Friday, August 19, 2022

උද්ඝෝෂණ පිස්සුව-හිටපු කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර

නිදහස, සාපේක්ෂ මෙන්ම නිරපේක්ෂ සංකල්පයක්. එනිසා ලොවුතුරු මෙන්ම ලෞකිකයි. බෞද්ධයන් ලෙස අප අපේක්ෂා කරන්නේ දිනෙක සසරෙන් මිදී පරම විමුක්තිය ලබා ගැනීමටයි. එතෙක් අපට ලැබෙන්නේ සාපේක්ෂ, කලින් කලට, තැනින් තැනට වෙනස් වන කාලෝචිත, ස්ථානෝචිත යැයි කිව හැකි නිදහසක්.

අපේ ජාතියේ සමාරම්භයේ සිට ශතවර්ෂ ගණනාවක් දකුණු ඉන්දියානු ආක්‍රමණවලට මුහුණ දුන්නා. තාවකාලික පරාජයන් ලැබුවත්, ඒ පන්නරය සමඟ නැඟී සිටි ජාතියක් අප. 1505 මේ රටට පැමිණි පෘතුගීසීන්ගේ වෙළෙඳ ආධිපත්‍යය ඉක්මවමින් එළැඹුණු ලන්දේසි ආධිපත්‍යයත් ඉනික්බිති බ්‍රිතාන්‍ය අාධිපත්‍යයත් නිසා, අපේ රට, ජාතිය, ආගම, භාෂාව එතෙක් නොතිබූවිරූ බරපතළ බලපෑමකට ලක් වුණා.

නිදහස ලබනවා යන්නෙහි අදහස වනාහි රට ජාතියේ පොදු ඉරණම සකසා ගන්නට අවස්ථාව අපටම උදා වීමයි. 1948 පෙබරවාරි 4 වැනිදා නිදහස ලබා ගන්නා විට අපේ රටේ පැවැතුණු මේ පසුබිම පිළිිබඳ අවබෝධයෙන් කටයුතු කළොත් පමණයි අනාගතය සකස් වන්නේ.

අනෙක් සතුන් අතර මරණින් මතු අනාගතයක් පිළිබඳ කල්පනා කළ හැකි මිනිසාට පමණයි ලොවුතුරු අපේක්ෂා ඇති කළ හැක්කේ. එනිසා වර්තමාන ජීවන රටාව හුදෙක් මේ ලොව ජයග්‍රහණයටම සීමා නොවී පරලොව ජයගැනීමේ අපේක්ෂා ද ඇතිව ජීවත්වීමේ මනා අවබෝධය මේ රටේ බහුතර සිංහල බෞද්ධයන් සේම අනෙක් පිරිසද අවබෝධ කරගත යුුතුයි. අසිපත වෙනුවට වටාපතත්, සූසැට බරණ වෙනුවට කසාවතත් දරා වැඩි මිහිඳු හිමියන්ගෙන් පසු ‘නොබෝසත්හු නොරජ්වන්හයි‘ හෙවත් බෝධිසත්ත්වයන් නොවන අයට රජකම අයිති නැත යන සම්මතය ගලේ කොටන තරමට රට ධාර්මික පිළිවෙතට හුරු වුණා. ජනතාවට අවශ්‍ය වුණේ ශාසන දියුණුව සලසන පාලනයක්. රජු බුදු දහම, සිංහලත්වය බාරගත්තා නම් සම්භවය කුමක් වුවත් පිළිගත්තා. හොඳම නිදසුන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුයි. ඔහුගේ ප්‍රජා පීඩක පාලනය නොඉවසූ මහ සඟරුවන මෙන්ම පාලකයන් ධවල අධිරාජ්‍යවාදීන්ට රට පාලනය බාර දීම මැනැවැයි සිතුවා. උඩරට ගිවිසුමේ වගන්ති විමසන විට අපේ රටේ පාලනය පිළිබඳ ඓතිහාසික අපේක්ෂාව, එහි පස්වැනි වගන්තියේ බුදුදහම රැක ගැනීමේ පරම අභිලාශය ලේඛනගත කර තිබෙනවා. සුදු අධිරාජ්‍යවාදීන් මේ අපේක්ෂාවන්ට එරෙහිව එළිපිටම කටයුතු කිරීම නිසා කනස්සල්ලට පත් ජනතාවගේ හඬයි කැප්පෙටිපොළ දිසාවගේ ප්‍රධානත්වයෙන් ඇති කරන ලද විමුක්ති අරගලය බවට පත් වූයේ. යටත්විජිත පාලකයන් විසින් දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසූ ඔවුන් මේ වසරේ ජනපති මෛත්‍රිපාල සිිරිසේන මහතා රණශූර දේශමාමකයන් ලෙස රාජ්‍ය සම්මතයට ගන්නා ලද පියවර මේ වර නිදහස් දිනයේ මූලික තේමාවට මහත් පිටුබලයක් වනවා. 1818 මාර්තු 02වැනිදා සිදුවීමට ශත වර්ෂ තුනක් ගත වූ බව හදවතේ සනිටුහන් කරගෙන අපි මෙවර නිදහස් උත්සවය සැමරිය යුතුයි. නිදහසේ පරම අධිෂ්ඨානය විය යුත්තේ එදා සුදු අධිරාජ්‍යවාදීන් විනාශ කරන ලද අපේ උරුමය, දේශයේ ප්‍රගතිය යළි ගොඩ නැඟීමයි.

අරක්කු බෝතලයත් බයිබලයත් ඉදිරියට ගෙනැවිත් රටේ ජනතාවගේ ස්වාධිපත්‍යයත් අධ්‍යාත්මයත් විනාශ කළ ව්‍යාපාරය විශේෂයෙන්ම කැලණි, තොටගමු රජමහ විහාර, දෙවුන්දර දේවාලය බිමට සමතලා කොට ඉතිහාසය අකා මකා දැමීමේ කාර්යය මේ නිදහස ලැබී අවුරුදු 69ක් වන විට තරමකට පිරිමසා ඇතත් ඊට වඩා වේගයෙන් කටයුතු කිරීමට සනිටුහන් කිරීමේ උතුම් දිනයයි මේ.

නිදහස ලබාගැනීමෙන් පසු වුවද නිදහස ඉගැන්වීමේ ව්‍යාජයෙන් කරන ලද්දේ කුමක්ද? පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යනුවෙන් යුග තුනක් ඉගැන්වීමයි. පෘතුගීසීන්ට අපේ රට කිසි විටෙක යටත් වූයේ නෑ. මුහුදුබඩ ප්‍රදේශ කිහිපයක් අල්ලාගත් පමණින් පෘතුගීසි යුගයක්, ලන්දේසි යුගයක් බිහිවන්නේ කෙසේද? මොන තරම් මිථ්‍යාවක්ද මෙය?

ජාතියේ පියා ලෙස සැලකෙන ඩී.එස් සේනානායක වැන්නකු රට බේරා ගැනීමට ගත් වෙහෙස හා පරිත්‍යාගශීලී උදාර මෙහෙවර, සංවර්ධන ප්‍රතිපත්තිය නොසලකා හැරීමට තරම් අකෘතඥ වූයේත් සර්වජන ඡන්ද බලයෙන්ම පත් වූ ඊනියා පාලකයන් වීම අවාසනාවක් නොවේද? සී. ඩබ්ලිබ්. ඩබ්ලිව්. කන්නන්ගර කළු සුද්දන්ගෙන් පහර පි‍ට පහ‍ර කමින් දුගීදුප්පත් ජනතාවට හොඳ ඉංගිලිසි අධ්‍යාපනයක් ලබා දීමට, අධ්‍යාපන විසමතාව නැති කිරීම‍ට නිදහස් අධ්‍යාපන පනතක් ගෙනාවා. ඒ යුගයේ ආසියානු කලාපීය රටවල් කිසිවක එවැනි ප්‍රගතිශීලී පනතක් හඳුන්වා දී තිබුණේ නෑ.

එය වඩා දියුණු කිරීමට පියවර ගන්නවා වෙනුවට පසුකාලීනව සර්වජන ඡන්දයෙන් බලයට පත් වු අය එහි මූලධර්ම පවා විනාශ කළා. හොඳ ඉංගිලිසි දැනුමක් ලබා දී දක්ෂ සිසුන්හ‍ට අවස්ථාව දෙනවා වෙනුව‍ට ඒ ක්‍රමය විකෘති කර නගරබද පොහොසත් හා දේශපාලනඥයන්ගේ පවුල්වල දරුවන්ට පිට රට ගොස් ඉංගිලිසි ඉගෙන ගැනීමට හැකි වන අයුරින් හා පසු කාලීනව අන්තර්ජාතික පාසල් පාසල් ඇති කර හුදෙක් ඇති නැති පරතරය ඇති කිරීමට ඉංගිලිසිය මාධ්‍යයක් බවට පත් කළා.

එය ඉංගිලිසිය වහල් කර ගැනීම නොව ඉංගිලිසියට වහල් වීමයි. ඉංගිලිසි මාධ්‍යය තුරන් කිරීමෙන් නැත්තටම නැති වී ගිය චතුරභාවය පණ ගැන්වීමට යන්තම් හෝ හැකියාවක් ති‍බු‍ණේ ඒ සාහිත්‍යය විෂයයක් වශයෙන් පැවතීමයි. එහෙත් 1973 ඉවත් කළ එය යළි වසර 16කට පසු විෂය නිර්දේශයට ඇතුළත් කළේ මමයි. මට තේරෙනවා ඉංගිලිසිය නැති නිසා තමයි අපේ සමාජය අද ‍මේ තත්ත්වයේ ඉන්නේ. මෙය යටත් විජිත මානසිකත්වය නොවේ. දන්න කෙනා ඉංගිලිසි වචන දෙකක් දාලා වැඩේ කර ගන්නවා.

අනෙක මේ සංහිඳියා ප්‍රශ්නය අමුබොරුවක්. මේ රටේ ඉංගිලිසි කතා නොකරන සමාජයේ කිසිම ජාති භේදයක් නෑ. අපි කවුරුත් එකට වඩේ එකක් කාලා අතිශය සුහදශීලිව ඉන්නවා. එන්ජීඕ කාරයන් තමන්ගේ යැපීම සඳහා පිටරටින් එවන මුදල් හොඳට ගසා කන්න කරන දෙයක් මිස මෙය නිදහස් සටනට ඔබින දෙයක් නෙවෙයි. අපේ රටේ පොදු සංහිඳියාවට මරු පහරක් වී ඇත්තේ මේවායි.

මේ බටහිර ජාතිකයා අප කෙතරම් පාච්චල් කර සලකනවාද කීවොත් ඔවුන්ගේ ආර්ථික බලය යොදවා අණසකට යටත් කරලා අප වගේ දුප්පත් රටවල් වහලුන් බව‍ට පත් කර ගන්නවා. මෙය තමයි නව අධිරාජ්‍යවාදය. මේවාට මුහුණදෙන්නට අපි ශක්තිමත් වෙන්න ඕනෑ.

රටක නීතියක් තිබෙන්න ඕ‍නෑ. අපට නොතිබුණේ එයයි. පාලකයන් නිදහසින් වැඩ ගන්නේ නෑ. ආර්ථිකය දියුණු කරන්න කටයුතු කළේ නෑ. හේතුව පාලකයන්ගේ සිතේ කිසිදු ස්වායත්ත බවක් නැති වීම. පළමුවෙන්ම නායකයන්ගේ මනස නිදහස් විය යුතුයි. ‘ඉංගිලිසි සරණං ගච්ඡාමි‘, ‘සුද්දා සරණං ගච්ඡාමි‘ කියමින් හිටියට හරියන්නේ නෑ.

අනෙක ඡන්ද කාලේ කියන්නේ සුපිරිසුදු රටක් ඇති කරනවා කියලා. අමු බොරු ප්‍රතිපත්ති ටිකක් පෙන්වලා වෙනත් දේවල් කරනවා. හරිනම් කළ යුත්තේ හොරා කෑම්වලට එරෙහිව නීතියක් ගෙන ඒමයි . එහෙම වුණා නම් හොරු කවුද නැත්තේ කවුද කියා පැහැදිලි වෙනවානේ. දැන් වෙලා තිබෙන්නේ නීතියේ හිඩැස්වලින් රිංගා යෑමයි.

මේ දේවල් ඡන්දෙන් පසු ජනතාවටත් අමතක වන්නේ ඔවුන්ගේ මනස ශතවර්ෂ ගණනාවක් තිස්සේ සම්පූර්ණයෙන් විකෘති කර ඇති නිසයි. අපට පුරුදු නැති ආණ්ඩු ක්‍රමයක්, පාර්ලිමේන්තු ක්‍රමයක් යටතේ අප පිට පැටවූ දේ අප අයින් කළ යුතුයි. එසේ නැතිව සංහිඳියාව, අරක මේක කියමින් කෝටි ගණන් වියදම් කරමින් මහලේකම් කාර්යාල පිහිටුවමින් නැති ප්‍රශ්න ඇති කළ යුතු නෑ.

අද බොහෝ දෙනා ඉල්ලීම් දිනා ගන්න යන්නේ අරගල කරමින්. ඇත්තටම නිදහස කියන්නේ වැරැදිවලට එරෙහිව අරගල කිරීමේ නිදහස ලබා ගැනීමටයි. මේ රටේ උද්ඝෝෂණ පිස්සුවක් තිබෙන්නේ. මේවාට පිළිවෙළක්, නීතියක් තිබෙන්න ඕනා. වැසිකිළි යන්න බැරි වුණාමත් අරගල කරන තත්ත්වයට නොවැටී.

එක අතකට අපට තිබෙන්නේ මොට්ට නිදහසක්. නිදහස ගැන දන්නේ නැති ගවයන් රැළකට නිදහස ලැබුණා වගේ. ටයි එකෙයි, ඉංගිලිසි ටිකෙයි හයිය විතරයි. ටයි ගැලෙව්වොත් ගොළුබෙල්ලාගේ කටුව පොඩිවුණා වගේ චුරුප්පන් ටික ඉතුරු වෙන්නේ.

එනිසා තිස් වසරක් තිබූ ප්‍රශ්නයත් සුද්දන් පුදුම වන ලෙසින් නන්දිකඩාල්වලින් පටන්ගෙන නිදහස් වුණාට පසු අප කළ යුත්තේ, සැබෑ නිදහස වෙනුවෙන් ඉදිරි පියවර තැබීමයි.

පළමුවෙන්ම සිය බස දැන ගත යුතුයි. සමහරු අමාවතුර උණුවතුරද ඇල් වතුරද දන්නේ නෑ. අපේ ලේඛන කලාව තිබෙන්නේ 11 උත්තිය රජුගේ කාලේ සෙල්ලිපිවල සිටයි. ඒ අපේ පැරැණි උරුමය.

බුදු දහම පංච ශීලය අනුව කිසිම හිංසාවක් උගන්වා නැති අන්‍යාගම්වලටත් සලකන දහමක්. එයින් අධ්‍යාත්මය දියුණු කළ යුතුයි.

අපේ ගොවිතැන අප දියුණු කර ගන්න ඕනෑ. අනුන්ගේ පොහොරවලින් වකුගඩු ටික විනාශ වුණා. අපට අපේ පොහොර නිපදවා ගන්න පුළුවන්. අපට නිදහස් දවසේ නිදහසේ අඹයක්, කෙසෙල්ගෙඩියක් කන්න පුළුවන්ද? සිංගප්පූරුවෙන් අවශ්‍ය නම් උගත යුත්තේ ඒවායි. අපට පින්සිදු වන්න දියුණු වුණු සිංගප්පූරුව වගේ මේ රට හදනවාය කියන තරම් විහිළුවක් මේ නිදහස් දිනයට තවත් නෑ.

අපේ ආයුර්වේදය සුළුපටු නෑ. එය වර්ධනයට වගේම සංරක්ෂණයටත්, ඒ දැනුම සැඟවී නොයා ලබා ගැනීමටත් නිසි පියවර ගත යුතුයි. කම්මල්කරුවාගේ සිට ඉහළටම අපේ පැරැණි කර්මාන්ත නැංවීමට කටයුතු කළ යුතුයි. පරාක්‍රම බාහු රජුත් ඉල්ලුවේ ‘මට සිංහල කඩුවක් දෙව කියායි’.

අධ්‍යාපනයේදී මූලික වශයෙන් ගුණධර්ම වගා කළ යුතුයි. ගුණදම් නැති දෙමාපියන්ට නොසලකන දරුවන් අපරාධකරුවන් හා සමානයි. මත්පැන් මත්ද්‍රව්‍යවලින් රට බේරා ගැනීම රජයක යුතුකමක්. එය පාලනය කළ නොහැකි රජයක් ඉල්ලා අස්විය යුතුයි. ඒ නිසා මේ නිදහස් දිනයේ සිට වත් රට මත් වතුරින් නිදහස් කරන්න කටයුතු අදිටන් කර ගැනීම වැදගත්. එයට විරුද්ධව කිසිවෙක් අරගල කරන්නේ නෑනේ? ඉතින් බාධා නැති දේ කළ යුතුයි.

නීතිය කාටත් සාධාරණ විය යුතුයි. සෙනසුරාදා ඉරිදා, රෑ කාලයේ හෝ විශේෂ අධිකරණ සභා පවත්වා පමා නොවී, කාර්යක්ෂමව ඒ විසඳුම් දීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි. නීතියේ විශ්වාසය රටකට ඉතා වටිනවා. අපට අපේ නිදහස නිදහසේ විඳිය හැක්කේ එවිටයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles