Friday, May 20, 2022

කලාකරුවන්ට යුද්ධයේ යථාර්ථය හෙළිදරුව්කල හැකියි – ප්‍රසන්න

චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මෑතක දී ඔබ නැතිව, ඔබ එක්ක චිත්‍රපටය ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග කතා කලේ ය. විනාඩි 90ක් පුරා දිවෙන ඔහුගේ වෘත්තාන්ත චිත්‍රපටය බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුව දියත් කල තිස් අවුරුදු යුද්ධයේ මානව වන්දිය ගැන ඔහු නිර්මාණය කල තුන් ඈඳුතු යුද චිත්‍රපට මාලාවේ අවසන් දිග හැරුම යි. පූර්ව චිත්‍රපට යුගල වූයේ 1997 දී තිරගත කල පුරහඳ කළුවර හා 2003 වසරේ නිර්මානය කල ඉර මැදියම යි.

2013 වසර මුල දී ඔබ නැතිව, ඔබ එක්කජාත්‍යන්තරව මුදා හරිනු ලැබ සම්මාන ගනණාවක් දිනා ගත්තත් ශ්‍රී ලංකාව තුල චිත්‍රපටයේ මහජන ප්‍රදර්ශනය තහනම් කෙරී තිබිනි. ශ්‍රී ලංකා රැඟුම් පාලක මණ්ඩලය කියා පෑවේ, විතානගේගේ චිත්‍රපටය නිසා සන්නද්ධ හමුදාවන් ජාත්‍යන්තර වසයෙන් “අපකීර්තියට ලක් විය හැකි“ බව යි.

රුසියානු ගත් කතුවර ෆියදෝර් දොස්තෙයෙව්ස්කි විසින් 1876 දී රචිත ද ගුඩ් වුමන් නම් කෙටි නවකතාව චිත්‍රපටය සඳහා පාදක වන අතර එය සමකාලීන ශ්‍රී ලංකාවට ගලපා තිබේ. සරත්සිරි නම් සිංහල උකස් බඩු ගන්නෙකු සහ සෙල්වි නම් සිය දෙමාපියන් විසින් දිවයිනේ උතුරු යුද කලාපයේ සිට ආරක්ෂාව පතා මධ්‍යම කඳුකරයට එවන ලද දෙමළ තරුණියක අතර ඇති වන සම්බන්ධතාව එයට කේන්ද්‍ර වේ. දෙදෙනා ආදරයෙන් බැඳී විවාහ ප්‍රාප්ත වන නමුත් යුද සමයෙහි සිදු කෙරුනු ගොරතරකම් පිලිබඳ මතක සටහන්වලින් ඔවුන්ගේ සබඳතාවට විෂ කැවෙයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය 2014 ජූනි මාසයේ දී ඔබ නැතිව, ඔබ එක්ක විචාරයට ලක් කල අතර චිත්‍රපටය තහනමට ලක් කිරීම හෙලා දකිමින් සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන එම වසරේ දෙසැම්බර් 25 දා ප්‍රකාශයක් නිකුත් කලේ ය.
සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව නව රැඟුම් පාලක මණ්ඩලයක් පත් කිරීමෙන් අනතුරුව පසු ගිය මාසයේ චිත්‍රපටය මුදා හැරුණු අතර ශ්‍රී ලංකාවේ සිනමා හල්වල ප්‍රදර්ශනය කරමින් තිබේ. කෙසේ නමුත්, මර්දනකාරී වාරණ තන්ත්‍රය තවමත් පවතී. 1990 දී ඝාතක කල්ලි විසින් වධ දී මරා දැමුනු රිචඩ් ද සොයිසා මාධ්‍යවේදියාගේ ජීවිතය පිලිබඳ චිත්‍රපටයක් තැනීම නවත්වන්නැයි චිත්‍රපට අධ්‍යක්ෂ නිලේන්ද්‍ර දේශප්‍රියට මාර්තු මාසයේදී දන්වා තිබිණ. මේ “ඔබ නැතිව, ඔබ එක්ක“ අධ්‍යක්ෂණය කල ප්‍රසන්න සමග සිදුකල සංවාදයකි.

Q – යුද්ධයේ යථාර්ථයත් සමග ගනුදෙනු කිරීම ඕනෑ ම සිනමාකරුවෙකුට අභියෝගයක්. ශ්‍රී ලංකාව තුල දී එය විශේෂයෙන් ම දුෂ්කර කටයුත්තක්. ඔබ නැතිව, ඔබ එක්කචිත්‍රපටය නිර්මානය කලේ ඇයි?

A –  ජාත්‍යන්තරව ගත් විට යුද්ධයක් පැවති කාලයක යුද්ධය ගැන කතා කරපු චිත්‍රපට බිහි වෙලා තියෙන්නේ අතලොස්ස යි. එහි ආරම්භය තමයි ඉතාලියානු සිනමාකරු රොබෙටෝ රොසෙලිනීගේ Rome Open City චිත්‍රපටය. එය ඉතාලියානු ෆැසිස්ට්වාදයට එරෙහිව විවිධ කන්ඩායම් සටන් කරපු විදිය පිලිබඳව සංවේදීව සටහන් කලා. ඉතාමත් අපහසුවෙන් හදපු චිත්‍රපටයක්. ඒත් ඒක ලෝක සිනමාවට ම බලපාන රැල්ලක් ඇති කලා. ජීවිතයට, තමන් අවට දකින දේට ප්‍රේක්ෂක දෑස් විවර කරන්න එය සමත් උනා.

ශ්‍රී ලංකාව ගත්ත ම, අපේ රටේ 30 අවුරුදු යුද්ධයක් තිබුනා. අපි හැමෝම දන්නවා, ඒ කාලය තුල මා හැදූ පුරහඳ කලුවර වාරණයට ලක් වුනා. අපි දැක්කා, අදාල අමාත්‍යවරයා එයට විරුද්ධව විශාල මැදිහත් වීමක් කලා. එයට ප්‍රතිවිරුද්ධව ගොඩ නැගුනු විරෝධතාවක් හා අධිකරන ක්‍රියා මාර්ගයක් හරහා තමයි ඒ චිත්‍රපටය තිරගත කිරීමට අවස්ථාව ලැබුනේ.

යුද්ධය ප්‍රාග්ධනයේ මෙහෙයුමක් සහ ලාභය පදනම් කර ගත්ත දෙයක්. එහි දී මාධ්‍ය විසින් පාලක පන්තිය වෙනුවෙන් සැම විට ම මතවාද නිර්මාණය කරනවා. කෙසේ වෙතත්, පාලක පන්තියේ මෙම මතවාද ඉරා දමමින් යුද්ධයේ යථාර්ථය හෙලිදරව් කිරීමේ ශක්‍යතාව කලාකරුවන් සතුව පවතිනවා.

පුරහඳ කලුවර චිත්‍රපටයේ දී සිදු කලේ, සිංහල හමුදාවේ තරුණයන් යුද්ධයට මුහුණ දුන් ආකාරය පිලිබඳව සාකච්ඡා කිරීම. ලංකාවේ යුද්ධයට බැඳුනේ රටේ උතුරු මැද පලාතේ, වයඹ පලාතේ විවිධ ආර්ථික දුෂ්කරතා පැවති තරුණයන්. රැකියා වියුක්තිය, ග්‍රාමීය ආර්ථීකය බිඳ වැටීම යන කරුණු මත යි ඔවුන් හමුදාවට බැඳුනේ. ඒ වගේ ම, මෙම යුද්ධය කොහොම ද සමාජ ආචාර ධර්මවලට බලපාන්නේ, එය වැඩිහිටි පරම්පරාවේ ආචාර ධර්මවලට බලපාන්නේ කොහොම ද කියන කාරණාව. මේ ප්‍රදේශයට ගියා ම දැකපු දේ තමයි මේ චිත්‍රපටයෙන් ගෙනාවේ.

ඉන් පසුව අශෝක හඳගමගේ මේ මගේ සඳයි, විමුක්ති ජයසුන්දරගේ සුලඟ එනු පිණිස වගේ නිර්මාණ හරහා යුද්ධය විවිධ කෝණයන්ගෙන් නිරාවරණය කෙරුනා. ඒවාට බලධාරීන් දැක්වූ ප්‍රතිචාරය තමයි ඒ චිත්‍රපට වාරණය කිරීම, ඒ සිනමාකරුවන් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසමින් එවක සිටි හමුදා නිලධාරීන් ඔවුන්ට තර්ජනය කිරීම, ඒ වගේම නිෂ්පාදනයේ දී හා ප්‍රදර්ශනයේ දී ඒ චිත්‍රපටවලට බාධා පැමිණවීම.

මේ තත්වය යුද්ධයේ අවසානයත් සමග වඩාත් නරක අතට හැරෙනවා, යුද වින්දනීය සිනමාවක් අපේ රටේ බිහි කරන්නට බලධාරීන් හිතාමතා ම කටයුතු කිරීමත් සමග, එම බලධාරීන් හිතාමතා ම එම නිර්මාණවලට දෙන සහයෝගයත් සමග. මේ චිත්‍රපට ප්‍රදර්ශනය වෙන්න පටන් ගත්තා ම, පුවත්පත් කතුවරුන්, විචාරකයන් සඳහන් කලා, අපි ඒ හදන්න හදපු යථාර්ථවාදී සිනමාව දැන් අවසාන යි කියලා.

අපි යුද්ධයට කැඩපතක් ඇල්ලුවා. ඒත් මේ ආකාරයේ චිත්‍රපට තැනීමට තව දුරටත් පුලුවන්කමක් නැතැයි තර්ක කල මාධ්‍ය විසින් ඒවා හෙලා දකිනු ලැබුවා. ඒ කැඩපතට ගල් ගහලා ඉවර යි, තව දුරටත් එය කරන්න බෑ කියලා ඔවුන් කීවා. මම දකින්නේ, ඒක පරාජිත මානසික ස්වභාවයක්. මම එයට අභියෝග කලේ ඔබ නැතිව, ඔබ එක්ක චිත්‍රපටය හරහා. වාසනාවට වගේ මා කෙරෙහි විශ්වාසය තියෙන, මගේ චිත්‍රපටවලට කැමති තිදෙනෙක් චිත්‍රපටයට මුදල් යෙදවීමට ඉදිරිපත් වුනා. මොහොමඩ් ඇඩම් අලි, විදේශගත ශ්‍රී ලාංකිකයෙකු වන ලසන්ත නවරත්න, ඒ වගේ ම ඉන්දියාවේ රාහුල් රෝයි තමයි මේ තිදෙනා.

 Q – චිත්‍රපටයේ නාමයේ ඇති වැදගත්කම කුමක් ද?

A – ඔබ නැතිව, ඔබ එක්ක විවිධ මානයන්ගෙන් දැක ගත හැකි චිත්‍රපටයක්. එක පැත්තකින් එය පරිභෝජනවාදය කෙරෙහි මෙන් ම පුරුෂා‎ධිපත්‍යය කෙරෙහි එල්ල කරන ලද ප්‍රහාරයක්. අනෙක් පැත්තෙන් එය උද්වේගකර ප්‍රේම කතාවක්.

එකට ජීවත් වෙලා හිටියත් අනෙකාව තේරුම් නො ගැනීම මිනිසුන් සම්බන්ධයෙන් ගත් විට අසාමාන්‍ය දෙයක් නොවේ. – අනෙකා ආදරවන්තියක, කාන්තාවක්, මිත‍්‍රයෙක් හෝ වෙනත් ජාතියකට හෝ වර්ගයකට අයිති තැනැත්තෙක් විය හැකියි. එනමුත්, තමන්ව අත්හැර දැමූ පසු, නැත්නම් තමන්ගෙන් වෙන් වූ පසුව පවා ඔවුන් අනෙකා පිලිබඳ මතකයන් තුල ජීවත් වෙනවා. ඔහුට ඉදිරියට යන්නත් බෑ, පස්සට යන්නත් බෑ. මොක ද ඔහු මෙම මනුෂ්‍ය ස්පර්ශය, මෙම ජීවිත ස්පර්ශය, මෙම මානව සබඳතාව තේරුම් නොගත් නිසා ඔහුට සිදු වෙනවා මනඃකල්පිත ලෝකය තුල අනෙකා සමග ජීවත් වෙන්න. ඒක නිසා ඔබ නැතිව ඔබ එක්ක මාතෘකාවට අර්ථ දෙකක් තියෙනවා: මා ඔබත් එක්ක ඉන්න කාලේ ඔබ නැතුව ඔබ එක්ක යි මා සිටියේ. ඒ වගේ ම ඔබ වියෝවීමෙන් පසුවත් මා ඔබ නැතිව තාමත් ඔබත් එක්ක යි ඉන්නේ.
Q – ඔබ දොස්තයෙව්ස්කිගේ කෙටි නවකතාවට ආකර්ශණය වූයේ මක්නිසා ද? ඔබට එහි ලා අවධාරණය කිරීමට අවශ්‍ය වූයේ කුමක් ද?

A –  රාහුල් රෝයි ඉන්දියාවේ වාර්තා චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඔහු මට කීවේ අපි පුරුෂාධිපත්‍යය පිලිබඳ චිත‍්‍රපටයක් කරමු කියලා. මම කතා කීපයක් ම සලකා බැලූවා. දොස්තෙයෙව්ස්කිගේ කෙටි නවකතාව කියවපු මට වැටහුනු කාරKය තමයි, පුරුෂාධිපත්‍යයේ තියෙන අඥානකම මෙතරම් හොඳින් මතු කරන කෘතියක් තවත් නෑ කියන එක. පුරුෂාධිපත්‍යය කියන්නේ කුමක් ද? සමාජයක පුරුෂයෙකු විසින් කාන්තාවක් සමානයෙකු ලෙස නොසලකා දෙවන පන්තියෙහි ලා සැලකීම. ඇයගේ හඬ මතු වීමට නො දී පුරුෂයාගේ හඬ මතු කිරීම, ඇයගේ හඬ යටපත් කිරීම. ලියොන් ට්‍රොට්ස්කි සහෝදරයා සඳහන් කරලා තියෙනවා, හොඳ කලාකරුවෙකුගේ මූලික ලක්ෂණය තමයි සමාජය තුල දෙවන පන්තියෙහි ලා සැලකෙන පීඩිත ජනතාව හා කාන්තාවන් කෙරෙහි ඔහු දක්වන දයාව කියලා.

මේ පුරුෂාධිපත්‍යය ගැන කීමේ දී එය මගේ පුරුෂකම ගැනත් කැඩපතක් වෙනවා. අපි මොන අදහස් දැරුවත්, අපි අපේ පුරුෂකම පාවිච්චි කරනවා ද තව කෙනෙකු පෙලන්න කියන එක අපෙන් ම ප‍්‍රශ්න කරන්න මේ කෙටි නවකතාව බලපෑවා. මෙම ආධිපත්‍යය ලිංගිකත්වයට විතරක් සීමා වෙන්නේ නෑ. රාජ්‍යයේ ආධිපත්‍යයක් තියෙනවා. රාජ්‍යයක් සුලූ ජනවර්ගයකට වෙනස් විදියට සලකන්නේ මහ ජාතියේ ආධිපත්‍යය මත. මෙම ආධිපත්‍ය රාජ්‍යයක් මත හෝ ලිංගිකත්වයක් මත පදනම් විය හැකි යි. ඒක මම ලංකාවේ අත්දැකීම්වලින් දැකලා තියෙනවා. අපි දෙමල ජනතාවත් එක්ක මුස්ලිම් ජනතාවත් එක්ක මේ අත්දැකීම් ලංකාවේ දී විඳලා තිබෙනවා.

ඒ නිසා මම පෙලඹෙනවා, ප්‍රේමය කියන මානව සබඳතාව මතු කරන අතරේ, පශ්චාත් යුද කාලීන තත්වයක් තුල මෙම ජාතික ප්‍රශ්නය රූපකයක් ලෙස දකින්නට ප්‍රේක්ෂකයන් මෙහෙයවීම සඳහා දොස්තයෙව්ස්කිගේ කතාව පාදක කර ගන්න. ඒක තමයි මම කරන්න උත්සාහ කලේ. ඒක යි මම කීවේ මේකේ තල කීපයක් තියෙනවා කියලා. තල කීපයකින් මේ කතාව දකින්න පුලුවන්.

Q – චිත්‍රපටය දෙමළ ජනයාගේ ඛේදජනක ඉරණම බලගතු ආකාරයෙන් හෙලිදරව් කරනවා. එහෙත් චිත්‍රපටයේ පසුතලය වශයෙන් මෙම ප්‍රදේශය තෝරා ගැනීමට ඔබ තීන්දු කලේ ඇයි?

A – ඔව්, එහි සත්‍ය කාරණාව තමයි, අපි දන්නවා ජනවාර්ගික යුද්ධයේ දී මේ ප්‍රදේශය තුල කිසිදු ආකාරයක ගැටුමක් ඇති වුනේ නෑ. ඒ කියන්නේ යුද්ධයක් තිබුනේ නෑ මේ ප්‍රදේශයේ. බැලූ බැල්මට බොහොම සන්සුන්. නමුත් ඒ සන්සුන්කම ඇතුලේ අපි දන්නවා, වතු කම්කරුවන්ගේ ජීවිතය පීඩාකාරී ජීවිතයක්. තේ අපේ රටේ ප්‍රධාන අපනයන භෝගයක්. ඒත් මේ ප්‍රධාන අපනයනයට දහදිය හෙලන කම්කරුවන්ගේ ජීවන තත්වය ඉතාමත්ම දිලිඳු යි. ඒකයි මේ ප්‍රදේශයේ තත්වය. ඒ ප්‍රදේශය බැලු බැල්මට අතිශය රමණී යි. නමුත් යට විශාල පීඩනයක් තියෙනවා වගේ ම සංකීර්ණ සමාජ සම්බන්ධතාවනුයි පවතින්නේ.

ඒ වගේ ම යි, මට දැනගන්න ලැබුන විදියට, යුද්ධයේ අවසාන කාලයේ දී එල්ටීටීඊයට දෙමළ තරුණ තරුණියන් බලාත්කාරයෙන් බඳවා ගනු ලැබීම වැලැක්වීමට උතුරේ දෙමව්පියෝ මේ ප්‍රදේශයට තම ළමුන් ගෙනැත් නතර කලා. ඇතැම් දෙමව්පියන්, තමන්ගේ ළමුන් දෙමළ වතු කම්කරුවන්ගේ ආරක්ෂාව යටතේ නතර කර නැවතත් උතුරට ගියා.
maxresdefault
චිත්‍රපටයේ දී මම පෙන්වන වතු කම්කරුවන්ගේ හැසිරීම් රටාව බලමු. චිත්‍රපටයේ දී වැඩිහිටි පුද්ගලයෙකුට මෙම තරුණිය විවාහ කර දීමට ඔවුන්ට සිද්ධ වෙන්නේ ඔවුන්ගේ පීඩිත භාවය නිසා. ඒ වගේ ම සරත්සිරිගේ ගෙදර සේවිකාවගේ මනුෂ්‍යත්වය පෙන්වීමට මට අවශ්‍ය වුනා. උතුරුකරයෙන් එන තැනැත්තියව තේරුම් ගන්න එක ම තැනත්තිය ඇය පමණි යි. ඔවුන් අතර තිඛෙන්නේ මානුෂීය සබඳතාවක්. ඒ වගේ ම සරත්සිරි කවදා වත් මුහුන බලලා අර සේවිකාවට කතා කරන්නේ නෑ.

ඒ වගේ ම ඔහුගේ සාප්පුවට පැමිණෙන මුහුණු අතිශය පීඩිත මුහුණු. මේ මුහුණුවලින් මට අවශ්‍ය වුනා ඔවුන්ගේ ජීවන තතු කියන්නට. ඒ වගේ ම සරත්සිරි කිසි ම තැනක දී මේ මිනිසුන් සමග ඔවුන්ගේ භාෂාවෙන් කතා කරන්නේ නෑ. මොක ද ඔහු කල්පනා කරනවා තමන් කතා කරන සිංහල භාෂාව ඔවුන් තේරුම් ගන්න ඕන කියලා. බිස්නස් කරද්දී වත් ඔහු කතා කරන්නේ නෑ. එහෙත් අවසානයේ සේවිකාවගේ නිවස සොයා යාමට මෙම පුද්ගලයාට සිදු වෙනවා. එහි දී දකිනවා මේ ලයින් කාමරවල තියෙන්නේ මොන තරම් අඳුරු ජීවිතයක් ද කියලා. මම එය ගෙනෙන්නේ ප්‍රතිසංවාදයක් වසයෙන්. සුන්දර පරිසරයක අඳුරු ජීවිත. අඳුරු වෙන්නේ මොකෙන් ද? ඔවුන් පීඩාවට පත් කරන ආර්ථීක හා සමාජ තත්වයෙන්.

Q – දෙමල හා සිංහල ජනයාට සාමයෙන් ජීවත් විය නොහැකි ය යන වර්ගවාදීන්ගේ කියා පෑම් චිත්‍රපටය විසින් කීතු කෙරෙනවා. මිනිසුන් ආදරයෙන් බැඳුනා ම වර්ගය හා ආගම සමතික්‍රමනය කෙරෙනවා.

A –  මම ප්‍රධාන වශයෙන් ඔබ නැතිව, ඔබ එක්ක චිත්‍රපටය සලකන්නේ ආදරය ඉල්ලා සිටින චිත්‍රපටයක් හැටියට -එය, ආදරය සොයා යන චාරිකාවක්. එමෙන් ම, බලවත් ලෙස මානුෂීය ස්පර්ශය ඉල්ලා සිටින්නක් හැටියට. එය, ගැහැනුන් මිනිසුන් අතර වේවා, මිනිසුන් මිනිසුන් අතර වේවා, නැතහොත් එක් ජන වර්ගයක පීඩිතයන් හා තවත් ජන වර්ගයක පීඩිතයන් අතර වේවා මානුෂික බැඳීම ඉල්ලා සිටින චිත්‍රපටයක්. සමහර විචාරකයන් මෙම චිත්‍රපටය අඳුරු එකක් ලෙස දකිනවා. ඔව්, මෙය අඳුරු යි. හැබැයි ඒ අඳුර මැද මේ මානව සබඳතාව ඔවුන්ට අත්පත් කර ගත නොහැකි නිසා ම, එය අත්පත් කර ගැනීමේ උනන්දුව ජනිත කරවනවා. සරත්සිරිට හා සෙල්විට එන බාධක නිසා ම චිත්‍රපටයේ හඬ ගෑම ප්‍රබල වෙනවා.

Q – මුල දී ආණ්ඩුව චිත්‍රපටය තහනම් කලා. ඔවුන් එය යුක්ති සහගත කලේ කෙසේ ද?

A – මෙහි ප්‍රධාන චරිතය වන සරත්සිරි හිටපු හමුදා සෙබලෙක්. ඔහු රාජකාරියෙන් පසුව තමන්ගේ පිස්තෝලය තබා ගෙන සිටීමේ දර්ශන ඉවත් කරන්න ඕන කියලා රැඟුම් පාලක මණ්ඩලය කිව්වා. දොස්තෙයෙව්ස්කිගේ කෙටි නවකතාව තුලත් ඉන්නේ හමුදා සෙබලෙක්. මගේ චිත්‍රපටය තුල දී හමුදා සෙබලා පිස්තෝලය කිසි ම විටෙක අතින් අල්ලන්නේ නෑ. කෙටි නවකතාවේ දීත් එය අල්ලන්නේ නෑ. නමුත් එය දැකීම තරුණියට බලපාන්නේ කොහොම ද කියන එක තමයි කතා දෙකේ ම තියෙන්නේ. ඒ දර්ශනය නැතිව චිත්‍රපටය එතැනින් එහාට තේරුම් ගන්න ප්‍රේක්ෂකයන්ට බෑ.

ඒ වගේ ම, තරුණිය පවසන දෙබස්වල එන “සිංහල හමුදාව“ කියන යෙදුම “ප්‍රශ්නකාරී“ බව රැඟුම් පාලක මණ්ඩලය සඳහන් කලා. හමුදාව නිල වසයෙන් ශ්‍රී ලංකා හමුදාව ලෙස නම් කරලා තියෙන බව හැබෑව. නමුත් මගේ චිත්‍රපටයේ චරිත මගේ අදහස් හුවා දක්වන හොරණෑවල් නෙවෙයි.

මගේ චිත්‍රපටයේ රිද්මය හැදිලා තියෙන්නේ මේ චරිත දෙකේ තියෙන ගැටුම හා ඔවුන්ට ඇති වෙන්නා වූ හෘද ස්පන්දනය මුසු වෙලා. ඔවුන් දෙදෙනා එකිනෙකා කියවනවා. එකිනෙකා තමන්ට දැනෙන දේවල්වලට ප්‍රතිචාර දක්වනවා. මේ හෘද ස්පන්දනයේ දී, දෙමළ තරුණියක්, විශේෂයෙන් ම එල්ටීටීඊ පාලන ප්‍රදේශයක හිටපු තරුණියක්, ඇත්තට ම මොන වචන ද පාවිච්චි කරන්නේ? ඔවුන්ට එය සිංහල හමුදාව නෙවෙයි ද? මම පාවිච්චි කරන්නේ ඒ වචනය. එහෙම නැත් නම් මම අවංක කලාකරුවෙකු වෙන්නේ නෑ. මම පාවිච්චි කරලා තියෙන්නේ ඔවුන් පාවිච්චි කරන වචනය.

රැඟුම් පාලක මණ්ඩලය කියනවා, හමුදාව රත්තරන් සොරකම් කරලා තියෙනවා කියලා සෙල්වි කරන දෝෂාරෝපණය අනුචිත යි කියලා. ඒත් ඇය කියන්නේ ඇය සමාජයේ අසා තිබෙන දේවල්. “ඇයි මේ පුද්ගලයා එල්ටීටීඊය සිදු කල දේවල් කියන්නේ නැත්තේ?“ කියලා රැඟුම් පාලක මන්ඩලයේ සභාපති ගාමිනී සුමනසේකර මගෙන් දුරකථනයෙන් ඇහුවා.

දැන් බොහෝ දෙනා කතා කරනවානේ ප්‍රතිසන්ධානය ගැන. ඒ වගේ ම, යුද්ධයෙන් පසු සිංහල හා දෙමළ ජනයා අතර සමගිය හා එක්සත් බව ඇති කරන්න ඕන කියලා. එහෙත්, සාමය අත් කර ගැනීමට නම්, අපි දේවල් දකින්න ඕන අනෙකාගේ දෘෂ්ටි කෝණයෙන්.

Q – සෙල්විගේ ජීවිතයේ ඛේදජනක අවසානය පැහැදිලිව ම යුද්ධයේ ප්‍රතිඵලයක්.

A – ඒක ඇත්ත. නමුත් කලාකරුවෙකුට මෙකී තත්වයන්ගේ මූලයන් පේන්නේ ඔහු හෝ ඇය අවංකනම් පමණයි. එහෙම අවංක උනා ම ඔබට ඒවා ඔබ අවට සමාජය තුල පෙනේවි. මම රුසියානු සාහිත්‍යයේ ලෝලියෙක්. මේ සම්බන්ධයෙන් චෙකොව් ගත්තොත්, චෙකොව්ට අනුව ජීවිතේ තියෙන ලොකු ම අපරාධ වන්නේ, හුදෙක් වෙඩි තියන, මරණ දේවල් විතරක් ම නෙවෙයි, මිනිසුන්ගේ ජීවි938_380_Oba-Nathuwa-Oba-Ekkaත සුපුෂ්පිත කිරීමට ඉඩ නොදීමත් අපරාධයක්. එය දෛනිකව අපේ රටේ දැවැන්ත ලෙස සිදු වෙනවා.

ලෝකයේ අන් කිසිදු දෙයකට වඩා ක්ෂණිකව මිනිසුන්ගේ බලාපොරොත්තු, ප්‍රාර්ථනාවල් කුඩු පට්ටම් කරලා දාන්න යුද්ධයකට පුලුවන් නිසා යුද්ධය අපරාධයක්. අපි දන්නවා යුද්ධයට වගකිව යුත්තේ පවත්නා සමාජ ක්‍රමය හා එහි පදනම වන ධනවාදය බව. අවුරුදු තිහක් තිස්සේ අපි මෙය අත්දැක තියෙනවා. සිංහල හා දෙමළ පීඩිතයන්ගේ ජීවිත පීඩනයට ලක් වෙන්නේ කෙසේ ද යන්න අපි අත්දැක තිබෙනවා.

Q –  චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

A-  චිත්‍රපටය සිනමා ශාලා 20ක ප්‍රදර්ශනය ඇරඹී තිබෙනවා. විශේෂයෙන් තරුණ පරපුර චිත්‍රපටය ගැන දක්වන ප්‍රතිචාරය ගැන මම තෘප්තිමත්.

ඒ වගේ ම මම දකිනවා, මේ චිත්‍රපටය ඇතැමුන්ට අභියෝගයක් වුනා ඔවුන්ගේ විශ්වාසයන් සම්බන්ධයෙන්. ඇතැම් සමාජ මාධ්‍යවල මේ චිත්‍රපටය ගැන විවිධ අදහස් දක්වලා තිබුනා, “කොටි කතක් ඉදිරියේ සිංහල තරුණයෙකු දණ ගස්වා තිබෙනවා“ යනාදී වශයෙන්. චිත්‍රපටයෙන් මම මතු කරන මානව ස්පර්ශය පිලිබඳ අභියෝගය සමහරුන්ට දරන්න බෑ.

මම දකින විදියට මේ දෙපාර්ශ්වයෙහි ම මානව ස්පර්ශයට එකඟ නොවන ජාතිකවාදී බලවේග ඉන්නවා. ඔවුන් ඉතා ම සියුම් විදියට චිත්‍රපටයට එරෙහිව ප්‍රචාරක කටයුතු කර ගෙන යනවා. නමුත්, ඒ මධ්‍යයේ මේ රටේ විශේෂයෙන් තරුණ පරපුර, සිතන මතන උගත් පරපුර මේ චිත්‍රපටය කෙරෙහි සාධනීය ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා.

Q – ජනවාරි මාසයේ දී, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරවීම සඳහා ගෙන ගිය උද්ඝෝෂණයට ඔබ සහාය දුන්නා. දැන් මාස නවයකට පසු ආපසු හැරී බලන විට, සිරිසේන හා රනිල් වික්‍රමසිංහ ආණ්ඩු බලයට ගෙන ආ ව්‍යාපාරයකට සම්බන්ධ වීමට ඔබ ගත් තීන්දුව ගැන සිතන්නේ කුමක් ද?

A –  එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනය කෙරෙහි අතෘප්තිමත් විවිධ කණ්ඩායම් මතු වුනා. ඒ අතර සැබවින් ම ඉන් පීඩාවට පත් පිරිස් හිටියා, විශේෂයෙන් ම මහින්ද චින්තනය නමැති විසකුරු මෙවලම මේ රටේ කලාව, සංස්කෘතිය ඇතුලු දේවල් ඛාදනය කරපු ආකාරය ගැන කලකිරුණු පිරිසකුත් හිටියා. මම අයත් වෙන්නේ ඒ කණ්ඩායමට. එම මොහොතේ, මම පෞද්ගලිකව හිතුවා මේ තත්වය තුල මහින්ද රාජපක්ෂ පරාජය කල යුතු යි කියලා. ඒ අනුව පුරවැසි බලය වේදිකාවේ දී අපි කීවා රාජපක්ෂට විරුද්ධව ඡන්දය දෙන්න කියලා. ඒත් අපි දැන ගෙන හිටියා මේකේ වාසිය යන්නේ සිරිසේනට කියලා. මට දැන් පැහැදිලි යි, කලාකරුවෙකු හැටියට ඒ පෙල ගැස්මේ දී මගේ දෘෂ්ටිය ව්‍යාකූල යි කියලා.

සිරිසේන සඳහා ගෙන ගිය උද්ඝෝෂණය පිටුපස පෙල ගැසීමෙහි සැබෑ දේශපාලන අර්ථය පිලිබඳව අනතුරු ඇඟවූයේ සමාජවාදී සමානතා පක්ෂය පමණයි. මට පිළිගන්න සිදු වෙනවා, මම බලලා තියෙන්නේ ප්‍රශ්නයේ මතුපිට පමණ යි, හදිසි කාරනා ගැන පමණ යි. මෛත්‍රීපාල සිරිසේනගේ ධනේශ්වර සන්ධානයට ශ්‍රී ලංකාවේ මහජනතාව මුහුණදී සිටින මොන ම ප්‍රශ්නයකට වත් පිළිතුරක් තියෙනවා කියලා මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ නෑ.

මහින්දගෙන් ගැලවීමෙන් අනතුරුව ඇති වූ වෙනස දැනෙන ප්‍රමාණය ගත්තොත් ඉතා අල්ප යි. සුලු අවකාශයක් පෞද්ගලිකව අපට ලැබුනා. මගේ චිත්‍රපටය නිදහස් වුනා. මහින්ද රාජපක්ෂ බලයේ හිටියා නම් මගේ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්නේ නෑ. වර්තමාන රජය නව රැඟුම් පාලක මණ්ඩලයක් දැම්ම නිසා තමයි මේ චිත්‍රපටය එලියට ආවේ. නමුත් කලාකරුවන් වශයෙන් අප ඉල්ලා සිටියේ මේ රැඟුම් පාලක මණ්ඩල, මේ සියලු බන්ධන, කලාකරුවන් රාජ්‍යය සමග බැඳ තිබෙන බන්ධන ඉවත් කරන්න කියලා. ඒ කිසිදු දෙයක් වර්තමානයේ සිදු වන්නේ නැහැ.

නිදහසෙන් පසුව සෑම රජයක් ම කලාව හා කලාකරුවන් සම්බන්ධයෙන් සිදු කර ඇත්තේ කලාවට අණපනත් පැනවීම, එහෙම නැති නම් කලාව විනාශ කිරීම සඳහා එය ඉල්ලුම සැපයුම මත තීරනය වීමට ඉඩ හැරීම. මෙය කලාත්මක පරිහානියට හේතු වෙලා තිබෙනවා වගේ ම එහි විනාශයට මග සකස් කරනවා. මගේ චිත්‍රපටය නිදහස් කෙරිලා තිබුනත්, කලාවේ වර්ධනය වෙනුවෙන් මොන යම් ම හෝ සාධනීය පියවරක් මෙම ආන්ඩුවට ගත හැකි යැයි මා විශ්වාස කරන්නේ නෑ.

 

ලෝක සමාජවාදී වෙබ් අඩවිය වෙනුවෙන් වසන්ත රූපසිංහ සිදුකල සාකච්ඡාවක් ඇසුරින්

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles