ ගබඩාව විනාශ වීමෙන් සිදුවූ පාඩුව පිළිබඳව මතෛක් තක්සේරු කොට නොමැත. එසේම ‍පොදු ජනතාවට සිදුවූ දේපළ හානිය පිළිබඳව තක්සේරුවක් කොට නොමැත. කඳවුර අවට පදිංචිකරුවන් 2000ක් පමණ තාවකාලික ස්ථානවල රඳවා ඇති අතර නිවාස 350ක් පමණ විනාශ වී ඇතැයි වාර්තාවේ.
මේවා යළි ප්‍රතිසංස්කරණය සඳහා රජයට මුදල් වෙන් කිරීමට සිදුවනු ඇති අතර ඒ සඳහා වන මුදල් සොයා ගැනීම රජය මුහුණ දෙන තවත් ගැටලුවක් වනු ඇත. රජයේ වර්ථන වියදම් පාර්ශ්වය දැනටමත් සීමා රහිත ලෙස ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ආසියානු සංවර්ධන බැංකුව රජයට දැනුම් දී ඇත.
එහෙත් මෙකී අනපේක්ෂිත සිදුවීම් අරභයා වගකිව යුතු රජයකට ඇස් කන් පියාගෙන සිටිය නොහැකිය. රජයක් ජනතාව සඳහා මිස ජනතාව රජයක් සඳහා නොවිය යුතුය. එවැනි තත්ත්වයක් යටතේ හෙට දවසේ මෙරට ජනතාවට වැඩි වැඩියෙන් කැප කිරීම් කිරීමට සිදුවනු ඇත. මක්නිසාද යත් මැයි සහ ජුනි මාසයේ රට තුළ ඇතිවූ  සියලු සිදුවීම්වල බලපෑම මෙරට ආර්ථික වර්ධන වේගය කෙරෙහි සෘජුවම බලපෑම් කරන නිසාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles