Friday, August 19, 2022

උතුරට ඇදෙන සංචාරක ආකර්ෂණය

සම්ප්‍රදායික වතු ආර්ථිකය මුල් කරගත් ශ්‍රී ලංකාවට නව ආර්ථික ඉපැයීම් මාර්ගයක් ලෙස සංචාරක කර්මාන්තය හඳුන්වා දුන්නේ 1965 ආර්ථික ප්‍රතිසංස්කරණ මගිනි. ඒ අනුව 1965 ඩඩ්ලි සේනානායක ආණ්ඩුව විසින් සංචාරක මණ්ඩලය පිහිටුවන ලදී.

අද වනවිට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉපැයීම වසරක් පාසා ඉහළ යමින් තිබේ. 2015 ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් මගින් උපයාගත් ආදායම ඩොලර් දසලක්ෂ 2981 කි. එය 2014 හා සසඳන විට සියයට 22ක වර්ධනයකි. 2020 වනවිට සංචාරක ආදායම ඇ.ඩොලර් දසලක්ෂ 04ක ආදායමක් ලබාගැනීම ඉලක්කයයි. 2017 ජනවාරියේ සංචාරක පැමිණීම 2016 සංචාරක පැමිණීමට වඩා සියයට 12.9 ක වර්ධනයක් වාර්තා කරයි.

ලෝක සංචාරක දර්ශකයේ රටවල් 143ක් අතර ශ්‍රී ලංකාව 63 වන ස්ථානයට පැමිණ තිබේ. ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය නැංවීම සඳහා දැවැන්ත වැඩ පිළිවෙළක්ද අරඹා තිබේ. ඒ ඒ පළාත් සභාවන් මගින් ද පළාත් සංවර්ධන සංචාරක කර්මාන්තය මගින් ආදායම් උත්පාදනය කර ගැනීමේ ව්‍යාපෘතින් ගණනාවක් ක්‍රියාත්මක කරනු ලබයි.

විදේශීයයන් අතර මෙන්ම ස්වදේශිකයන් අතර ද සංචාරක කර්මාන්තය දියුණු කිරීම ද දේශීය ආගමික සංචාරක කර්මාන්තය දියුණු කිරීම ද අද මෙම කර්මාන්තයේ නව ප්‍රවණතාවකි.

වසර 30ක යුද ගැටුම්වලින් පීඩා විඳි උතුරු නැ‍‍ඟෙනහිර සංචාරක කර්මාන්තය ද දැන් යළි අළු ගසා දමා නැගිටිමින් තිබේ. උතුරු පළාත් සභාව ද උතුරේ සංචාරක ප්‍රවර්ධනයට ක්‍රියා කරන අතර නැ‍ඟෙනහිර පළාත් සභාව ද ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි.

සති අන්ත නිවාඩු දිනවල උතුරේ හා නැ‍ඟෙනහිර ප්‍රදේශ සංචාරකයන්ගේ පැමිණීම් නිසා විශාල පිරිසකට විවිධ ඍජු හා වක්‍ර රැකියා අවස්ථා පෑදී තිබේ. පසුගිය 24 – 25 – 26 යන තෙදින යාපනය නගරය,නාගදීපය සහ ඩෙල්ෆ් දූපත දේශීය හා විදේශීය සංචාරකයන්ගෙන් පිරී ඉතිරී ගියේය.

දකුණෙන් උතුර‍ට

2013 දී මහනුවර සිට යාපනය දක්වා දිවෙන A09 මාර්ගය යළි විවෘත විය. මෙම මාර්ගය උතුර – දකුණ යා කළ පාලමකි. ‍ කොටි ත්‍රස්තවාදින් 1984 දී මේ මහා මාර්ගය ඔවුනගේ අණසකට යටත් කරගැනීම සමඟ වව්නියාව සහ ඕමන්තෙන් මෙපිට උතුරුකරයට පිවිසීම ඇනහිටියේය. මේ නිසා උතුරට එන පිවිසුම් මාර්ග රාශියක බඩු භාණ්ඩ ප්‍රවාහනය ඇන හිටියේය. කොළඹ යාපනය දුම්රිය ධාවනය 2014 දී ඇරැඹිණි. මේ නිසා ඉහත කී නිවාඩු දිනවල කිසිදු අවහිරයකින් තොරව උතුරුකරයට පිවිසීමට දකුණේ ජනතාවට අවස්ථාව සැලසිණි.

මේ නිසා දකුණෙන් පැමිණි බස්රථ විශාල ගණනක් යාපනය පෘතුගිසි බලකොටුව ආසන්නයේ නතර කර තිබු‍ණි. 1618 දී පමණ පෘතුගීසීන් විසින් ගොඩනගන ලද යාපන කොටුව අනතුරුව ඕලන්දයනටත්, ඕලන්දක්කාරයන්ගෙන් ඉංග්‍රීසින්ටත් හිමිවිය. 1948 ශ්‍රී ලංකාව නිදහස ලබනවිට පවා මේ කොටුව තුළ ඉංග්‍රීසි හමුදා අනුඛණ්ඩයක් ස්ථානගත කර තිබු‍ණි. ත්‍රස්තවාදින්ගෙන් මේ බළකොටුව මුදා ගැනීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවනට දින 50 ක කාලයක් ගතවිය. ප්‍රතිසංස්කරණ රාශියකින් පසු දැන් එය මහජනයාට විවෘතය.

දකුණෙන් ඇදී ආ පිරිස් පසුගිය සතියේ ප්‍රධාන වශයෙන් ඇදුනේ නාගදීපයට හා ඩෙල්ෆ්ට් දූපතටය. මේ සඳහා කුරුකට්ටුවාන් ජැටියට යා යුතුය. යාපනය නගරයේ සිට කුරුකට්ටුවාන් ජැටිය දක්වා දැන් ශ්‍රී ලංගම හා පෞද්ගලික බස් සේවා අරඹා තිබේ.

කුරුකට්ටුවන් බස් නැවතුම අසල ද රථගාලකි. එම ‍රථගාල ද දකුණෙන් පැමිණි වාහනවලින් පිරී තිබුණි. අවට කඩපිල්වල උතුරේ විවිධ ධීවර නිෂ්පාදන ගොඩගසා ඇත.

සති අන්තයේ දේශීය සංචාරකයන්ට මාර්ග වේග සීමා නීති ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය නීතිය තදින්ම ක්‍රියා කරයි. විශේෂයෙන් වව්නියාව, කිලිනොච්චිය, කනකරායන් කුලම, පරන්තන් සහ චාවකච්චේරි ප්‍රදේශවලදී නොමසුරුව දඩකොළ බෙදාදීමට පොලිසිය සූදානම්ව සිටී. නිවාඩු දිනවල තැපැල් කාර්යාල වසා දමන නිසා දඩකොළ ගෙවා රියැදුරු බලපත් යළි ලබාගැනීම ප්‍රශ්නයකි. රියැදුරෝ රාශියක් මේ ගැටලුවට මුහුණ දී සිටියහ.

යාපනය තුළ ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක නොවන බවට චෝදනා කරන කෙනෙකුට පැයට සැ.70 ඉක්මවා වාහනය පදවා ශ්‍රී ලංකාවේ නීතිය එහි සහසුද්දයෙන්ම ක්‍රියාත්මක වන බව දැනගැනීමටද එක අතකින් දැන් අවස්ථාවක් ලැබී තිබේ.

කුරුකට්ටුවාන් රථගාලේ සිට ජැටිය දක්වා වන කිලෝමීටර් බාගයක් පමණ වූ මාර්ගය වැටී ඇත්තේ කළපුව මැදිනි. එම ජැටියේ ශ්‍රී ලංකා නාවික හමුදාව විශාල මෙහෙයක් ඉටු කරයි. නාගදීපය ඩෙල්ෆ් ඇතුළු සෙසු ජනාවාස දූපත් කරා ඇදෙන ජනතාවට අවශ්‍ය මුහුදු යාත්‍රා ගමන් අරඹන්නේ මේ ජැටියෙනි. නාගදීපයට ගමන් ගාස්තු රු.30 කි. ඩෙල්ෆ්ට් දූපතට රුපියල් 80 කි.

ඩෙල්ෆ්ට් දූපත ඉතා කුඩා බිම්කඩකැයි සිතන්නෝද සිටිති. ඕලන්දක්කාරයන්ගේ නටබුන් රාශියක් පිරී ඇති එහි චෛත්‍යයක නටබුන් යැයි සිතිය හැකි පාදමක් ද තිබේ. ඩෙල්ෆ්ට් දූපතට ඒ නම ලැබුණේ ඕලන්දක්කාරයන්ගෙනි. දකුණු ඕලන්දයේ ඩෙල්ෆ්ට් (DELFT) ප්‍රදේශය සිහිවීම් වස් මේ දූපතට මේ නම තබා තිබේ.

ඩෙල්ෆ්ට් දූපත දැන් දේශීය විදේශීය සංචාරක පිරිස් අතර ජනප්‍රියවෙමින් තිබේ. ඩෙල්ෆ්ට් ජැටිය සංවර්ධනය කරන ව්‍යාපෘතියක් දැන් ක්‍රියාත්මකය. දූපත ඇතුළත ගමනා ගමනයට ශ්‍රී ලංගම බස් රියක් හා පෞද්ගලික බස්රථයක් ද ත්‍රිරෝද රථ විශාල සංඛ්‍යාවක් ද ඇත. ඩෙල්ෆ් දූපත්වාසි ජනයා ගොවිතැන් හා ධීවර කටයුතු මගින් යැපෙති. එහි තැපැල් කාර්යාලයක් ද තිබේ. වෙනමම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකි. විදුලිබල මණ්ඩල ඩිපෝවකි. පොලිසියක් හා රෝහලකි.

ඩෙල්ෆ්ට් දූපත

ඩෙල්ෆ්ට් දූපතට පිවිසෙන විට ඇති කඩපොළේ තල්කොළයෙන් නිෂ්පාදිත හස්ත කර්මාන්ත අලෙවි හලකි. හෝටලයක් සහ නාවික හමුදාවේ වෙළෙඳ හලකි. දූපත ඇතුළත ද කුඩා කඩපොළ කීපයකි. දූපත පුරා ත්‍රිවිල් රියකින් සවාරියක් යෑමට පැය දෙකක් ගතවේ. අයකරන ගාස්තුව රුපියල් 5000 කි. ඩෙල්ෆ් දූපතේ ඇති පොලිස් කාර්යාලයේදී ද දඩ කොළ ගෙවීමට පිළිවන. බැංකු ශාඛා ද තිබේ.

දූපත පුරා මාර්ග ජාලයකි. සිසු දරුවන් සඳහා පාසල් ක්‍රියාත්මක වේ. විදුලි සැපයෙන්නේ ජෙනරේටර් මගිනි. යාපනය වෙරළ සංචාරක කටයුතු සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙළක් යොදා ඇති බව කරේනගර් කැසරිනා සංචාරක වෙරළ මගින් පැහැදිලි වේ. කිලෝමීටරයක් පමණ දිග කැසරිනා සංචාරක වෙරළ අයත් වන්නේ කරෙයිනගර් ප්‍රාදේශීය සභාවටය. ඇතුළුවීම සඳහා වැඩිහිටියකුට රුපියල් 20ක් ද ළමයකුට රු.10ක් ද අය කරයි. වාහනයක් සඳහා රුපියල් 50ක ගාස්තුවකි.

දකුණෙන් පැමිණි සංචාරකයෝ මෙහි විවේක සුව විඳිති. මෙවැනිම වෙරළක් කන්කසන්තුරේ දුම්රිය පොළ අසල ද නාවික හමුදා සංචාරක හෝටලය ඉදිරිපිට තිබේ. කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ගමන් අරඹන රාත්‍රි දුම්රිය පිටත්වන තුරු දකු‍ණේ සංචාරකයෝ මේ වෙරළේ කල්ගත කරති.

දැන් මෙවැනි වෙරළ තීරයක් ඩෙල්ෆ් දූපතේ ද ඉදිවෙමින් තිබේ. ලවණ රසය අඩු විශාල නාන ළිං කීපයක් දැනටම ඒ අවට ගොඩනගා තිබේ.

ඩෙල්ෆ්ට් දූපත තුළ වෙසෙන බූරුවන් බැලීම සඳහා ද සංචාරකයෝ එහි ඇදී එති. පෘතුගීසින් හෝ ලන්දේසින් විසින් මේ සත්ත්ව කොට්ඨාසයේ මී මුත්තන් මේ දිවයිනට ගෙන එන්නට ඇතැයි කියති. වඳවී යෑමේ තර්ජනය වළක්වා ගැනීමට දැන් උන් සඳහාම ප්‍රදේශයක් වෙන් කර ඇත.

ගවයන් මෙන් මේ සතුන් ද බර වැඩට යොදා ගනු ඇතැම්විට දක්නට ලැබේ.

කුරිකට්ටුවාන් ජැටියෙන් ඩෙල්ෆ්ට් දූපත බලා යන ප්‍රථම යාත්‍රාව පිටත්වන්නේ උදේ 7.30 – 8.00 අතරතුරය. මේ යාත්‍රාව දූපතේ රැකියාව කරන රාජ්‍ය සේවකයන් ද රැගෙන එයි. කිසිදු ගාස්තුවක් නොගෙවා මේ දූපතට ගමන් කිරීමට මගීනට අවස්ථාව හිමිවේ. එතැන් සිට වරින් වර යාත්‍රා පැමිණේ.

දූපතේ සංචාරය නිමවා ආපසු යාපනයට යෑමට කුරිකට්ටුවාන් ජැටියට යා යුතුය. ඒ සඳහා වන පළමු බෝට්ටුව පස්වරු 2.30 ට දූපතෙන් පිටත් වේ. පසුගිය 25 වන සෙනසුරාදා ඩෙල්ෆ්ට් ජැටියෙන් පිටත් වූ යාත්‍රාව ලෝක බැංකුව හා ඔස්ට්‍රේලියා රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද්දේ 2016 වසරේය.

පස්වරු 2.30 ට යාත්‍රාව පිටත්වීමට සැරසෙත්ම මුහුදු කොල්ලකාරින් බඳු පිරිසක් යාත්‍රාවට කඩා පැන්නේ එහි බ‍‍ඳේ ඇති ගරාදිවැටටත් උඩිනි. පැය ගණනක් පෝලිමේ රැක සිටි දේශීය විදේශීය සංචාරකයන් නොතකා යාත්‍රාවට නැගගත් පිරිස අනතුරුව ඔවුනට රිසිසේ මගීන් තෝරා යාත්‍රාව තුළට ඇදගනු දක්නට ලැබුණි. කුඩා දරුවන් ගරාදි වැටට උඩින් ඩැහැගැනීම නිසා දරුවෝ බියපත්ව කෑගසන්නට වූහ. දරුවන්ගේ කෑගැසීම නිසා එතැන වූ ආ‍‍ඳෝනාව දෙවැනි වන්නේ ළමා රෝහලට පමණය.

ෙබා්ට්ටු මාෆියාව

මීළඟට ඇති වූයේ එකිනෙකා පරයමින් යාත්‍රාවට ගොඩවීම සඳහා වූ මල්ලව පොර සංදර්ශනයයි. පෙනුමෙන් සෝමාලි මුහුදු කොල්ලකරුවෝ ද ඇතැම්විට මේ මල්ලව පොරයට සහාය දුන්හ. සියල්ල සන්සුන් වූ පසු විදේශිකයෝ මෙන්ම සෙසු මගීහු ද යාත්‍රාවට ගොඩවූහ. කොප්පරා පැට වූ යාත්‍රාවක් මෙන් එහි මගීහු තෙරපී ගමන් කළහ.

යාත්‍රාව කුරිකට්ටුවාන් ජැටියට සේන්දු වූ පසු යාත්‍රාවෙන් බිමට බට මුහුදු කොල්ලකරුවෙක් මගීන්ගෙන් රුපියල් 80 බැගින් අය කරගත් නමුත් කිසිදු බිලක් හෝ ප්‍රවේශ පත්‍රයක් හෝ නිකුත් කෙළේ නැත. යාත්‍රාවේ සඳහන් වූ සටහනක කියා තිබූ අන්දමට නම් මෙය මහජනයා සඳහා කෙරුණු පරිත්‍යාග යාත්‍රාවකි. ලෝක බැංකු හා ඔස්ට්‍රේලියානු පරිත්‍යාගයක් මෙසේ අවභාවිතා කිරීමට ඉඩ නොතැබීම වගකිව යුතු අංශවල යුතුකම වෙයි.

ඩෙල්ෆ්ට් සිට කුරිකට්ටියාන් දක්වා ක්‍රියාත්මක බෝට්ටු මාෆියාවක් ද තිබේ. පෝලිමේ සිටින මගීන් කරා ළඟාවන තැරැව්කරුවෝ බෝට්ටුවක් කුලියට ගෙන මුහුද තරණය කිරීමට මගීන් පොළඹවා ගනිති. බෝට්ටුවට අයකිරීම රුපියල් 18,000/- කි. නන්නාඳුනන දූපතක තාවකාලික සිරදඬුවම් විඳීමට සිදුව ඇති පිරිස්, කාලය ඉතිරිකර ගැනීම සඳහා ද ගතහැකි වෙනත් මාර්ගයක් නැති නිසා රුපියල් 18,000ක් ගෙවා ගමන් අරඹති. මෙවැනි බෝට්ටු සේවාවක් ඩෙල්ෆ් සිට නාගදීපයට ද ක්‍රියාත්මක වේ. නාගදීපයට යන ගමන මේ ආකාරය යැයි සිතන පිරිස් ඉතා අධික මිල ගණන් ගෙවා නාගදීපයට යති.

දේශීය සංචාරක කර්මාන්තය නංවාලීම කෙසේ වෙතත් මේ මුහුදු කොල්ලකරුවෝ දකුණේ පිරිස් අතර උතුරේ සංචාරය එපා කරවීම නම් ජයට කරගෙන යති.

ආගමික සංචාර

දකුණේ සාමාන්‍ය ජනතාව සහ උතුරේ සාමාන්‍ය ජනතාව අතර විරසකභාවය තුනී කිරීමට මේ ආගමික සංචාරක කර්මාන්තය හේතුවකි.

දකුණෙන් එන සංචාරකයන් සඳහා තම නිවාස අඩුමිලට කුලියට දෙන නිවැසියෝ දැන් එමගින් ආදායම් ලබති. එවැනි නිවාසවලට රාත්‍රි කාලයට පැමිණෙන ස්වංරැකියා ලාභියෝ කරවල පැකට්, තල් බීම, මී පැණි, එළඟිතෙල් ආදිය ළඟටම ගෙනැවිත් දී කීයක් හරි උපයාගනිති. අඩුම වශයෙන් දෙමළ වචන 10ක් හෝ ඉගෙන ගැනීමටත් රළු ජාතිවාදය පිටු දැකීමටත් දකුණේ ජනතාවට අවස්ථාව හිමිවන අතර උතුරු වාසීන්ටද එම භාග්‍යය හිමිවේ.

2013 වාර්තාගත වූයේ උතුරේ සංචාරක හෝටල 2ක කාමර 21 පමණි. මේ වනවිට 2015 තිබූ කාමර 52 සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබේ. 2013 උතුරේ ගත කරන කාලය දවස් 7 සිට දවස් 20 දක්වා දීර්ඝවීම නිසා විදේශීය සංචාරකයන්ගේ නව ආකර්ෂණය ද උතුරට ලැබී ඇති බව පෙනේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles