Sunday, October 2, 2022

එක්නැලිගොඩ ඝාතනයකල ස්ථානය මෙන්න!

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩව 2010 ජනවාරි 24 දින පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳව මා විසින් ‘සත්හඬ’ පුවත්පත හරහා සමාජගත කරන ලද සියලූ තොරතුරුවල මූලාශ‍්‍රය වූයේ, රජයේ බුද්ධි අංශ මඟින් මා ලබා ගත් තොරතුරුය.

රජයේ බුද්ධි අංශ මඟින් ලබා දුන් තොරතුරු කෙරෙහි පමණක් පූර්ණ විශ්වාසයක් නොතැබූ මා එම තොරතුරුවල නිවැරැදි භාවය තහවුරු කර ගැනීම සඳහා රජයේ ආරක්ෂක නොවන මූලාශ‍්‍ර ද භාවිත කළේය.

එක්නැළිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳ පසුගිය දින මා විසින් හෙළි කරන ලද තොරතුරු ඔස්සේ මා දින පහක සංචාරයක නිරත වූයේය. එම සංචාරයට ගිරිතලේ, කන්තලේ, සෙවණපිටිය, මදුරංගල, දිවිච්චි හේන, සොරිවිල සහ ත‍්‍රිකුණාමලය යන ප‍්‍රදේශවලට අමතරව එක්නැළිගොඩ නිතර ආ ගිය ‘සීගිරිය’ පොලිස් වසමට අයත් ඔහුගේ ගොවිබිම ද අයත් විය.

එහි දී ගවේෂණාත්මක මෙන්ම වැදගත් තොරතුරු රැසක් සොයා ගන්නට මා හට හැකි විය.
රජයේ හමුදා හා එවකට පැවති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ අනුග‍්‍රහය ලත් අතුරු හමුදා කණ්ඩායම්වල අණසක යටතේ ඉහත ප‍්‍රදේශ පාලනය විය.

පොදු මගී ප‍්‍රවාහන සේවය, යතුරුපැදි, ත‍්‍රිරෝද රථවල සහායෙන් සහ සැතපුම් ගණන් පයින් ක‍්‍රෑර වධ බන්ධනයන් පමුණුවා ඝාතනය කර හොර රහසේ වළ දමන ලද මළවුන්ගේ සොහොන් බිම් මැදින් ප‍්‍රගීත් නමැති ‘සුන්දර’ මිනිසා රඳවා සිටි හා ඝාතනය කළ වධකාගාර සොයා මම ඇවිද ගියෙමි.

වැහි බිඳු ඇද වැටෙමින් තිබූ අතර හිරුගේ බලය යට කරගනිමින් අඳුරේ ආධිපත්‍යය පැතිරෙමින් තිබුණි. සුළඟ ද අඳුරට බයේ සැඟවිණි. එල්ලූම් ගහට නියම වූ මිනිසුන් මෙන් ගස් මා දෙස දුක්බර දෑසින් බලා සිටියේය. ගස්වලින් ඇද හැලෙන වැසි කැට මා දුටුවේ දෑස්වලින් වැගිරෙන කඳුළු බිඳු සේය. ගස් මහ පොළොව මත අතු විහිදා යමක් කියන්නට උත්සාහ කළ ද අඳුර ඊට ඉඩ දුන්නේ නැත. මළවුන් ගස් අතරින් ඔබමොබ යමින් හොරෙන් මා දෙස බලා සිටියහ. මා බිය වූ බවත් මළවුන්ට නොපෙන්වුවද පිටුපස මා සමඟ ගිය හේරත් සහෝදරයා දෙස හැරී බැලූවේ මම ද නොදැනුවත්වමය.
‘‘මොකද සහෝදරයා?’’ යැයි ඔහු සිනාවක් පාමින් මගෙන් විමසීය. ‘‘නැහැ සහෝදරයා’’ යැයි පිළිතුරු දෙමින් මා ද ඔහුට සිනාවකින් සංග‍්‍රහ කර ගමන වේගවත් කළේය.

Ekneligoda 1එක්නැළිගොඩ 2010 ජනවාරි 24 දින එනම් 2010 ජනාධිපතිවරණයට දින දෙකකට පෙර හමුදා බුද්ධි ඒකකයේ විදේශ බුද්ධි අංශ ප‍්‍රධානී ලූතිනන් කර්නල් ෂම්මි කුමාර රත්නායක ඇතුළු කණ්ඩායමක් විසින් රාජගිරියේ දී පැහැර ගන්නා ලදහ. ඔහු පැහැර ගත් ලූතිනන් කර්නල් රත්නායක ඇතුළු පිරිස එසේ එක්නැළිගොඩව මුලින්ම රැගෙන ගොස් ඇත්තේ සීගිරිය පොලිස් වසමේ පිහිටි ඔහුගේ ගොවිපළටය. පසුව නැගෙනහිර හමුදා බුද්ධි අංශ මූලස්ථානය වන ගිරිතලේ හමුදා කඳවුරට රැගෙන ගොස් ඇත.

එක්නැළිගොඩව ගිරිතලේ හමුදා කඳවුරේ සතියක පමණ කාලයක් රඳවාගෙන ප‍්‍රශ්න කර පසුව ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝගයක් මත ලූතිනන් කර්නල් රත්නායක ප‍්‍රගීත් දිඹුලාගල පොලිස් වසමේ පිහිටි සොරිවිල තාවකාලික හමුදා කඳවුරට භාර දී ඇත.

නමුත් 2015 ඔක්තෝබර් 18 වනදා මා විසින් ‘සත්හඬ’ පුවත්පතට ලියන ලද ප‍්‍රවෘත්තියේ සඳහන් වූයේ, එක්නැළිගොඩව සොරිවිල ප‍්‍රදේශයේ ස්ථානගත කර තිබූ පිල්ලෙයාන්ගේ කඳවුරකට භාර දී ඇති බවත් එහි දී වෙඩි තබා ඝාතනය කර මෘත දේහය ති‍්‍රකුණාමලෙන් මුහුදට දැමූ බවත්ය.

සොරිවිල පිල්ලෙයාන්ගේ කඳවුර පිහිටා තිබුණේ, මාරි අම්මාන් හා පෙට්ටි අම්මාන් කෝවිල් දෙක ඉදිරිපස ක‍්‍රීඩා භූමියේය. එම කඳවුර 2009 වර්ෂය අවසානයේ ඉවත් කළ බව ගම්වාසීහු පවසති. පිල්ලෙයාන්ගේ කඳවුරට අමතර යුද හමුදා බුද්ධි අංශයට අයත් කඳවුරක් සොරිවිල දිඹුලාගල පාරේ පිහිටුවා ඇත.

සොරිවිල යනු දෙමළ ගම්මානයකි. පිල්ලෙයාන්ගේ කඳවුර පිහිටා තිබුණේ ද එම ගම්මාන ඇතුළතය. සොරිවිල ගමට යද්දී මුලින් හමුවන්නේ යුද හමුදා කඳවුරයි. එම කඳවුර වටා ස්ථානගත කර ඇති බිම් බෝම්බ තවමත් ඉවත් කර නැත. කඳවුරු පරිශ‍්‍රයට ඇතුළු වූ කිරි ගවයන් දෙදෙනකුගේ පාද බිම් බෝම්බ පුපුරා යෑම නිසා අහිමි වූ බව ප‍්‍රදේශ වාසියකු අප සමඟ පැවසීය.

සොරිවිල යුද හමුදා කඳවුරේ යුද හමුදා සෙබළුන් වෙනුවට අද එහි ලැගුම් ගෙන සිටින්නේ සිවිල් ආරක්ෂක සෙබළුය. අපි එහි යන විට ඔවුහු ගඩොල් නිෂ්පාදනය කරමින් සිටියහ. අතීතයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව බුද්ධි තොරතුරු එක්රැස් කිරීම හා මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන කඳවුරක් වශයෙන් සොරිවිල කඳවුර පවත්වාගෙන ගිය බව පිල්ලෙයාන්ගේ කණ්ඩායමට සම්බන්ධව සිටි දෙමළ තරුණයෙක් අප සමඟ කීය.

එක්නැළිගොඩව ගිරිතලේ යුද හමුදා කඳවුරෙන් සොරිවිල තාවකාලික යුද හමුදා කඳවුරට භාර දී ඇති අතර පසුව ඔහු ත‍්‍රිකුණාමලේ ප්ලාන්ටන් පොයින්ට් (Plantan Point) නම් යුද හමුදා කඳවුරට භාර දී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නියෝගයක් මතය. ප්ලාන්ටන් පොයින්ට් හෙවත් කෙසෙල් තුඩු කඳවුර පිහිටා ඇත්තේ ඕවර් සීල් පාර කෙළවරේය. එම පාර අවසානයේ පිහිටා ඇත්තේ මුහුදය.

එක්නැළිගොඩට වෙඩි තබා ඝාතනය කර ඇතුල් වරාය (In harbour) මුහුදේ ගිල්වා ඇතැයි ඉතාමත් විශ්වාස ආරංචි මාර්ග සඳහන් කරයි. ත‍්‍රිකුණාමල ප‍්‍රධාන නාවික හමුදා මූලස්ථානය ද පිහිටා ඇත්තේ ඇතුල් වරායේය. ඇතුල් වරාය මුහුද ස්වාභාවිකව සැකසුණු ඉතා ගැඹුරු ප‍්‍රදේශයකි.
එක්නැළිගොඩගේ මළ සිරුර පමණක් නොව එල්ටීටීඊ යැයි සැකපිට අත්අඩංගුවට ගත් දහස් ගණනකගේ මළ සිරුරු බඩ කපා ඇතුල් වරාය මුහුදේ ගිල්වා ඇත. නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගත් දෙමළ හා සිංහල සැකකරුවන්ට ද මුහුණ දෙන්නට සිදුව ඇත්තේ එම ඉරණමටමය.

එක්නැළිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්ලාන්ටන් පොයින්ට් යුද හමුදා කඳවුරේ මේජර්වරයකුගෙන් කපිතාන්වරයකුගෙන් සහ සාජන්වරයකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ ලබා ගෙන ඇත. එම තිදෙනා යුද හමුදාවෙන් විශ‍්‍රාම ගිය අය වෙති.

පිල්ලෙයාන්ලාගේ නැගෙනහිර පළාතේ ප‍්‍රධාන මූලස්ථානය පිහිටා තිබුණේ සොරිවිලය. සොරිවිල කඳවුරට අමතරව මඳුරංගල හා දිවිච්චිහේන (මුතුගල) යන ප‍්‍රදේශවල කඳවුරු දෙකක් ඉදිකර තිබුණි. මෙම කඳවුරු භාරව කටයුතු කර ඇත්තේ මංගල මාස්ටර් නමැත්තාය. යුද්ධයෙන් පසු මංගල මාස්ටර් වාලච්චේන ප‍්‍රදේශයට පදිංචියට ගොස් ඇත. සොරිවිල කඳවුර රමේෂ්, කරුපයියා සහ ජීවා යන අය විසින් පාලනය කර ඇත. යුද්ධයෙන් පසු ඔවුන් ද කරගල හා මුතුගල යන ප‍්‍රදේශවල පදිංචියට ගොස් ඇති බව සොරිවිල වැසියකු අප සමඟ පැවසීය.

 

මළ සිරුරු කිඹුලන්ට පූජා කිරීම

සොරිවිල යුද හමුදා කඳවුර මඟින් හා පිල්ලෙයාන්ගේ කණ්ඩායම විසින් දෙමළ තරුණයන් පැහැර ගෙනැවිත් වධහිංසා පමුණුවා ඝාතනය කර සොරිවිල ඇළ දෙපස වගුරු බිමේ වළ දමා තිබේ.

වේවැල් කපන්නට ඇළ දෙසට කැලයට ගිය පුද්ගලයකු වළ දමා තිබූ මළ සිරුරු කිහිපයක් උඩට පැමිණ තිබෙන බව දැක ඇති බවත් ජනවාරි, Ekneligoda 2පෙබරවාරි මාසවල ඇළ ආශ‍්‍රිත ප‍්‍රදේශය කැණීම් කළහොත් ඝාතනය කර, වළ දමා ඇති මළ සිරුරු සිය ගණනක් සොයාගත හැකි බවත් ධීවරයෙක් අප සමඟ පැවසීය.

අප එම ස්ථානයට ළඟා වෙද්දී ඇළ අවට ප‍්‍රදේශය සම්පූර්ණයෙන් ජලයෙන් වට වී තිබුණි. වැහි කාලය ඇළ ( ඕඬේ) පිටාර ගලන බවත් එම කාලයට ඝාතනය කරන ලද දෙමළ තරුණ, තරුණියන්ගේ මළ සිරුරු කිඹුලන්ට කන්න දමන බවත් එම ධීවරයා වැඩිදුරටත් අප සමඟ කීය.

මිනී මස් බුදින්නට පුරුදු වී ඇති කිඹුලන් ඇළට බහින අය ඇදගෙන යෑමට පටන්ගෙන ඇති නිසා, සොරිවිල ජනතාවට ඇළ ප‍්‍රදේශය තහනම් කලාපයක් වී ඇත.

ත‍්‍රිකුණාමල කොටුව මුදුනේ දෙමළ ජනතාවගේ මෙන්ම සිංහල ජනතාවගේ ගෞරව විශ්වාසයට පාත‍්‍ර වූ කෝනේශ්වරම් කෝවිල පිහිටුවා ඇත. කෝනේශ්වරම් කොටුව පාලනය වන්නේ දෙවන ගජබා රෙජිමේන්තුවේ අණසක යටතේය.

 

කෝනේශ්වරම් කන්දෙන් මුහුදට මළ සිරුරු දැමීම

කෝනේශ්වරම් කන්දේ උතුරු බෑවුම් හෙවත් බ්ලැක් බේ (Black Bay) ප‍්‍රදේශයට අයත් මුහුද ඉතා ගැඹුරු බව ධීවරයෝ පවසති.

යුද්ධය පැවති අවධියේ ත‍්‍රිකුණාමල නගරය හා කොටුව ස්ථානගතව ක‍්‍රියාත්මක වූ යුද හමුදා හා නාවික හමුදා කණ්ඩායම් විසින් අත්අඩංගුවට ගන්නා ලද දෙමළ තරුණ තරුණියන්ව ඝාතනය කර, කෝනේශ්වරම් කන්දේ උතුරු බෑවුමෙන් මුහුදට දමන බවට කටකතා පැතිර ගියේය.

මෙම කටකතා ඇත්ත වුවත් ඒ බව තහවුරු කරන්නට කෙනකු ඉදිරිපත් වූයේ නැත. නමුත් කෝනේශ්වරම් කන්දේ උතුරු බෑවුම් මුහුදේ පොකිරිස්සන් අල්ලන්නට ගිය කිමිදුම්කරුවන් පිරිසකට මුහුදු පතුලේ තිබී මළ සිරුරු කිහිපයක් හමු වී ඇත. පසුව එම මළ සිරුරු පිළිබඳව කිමිදුම්කරුවන් ත‍්‍රිකුණාමල පොලීසිය දැනුවත් කිරීමට ගිය අවස්ථාවේ මොන මිනීද? අනවශ්‍ය වැඩවලට අත දමන්නට එපා යැයි කියා එළවාගෙන ඇත.

 

මාරයන්ට හසු වූ සොරිවිල ජනතාව

කරුණා හා පිල්ලෙයාන් මුල දී එකට වැඩ කළහ. පසු ඔවුන්ව බල අරගලය මඟින් වෙන් කරන ලදී. නැගෙනහිර හිටපු එල්ටීටීඊ සාමාජිකයන් අතර වැඩි බලයක් තහවුරු කරගන්නට පිල්ලෙයාන් සමත් විය. ඒ අනුව මදුරංගල, දිවිච්චිහේන සහ සොරිවිල යන කඳවුරුවල බලය ද ඔහු විසින් අත්පත් කර ගත්තේය.

කරුණා හා පිල්ලෙයාන් සමඟ අලූගෝසු වැඩවල නිරත වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට ද ආරක්ෂක අමාත්‍යාංශය මඟින් වැටුප් ගෙවා ඇත. ආරක්ෂක අමාත්‍යාංශය ඔවුන්ට වැටුප් ගෙවා ඇත්තේ සිවිල් ආරක්ෂක සෙබළුන්ගේ වැටුප් නාම ලේඛනයට කරුණාගේ හා පිල්ලෙයාන්ගේ සාමාජිකයන්ගේ නම් ඇතුළත් කරය.

රාජපක්ෂ රෙජීමයේ අලූගෝසු වැඩ සඳහා යොදා ගත්, කරුණා හා පිල්ලෙයාන් සමඟ සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් යුරෝපයට යවා ඇති බවත්, තවත් සමහරුන්ව රන්සරණතැන්න ප‍්‍රදේශයේ ඉඩම් ලබා දී පදිංචි කර ඇති බවත් මදුරංගල ප‍්‍රදේශවාසියෙක් අප සමඟ කීය.

රාජපක්ෂ ආණ්ඩුවේ පූර්ණ අනුග‍්‍රහය යටතේ ක‍්‍රියාත්මක වූ විශේෂයෙන්ම පිල්ලෙයාන්ගේ කණ්ඩායම මදුරංගල, දිවිච්චිහේන සහ සොරිවිල ප‍්‍රදේශවල ළමුන් බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් මැර වැඩවලට යොදා ගත් බව, පිල්ලෙයාන්ගේ කණ්ඩායම විසින් පැහැර ගත් සත්‍යජීවන්ගේ මව අප සමඟ පැවසුවාය.

පිල්ලෙයාන්ලාගේ ආධිපත්‍යයට අභියෝග කළ කිසිවකු ජීවතුන් අතර සිටින්නේ නම් ඒ අහම්බෙනි. ඔවුන්ට ගරුසරු කළේ නැතැයි කියා කන්දයියා කරුණාරත්නම් වෙඩි තබා ඝාතනය කළේය. පිල්ලෙයාන් මැරයන්ගේ අණට අවනත නොවූ වෘත්තියෙන් ධීවරයකු වූ රවීන්ද්‍රන්ගේ අත හා කකුල කඩා දැමුවේය.

පිල්ලෙයාන්ගේ ගෝලයකුට යතුරුපැදිය නොදුන්නා යැයි කියා වේළුපිල්ලේ විනයාගමූර්තිව සොරිවිල කඳවුරට රැගෙන ගොස් වධ දීමෙන් පසු කකුලක් කඩා දමා ඇත.

පිල්ලෙයාන්ලාගේ කණ්ඩායමේ මැරකම්වලට ගොදුරු වුණේ දෙමළ ජනතාව පමණක් නොව සිංහල ජනතාව ද ඔවුන්ගේ මැරකම්වලට ගොදුරු වූහ. දිඹුලාගල විහාරයේ ලොකු හාමුදුරුවන්ගේ රියැදුරු චන්දන පැහැර ගත්තේය. රුපියල් ලක්ෂයක කප්පම් මුදලක් ගෙවා පසුව ඔහුව බේරාගත් බව දිඹුලාගල ත‍්‍රිරෝද රථ රියැදුරෙක් අප සමඟ කීය.

පිල්ලෙයාන්ලාගේ මෙන්ම රජයේ හමුදා සහ පොලීසිවල මැරකම්වලට ද සොරිවිල දෙමළ ජනතාවට මුහුණ දෙන්නට සිදු වූහ.

මාළු ඇල්ලූවහම හමුදා කඳවුරට, පොලීසියට සහ පිල්ලෙයාන්ගේ කඳවුරට මාළු කිලෝ එක බැගින් දුන්නේ නැත්නම් මාළු අල්ලන්න නොදෙන බව සොරිවිල වැවේ මාළු අල්ලමින් සිටි ධීවරයකුගෙන් ජන ජීවිතය ගැන අප කළ විමසුමක දී පැවසීය.

ශාන්ත විජේසුරිය (සත්හඬ)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles