Wednesday, August 10, 2022

ගුවනේ ‍රැකියා සහ නොපෙනෙන අවදානම

ඇම්බර් ගිබ්සන්ට චිකාගෝ සිට ඩෙන්වර් දක්වා ගුවන් ගමනක නිරත වන්නට සිදුව තිබුණි. එහෙත් ඇගේ යාබද අසුනේ සිටි පුද්ගලයා මුව ආවරණය පැලඳගෙන සිටියේ අසම්පූර්ණ ආකාරයෙනි. ඉන් මුව පමණක් වැසී ඔහුගේ නාසය පරිසරයට විවෘතව තිබුණි. ඇම්බර්, ඉතාම කාරුණිකව ගුවන් යානා කාර්යමණ්ඩලයට මේ බව දැනුම් දුනි. කාර්ය මණ්ඩලයේ නිලධාරීන් විසින් අදාළ මගියාට මේ බව දැනුම් දුන්නත් ඔහු දිගින් දිගටම තම මුව ආවරණය නිසි ලෙස පලඳා ගැනීම ප්‍රතික්ෂේප කළේය. මේ වන විටත් ඔවුන්ගේ ගුවන් ගමන ප්‍රමාදය. අවසානයේ ඇම්බර්ට සිදු වූයේ වෙනත් ආසනයකට මාරුවීමේ විකල්පයට එකඟ වීමටය.

“මුව ආවරණය නිසි විදිහට පැලඳගෙන හිටියෙ නැති මගියාව ගුවන් යානයෙන් පිටතට යවනවා වෙනුවට මේ වගේ සුළු කාරණේකටත් දැනටත් ප්‍රමාද ගුවන් ගමන තවත් පරක්කු කරන්නෙ ඇයි වගේ හැඟීමක් ඒ වෙනකොටත් කාර්ය මණ්ඩලය විසින් මට ඇති කරලා තිබ්බේ.”

ඇම්බර් ගිබ්සන්, වෘත්තියෙන් සංචාරක මාධ්‍යවේදිනියකි. ඇගේ සේවා ස්ථානය තියෙන්නෙ චිකාගෝවේය.

“ගුවන් යානා කාර්ය මණ්ඩලයේ නිලධාරීන් මට කිව්වා මම බල කළොත්, අපිට නැවත හැරිලා යන්න පුළුවන්ය කියලා. ඒත් එහෙම කළොත් දැනටමත් ප්‍රමාද වුණ ගුවන් ගමන ලොකු වෙලාවකින් පරක්කු වෙයි කියලත්. හැමෝගෙම කාලය නාස්ති කිරීමේ තේරුමක් තියෙනවද කියලයි ඔවුන් අනියමින් මගෙන් ඇහුවේ.”

ඇම්බර් ගිබ්සන්ට වසංගත කාලය පුරාම මෙවැනි අමිහිරි අත්දැකීම් රාශියකට මුහුණ දීමට සිදුව තිබේ. සෑම ගුවන් ගමනකදීම අදාළ ගුවන් සේවා සමාගම විසින් පනවන වසංගත ආරක්ෂණ නීති-රීති අනුගමනය කිරීමට සිදු වීම සාමාන්‍යය. ඒ අතරම හිතුවක්කාර සහ අමනෝඥ ලෙස ක්‍රියා කරන ගුවන් මගීන්ගේ විප්‍රකාරවලටත් මුහුණ දීමට සිදු වේ. ගුවන් යානා සේවක මණ්ඩලය විසින් එවන් අවස්ථාවක ගනු ලබන්නේ කුමණාකාර තීරණයක් ද යන්න අනුව වසංගතය බෝ වීමේ ස්වභාවය වෙනස් වේ.

ඒ අතරම ගුවන් යානා කාර්ය මණ්ඩලය පැත්තෙන් කල්පනා කළ විට ඔවුන්ට මුහුණ දීමට සිදුවන අවදානමේ ප්‍රතිශතය ඉතාම ඉහළ බවත් කිව යුතුමය. අපරික්ෂාරී, අමනෝඥ මගීන් වෙතින් ගුවන් සහායකයන් වෙත වයිරසය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාවක් ඇති බව අමතක නොකළ යුතුය. මරණීය වයිරසයක හැසිරීම සියයට සියයක් නොදැන තම රාජකාරිය කිරීමට සිදුවීම ඒ අතරම කනගා‍ටුදායකය.

ලෝක ආර්ථික සංසදය විසින් නිකුත් කළ වාර්තාවකට අනුව සෞඛ්‍ය සේවය හැරුණු කොට කොවිඩ්-19 වසංගතයේ වැඩිම අවදානම ඇත්තේ ප්‍රවාහන සේවකයන්ටය. එය ප්‍රතිශතයක් ලෙස දැක්වුවහොත් 75.7කි. ඉනුත් ගුවන් සහායකයන් එහි වැඩිම අවදානම දරයි. ඒ ඔවුන්ගේ ‍රැකියාවේ ස්වභාවය හේතුවෙනි. ගුවන් ගමන අතරතුර සෑම ගුවන් මගියෙක් වෙතම අවමයෙන් අඩි හයක දුරක සිට වාරයක් හෝ කිහිපයක් ගනුදෙනු කිරීම අනිවාර්යය. ගුවන් මගීන් විසින් ආහාර ගැනීමට මුව ආවරණය ඉවත් කරන සෑම විටකම මේ අවදානම දෙගුණ වෙයි. ජලය හෝ වෙනත් දියරයක් පානයට මුව ආවරණ ඉවත් කරන විට ද තත්ත්වය ඒ ආකාරමය. ඇම්බර් විසින් පෙර සඳහන් කළ වර්ගයේ ගුවන් මගියකු යානය ඇතුළත සිටියහොත් තත්ත්වය වඩාත් බරපතලය. සේවා සැපයීම වෙනුවෙන් ගුවන් සමාගම ඉහළ මිලක් අය කරන බැවින් හිතුමනාපේ ගුවන් මගීන් වෙත බලපෑම් නොකරයි. අදාළ ගුවන් සේවය අනුගමනය කරන නීති-රීති අනුව කටයුතු කරමින් ගමන පවත්වා ගැනීම මෙහිදී මූලිකය. මේ සියලු කාරණාවලට මැදිහත් වීමේ කාර්ය පැටවෙන්නේ ගුවන් සහයකයන්ටය. සෑම ගුවන් සමාගමක්ම එකම නීති පද්ධතියක් අනුගමනය නොකරන අතර, එකිනෙකට වෙනස් නීති-රීති මාලාවක් දැකිය හැකිය. මේ නීති-රීති අතර පොදු කාරණා බහුතරයක් තිබුණත් යම් හදිසි අවස්ථාවක ක්‍රියා කරන ආකාරයේ සුළු වෙනස්කම් දැකිය හැකිය.

පර්යේෂකයන්ට අනුව සියලු ගෘහස්ථ අවකාශ අතර, ගුවන් යානය තරම් පිරිසුදු ස්ථානයක් තවත් නැත. තුනී මීදුමක් ආකාරයෙන් ගුවන් යානය ඇතුළත ඉසින සැනිටයිසර් ද්‍රාවණ, ගුවන් යානා ඇතුළත මුව ආවරණ අනිවාර්ය නීතිය සේම ස්පර්ශක ස්ථාන අවම කිරීමට සේවකයන් භාවිත කිරීම ආදී දේ හේතුවෙන් මේ පිරිසුදු බව පවත්වා ගැනීමට ඔවුන්ට හැකිව තිබේ.

ජේ.එස්.එක්ස් ගුවන් යානා සමාගමේ ගුවන් සහායිකාවක වන රොෂොන්ඩා පේන් පවසන්නේ තමන් ගුවන් යානය ඇතුළත වඩාත් ආරක්ෂාකාරීව වෙසෙනවා යැයි දැනෙන බවයි.

එහෙත් ගුවන් යානා යනු සියයට සියයක් ආරක්ෂිත ස්ථාන නොවන බව පර්යේෂකයන් අනතුරු අඟවා තිබේ. පසුගිය වසරේ ඩුබායි සිට ඕක්ලන්ඩ් දක්වා ගමන් කළ ගුවන් ගමනක් අතරතුර මගීන් හතර දෙනකු හට කොවිඩ්-19 වයිරසය වැලඳී ඇත. මින් දෙදනකු තම ගමන් වාරය මුළුල්ලේම මුව ආවරණ පැලඳ සිට නැත.

ඇමරිකාවේ නව නීති-රීති අනුව ගුවන් ගමනට පෙර කොවිඩ්-19 වැලඳී නැතැයි සහතිකයක් ඉදිරිපත් කළ යුතුය. එහෙත් මේ සහතිකය පවා පවතින අවදානම තුනී නොකරයි. ඊට හොඳම උදාහරණය පසුගියදා ගුවන් ගමනට පෙර කොවිඩ් නොතිබුණු මගීන් පස්දෙනෙකු හට ගුවන් ගමනින් පසුව කොවිඩ් වැළඳී තිබීමයි. මේ සිදුවීම වාර්තා වූයේ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගී වීමට පැමිණි ක්‍රීඩකයන් සම්බන්ධයෙනි. වෙනස් ගමන් වාර සහිත ගුවන් යානා තුනකින් මේ මගීන් පස්දෙනා සොයාගෙන තිබුණි.

රෙදිවලි නිමැවූ මුව ආවරණ පැලඳීම ප්‍රමාණවත් නොවන බව යුරෝපය පවසන්නේ වයිරසයේ පැතිරීම වැඩිව ඇති බැවිනි. ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල පොදු ස්ථානවල ගැවසෙන්නේ නම්, පොදු ප්‍රවාහනය භාවිත කරන්නේ නම් සර්ජිකල් වර්ගයේ මුව ආවරණයක් පැලඳීම අනිවාර්යය. ලෝකයේ රටවල් බොහොමයක් කොවිඩ් එන්නත්කරණය සිදු කිරීම අරඹා ඇති වටපිටාවක යහපත් හෙටක් ගැන සියුම් බලාපොරොත්තුවක් ද ඇතිව තිබේ. එහෙත් ලෝකයේ සෑම අහුමුල්ලකම සිටින පිරිසට එන්නත ලබාදී අවසන් කිරීමට කොපමණ කාලයක් ගත වේ දැයි කිව නොහැක. සියල්ලන්ටම වයිරසය ලබාදීමම මූලික ගැටලුවකි.

පර්යේෂකයන්ට අනුව මුව ආවරණ පැලඳීම යනු මේ වන විට වයිරසයට එරෙහිව දිය හැකි හොඳම විසඳුමයි. විශේෂයෙන්ම ගුවනේදී නම් ආරක්ෂාව සම්බන්ධයෙන් මුව ආවරණ තරම් වෙනත් දෙයක් නැත. ගුවන් සේවිකාවන් සහ සේවකයන්ගේ ආරක්ෂාවට මගීන් සහ සේවකයන් යන දෙපාර්ශ්වයම මුව ආවරණ පැලඳ සිටීම අනිවාර්ය සාධකයකි. එහෙත් මේ අනිවාර්යභාවයට එරෙහි ගුවන් මගීන් සමඟ සටන් කිරීමට නිරන්තරයෙන්ම ගුවන් සේවිකාවන් සහ සේවකයන්ට සිදු වේ. නම සඳහන් නොකළ ගුවන් සේවිකාවක පැවසූ ආකාරයට මුව ආවරණ පැලඳීම ප්‍රතික්ෂේප කිරීමේ අතොරක් සිදුවීම් ජාතිය, ආගම වෙනස් කොට සැලකීම තෙක් දිගු දුර ඇදෙන බවයි. ගුවන් යානා කාර්ය මණ්ඩලයට අපහාසාත්මක දේ කීම සහ ඔවුන්ගේ නීති-රීති අභියෝගයට ලක් කිරීම ද සිදු වී ඇත.

එසේම නිතර ආහාර ගැනීම සහ බීම වර්ග පානය පිණිස කියා මුව ආවරණ ඉවත් කිරීම සුලබ සිදුවීමකි. අතොරක් මගීන් මුළු ගුවන් කාලය පුරාම එකම බීම වීදුරුව සෙමින් තොලගාමින්, ආහාර වේල ඉතාම සෙමෙන් අනුභව කරමින් සිටීමේ අවස්ථා බොහොමයක් වාර්තා වී ඇත.

ගුවන් සේවිකාවන් පවසන ආකාරයට සමහර මගීන් මුව ආවරණ පැලඳීමට අතිශය අකැමැතිය. එබැවින් ඔවුන් ඒ වෙනුවෙන් උපාය මාර්ගිකව ක්‍රියා කිරීමට තැත් කරයි. සෙමෙන් ආහාර ගැනීම, බීම පානය කිරීම එක් උපාය මාර්ගයකි. එහෙත් මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය කුමක් විය හැකි ද?

“මුව ආවරණ පැලඳගෙන ඉන්න සිද්ධ වෙන එක අපහසුවක් තමයි. මමත් කැමති නෑ නිතරම මුව ආවරණය දාගෙනම ඉන්න. ඒත් අපේ පෞද්ගලික කැමැත්ත පොදු අනතුරකදී ඒ තරම් වැදගත් වෙන්නෙ නෑ. පොදු නීතියට හැමෝම ගරු කරන එකයි කරන්න ඕනෑ.”

මුව ආවරණ පැලඳ සිටිය යුත්තේ තමන්ගේ මෙන්ම අනෙකාගේ ආරක්ෂාව සහතික කිරීමට බව තේරුම් ගැනීමට මිනිසා තවම වැඩී නැති ද? එසේත් නැතිනම් මමත්වය සහ අඥාන බව විසින් පැහැදිලි සත්‍යයක් නොසලකා සිටින්නේ ද? මහාචාර්ය ෂැරෝනා හොෆ්මන්ට අනුව ගුවන් ගමන් අතරතුර මුව ආවරණ පැලඳීම ප්‍රතික්ෂේප කරන මගීන් හට ගුවන් යානයට ඇතුළු වීමට ඉඩ නොදීමට අදාළ ගුවන් සේවා සමාගම් වඟබලා ගත යුතුය. එමෙන්ම එලෙස ප්‍රතික්ෂේප කරන්නන් හට තාවකාලික ගුවන් තහනමක් පැනවීම ද යෝග්‍යය. මේවා ඔවුන්ගේ ගුවන් ගමන් නීති අතරට එකතු කරගත යුතු බවට හෙතෙම පවසයි.

මේ සියල්ල මැද අතොරක් ගුවන් සේවකයන් හට තමන්ගේ කොවිඩ්-19 සත්‍ය ප්‍රතිඵල වසන් කොට සුපුරුදු ලෙස සේවයේ යෙදීමට බල කෙරෙන අවස්ථා ද නැත්තේ නොවේ. කොවිඩ්-19 සඳහා පරීක්ෂණ කර ඊට අදාළ ප්‍රතිඵල විද්යුත් තැපෑල ඔස්සේ ලැබීමට සැලැස්වීම ගුවන් සමාගම් අතර ප්‍රකටය. එහෙත් අතොරක් සේවකයන්ගේ සේවා මුර ඇ‍රැඹීමට පෙර ප්‍රතිඵල නොලැබී ගුවන් ගමන අතරතුර හෝ ඉන් පසුව ප්‍රතිඵල ලැබුණු අවස්ථා කිහිපයකි. මේ නොසැලකිල්ල මුළුමහත් ගුවන් යානයක් කෙරෙහිම බලපවත්වන බව ද ඔවුන් දනී. නම සඳහන් කිරීමට අකමැති ගුවන් සේවිකාවක පැවසූ අන්දමට ඇය සමඟ ඉකුත් ගුවන් වාරයක සේවයේ යෙදී සිටි දෙදෙනකුට කොවිඩ්-19 ආසාදනය වී තිබී ඇත. රෝග ලක්ෂණ තිබෙන්නේ නම් අදාළ ගුවන් සමාගම විසින් පරීක්ෂණ වෙත යොමු කෙරෙන සමාගම් සේම සේවකයා විසින් සියලු වියදම් දරමින් පරීක්ෂණ සිදුකර ගත යුතු සමාගම් තිබේ. රෝග ලක්ෂණ නොසලකමින් සේවයට පැමිණීමට බලපාන වෙනත් හේතු ද තිබේ. සේවා මුර අහිමි වීමෙන් ඉපැයීම් අඩාළ වීම එක් හේතුවකි.

කෙසේ නමුත් කොවිඩ් වසංගතය නම් විශාල පින්තූරය ඇතුළත මේ කුඩා හේතු වැදගත් නොවේ. නීති-රීතිවලට ගරු කිරීමෙන් පටන්ගෙන තමන්ගේ සේම අනෙකාගේ ජීවිතය ‍රැකීම කෙරෙහි බලපවත්වන නොපෙනෙන වගකීමක් සියල්ලන් පිටම පැටවී තිබේ. මනුෂ්‍යත්වය දියැවී යන මෙවන් වසංගත යුගයක අවම වගකීමවත් ඉෂ්ට කිරීමට හැකි නම් ඉන් සමස්තයට ලැබෙන වාසිය හිතනවාට වඩා විශාල බව සිහි තබා ගැනීම මනාය.

නැෂනල් ජියොග්‍ර‍ෆික් ඇසුරෙනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles