Friday, August 19, 2022

ජාතික විරුවන් රාජද්‍රෝහීන් කළ ඒ අවනඩුව මෙලෙස නිවැරදි වූ වගයි

2017 මාර්තු මස 01වැනිදා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික දළදා මාළිගාව පරිශ්‍ර යේ දී සිදුකිරීමට නියමිත වීරපූජෝපහාර උලෙළ නිමිත්තෙනි.

1815 මාර්තු 02 වැනිදා කන්ද උඩරට ගිවිසුම මගින් මෙරට පාලන බලය ඉග්‍රීසීන් වෙත පැවරීමෙන් පසුව ඔවුන්ගේ අත්තනෝමතික පාලනයට එරෙහිව මෙරට ජනයා ගෙනගිය නිදහස් සටන 1818 දී අවසන්විය. පසුකාලීනව විවිධ සටන් ඇති වුවත් ඒවා එතරම් රට පුරා ව්‍යාප්ත වූ බවක් දක්නට නොලැබේ. ලංකාවේ ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් විසින් කැප්පෙටිපොළ මහාධිකාරම් ඇතුළු සිංහල නායකයන් 19 දෙනකු 1818/01/10 අංක 851 දරන ලංකා ගැසට් පත්‍රය පළකරමින් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නම් කරනු ලැබීය. මේ මගින් නිදහස් අරගලයට සහාය දැක් වූ සියලුදෙනා රාජ්‍ය ද්‍රෝහීන් බවට නම් කර ඔවුන් සතු දේපල සියල්ල රාජ සන්තක කෙරිණි.

රට මුහුණ දුන් විවිධ ආක්‍රමණ හමුවේ මෙරට ජනයා නැ‍ඟී සිටියේ අසල් වැසි ඉන්දියාවටත් පූර්වාදර්ශයක් සපයමිනි. මෙලෙස සිදු කිරීමට අපට හැකි වූයේ අප රට බුද්ධ බෝගයෙන්(වී වගාවෙන්) ස්ව්‍යංපෝෂිතව සිටි නිසාය. එකල මෙරට හැඳින් වූයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙසය. මෙහි දී ඓතිහාසික වෙල්ලස්ස වූ කලී රටට බත සපයන ප්‍රධානතම සැපයුම් මධ්‍යස්ථානය බවට පත්ව තිබුණි. සතුරාගේ ප්‍රධාන ඉලක්කය වන්නේ ආහාර මාර්ග අවහිර කිරීමය. නමුත් ලංකාව පුරා හේන් ගොවිතැන ව්‍යාප්තව පැවැති හෙයින් එය පහසු කාර්යයක් නොවීය. මේ පිළිබඳ සොයා බැලූ, ඉග්‍රීසීන් විසින් පත් කළ ආණ්ඩුකාරයා වූ රොබට් බ්‍රවුන්රිග් යටත් විජිත ලේකම්වරයාට පවසා සිටියේ “වෙල්ලස්සේ තියෙන කුඹුරුටික ඇති ලංකාවටම කන්න දෙන්න. මුළු ලංකාව පුරාම තියෙන කුඹුරුවලින් පුළුවන් දකුණු ඉන්දියාවටම වුණත් කන්න දෙන්න. ඒ නිසා මුන්ගේ ආහාර සැපයුම් මාර්ග අවහිර කිරිමෙන් පලක් නැහැ. මේවා වහා විනාශ කළ යුතුයි.’’(මේ පිළිබඳ සටහන් ජාතික ලේඛනාගාරයේ තවමත් සුරක්ෂිතව ඇත) ඒ අනුව ඔහු ඒ සඳහා යෙදූ උපක්‍රම මෙසේ විය,

1.සියලු කෙත්වතු ගිනි තබනු

2.සියලු වැව් අමුණු කඩා දමනු

3.විශේෂයෙන් කොස් ගස් ඇතුළු ආහාර සපයා ගත හැකි සියලු ගස් විනාශ කරනු

4.මසට තබාගත හැකි ගවයන් හැර අනෙකුත් සියලු ගවයන් ඝාතනය කරනු

5.අවුරුදු දහසයට වැඩි සියලු පිරිමින් ඝාතනය කරනු.

මේ අනුව ඔහුගේ වැටහීම වී ඇත්තේ, මෙරට කෘෂිකාර්මික පදනම විනාශ නොකර වෙල්ලස්සේ කැරැල්ල ජයග්‍රහණය කළ නොහැ කි බවයි. උඩරට ගිවිසුම කඩ කෙරුණු අතර බදු නියම කිරීම මඟින් අප රට සතු සම්පත් හා ශ්‍රමය සූරාකමින් මෙරට ජනයා ඉංග්‍රීසීන්ගේ වහලූන් බවට පත්කරගනිමින් තිබුණි. ඉංග්‍රීසින් ලංකාවේ බලය හෙබවීමට පටන්ගත් දා සිට ඔවුන්ගෙන් සිදු වූ අකටයුතුකම් හා නොපනත්කම් හේතුවෙන් ඉංග්‍රීසී පාලනය කෙරෙහි වෛරයක් ඇති වීම ස්වභාවිකය. නැඟ එමින් පැවැති වෛරයේ ගිනි පුළිගු මහා කැරැල්ලක් දක්වා ව්‍යාප්ත විය. මේය ඉග්‍රීසීන්ගෙන් නිදහස දිනා ගැනීම උදෙසා සිදු කළ ප්‍රමුඛතම කැරැල්ල බවට පත්වේ.

බ්‍රිතාන්‍යයන් යටතට පත් උඩරට ප්‍රදේශවල පාලන කටයුතු සඳහා රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා විසින් නිත්‍ය නේවාසික නිලධාරියකු ලෙස ජෝන් ඩොයිලි පත්කළේය. ඔහු උඩරට යටත් කරගැනීමේ ක්‍රියාවලිය සඳහා බෙහෙවින් වෙහෙස මහන්සි වූ අයෙකි. වසරදහස් ගණනක් තිස්සේ විවිධ ආක්‍රමණ හමුවේ වුවත් අඛණ්ඩව ගලා ආ සංස්කෘතිය හා සභ්‍යත්වය යටපත් කර නැඟෙමින් තිබුණු පර සංස්කෘතිය හා ආගමිකකරණය ජනතාව තුළ මහත් පීඩනයක් ඇති කළේය. රජු අහිමි වීම පිළිබඳ ජනතාව තුළ තිබුණේ කනස්සල්ලකි. ඇහැළේ පොළ කුමාරිහාමි ඇතුළු දරුවන් තිදෙනා ඝාතනය නොවන්නට රජු පාවදෙන තත්ත්වයට ජනතාව පත්නොවන්නට බෙහෙවින්ම ඉඩ තිබුණි. කෙසේ හෝ මෙකී හේතුවෙන් ඔවුන්ට සිදුවන අසාධාරණයන්, කෘර වධබන්ධනයන් පැවසීමට හැකි බලධරයකු ඔවුනට නොවීය. ඒ වෙනුවට සිටියේ ඔවුන්ගේ බස නොදන්නා, සිතුම් පැතුම් හා අධ්‍යාත්මික අව්‍යතා නොහඳුනන ආණ්ඩුකාරවරයෙකි. ඇහැළේපොල අධිකාරම් ඉංග්‍රීසින් උඩරට රජකම තමාට පවරනු ඇතැයි බලාපොරොත්තුවෙන්, උඩරට ආක්‍රමණයට බොහෝ සෙයින් උදවු උපකාර කළේය. නමුත් ඔහු ගේ බලාපොරොත්තු සුන් කරමින් ඔහුට රජකම අහිමි විය. හේ අස්වැසීම සඳහා ඉංග්‍රීසීන් විසින් විවිධ තාන්න මාන්න තෑගි බෝග දුන්න ද ඔහු උඩරට රජකම මිස වෙන කිසිවක් පිළිගැනීමට සූදානම් නැති බව ආණ්ඩුකාරයාට දන්වා යැවීය. ඉංග්‍රීසි උසස් නිලධාරීන් පමණක් නොව සාමාන්‍ය සොල්දාදුවන් පවා රදලයන් නොසලනා හැරියේය. සම්ප්‍රදායානුකූල ලෙස පරම්පරාවෙන් රදලයන්ට උරුමවෙමින් පැවැති නිලතල ආණ්ඩුකාරයාගේ තනි කැමැත්ත පරිදි වෙනස් කළ අතර, මෙය රදල ප්‍රධානීන් ඉවසුම් රහිත තත්ත්වයකට ඇද දැම්මේය. මෙලෙස ඇතැම් රදලයින් ස්වාර්ථය පිණිස ඉංග්‍රීසීන්ට උඩරට අත්වීමට ඉඩ හසර විවර කර බලා දීමේ වන්දිය ගෙවීමට සිදු වූයේ මෙරට ජනතාවටය.

මෙම වරප්‍රසාද කප්පාදුව මුල සිටම ඌව වෙල්ලස්ස රදල ප්‍රධානීන්ට දැනෙමින් තිබිණ. මීට හොඳම නිදර්ශනය නම් වෙල්ලස්සේ මඩිහේ ලේකම් හා මුහන්දිරම් ලෙස හජ්ජි මරික්කාර් පත්කිරීමය. මෙලෙස චිරත් කාලයක් පැවැති උඩරට උසස් නිලතල රදලවරුන්ට හිමි වීමට තිබූ පාරම්පරික අයිතිය ඉංග්‍රීසිහු විසින් උදුරාගත්හ. මේ හේතුවෙන් සිංහල රදලයන් තුළ පවා අසහනය හා වෛරය උත්සන්න විය. මෙරට ඉතිහාසය පුරා ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පත් භික්ෂූන් වහන්සේලාගේ හා බුදු සසුනේ ආරක්ෂාවට හා අභිවෘද්ධියට උඩරට ගිවිසුම අනුව ක්‍රියා කළ යුතු වුවත් ඉංග්‍රීසීන් එය පැහැර හැරියේය. ඊට බලපෑ මුඛ්‍යතම හේතුව වූයේ ඔවුන් කිතුනු බැතිමතුන් වීමයි. මෙරට ජනතාවට බෞද්ධ අධ්‍යාපනය ලබාදෙනු වෙනුවට ක්‍රිස්තියානීකරණ ක්‍රියාවලිය ඉදිරියට ආයේය. ඒ අනුව රදලයන්ගේ දරුවන් බෞතිස්ම කිරීම හා මිෂනාරි අධ්‍යාපනය ලබා දීම සඳහා සෙමනේරි පිහිටුවීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුවිය. මෙනිසා ස්වදේශික ජනතාව තුළ අති කළ පීඩනය සුළුපටු නොවේ.

දීර්ඝ කාලයක් ඩොයිලිගේ චරපුරුෂ කාර්යයේ නිරත වී සිටි හජ්ජි මරික්කාර්ට වරදාන වරප්‍රසාද හිමිවිය. මඩිහේ බද්ධ නම් කාර්යංශයට අයත් ගැල් විශාල ප්‍රමාණයක් මෙම හජ්ජි සතු විය. ඉංග්‍රීන්ගේ සහය ලැබුණු නිසා ඌවේ දිසාවගේ අණ ද නොතකා හජ්ජි මරික්කාර් කටයුතු කළේය. වෙල්ලස්ස ප්‍රදේශය හජ්ජි අතට පත්කිරීම නිදහස් සටනට මුලපිරීමට තවත් හේතුවක් බවට පත්වූයේ එනිසාය. මේ අතරතුර වෙල්ලස්සේ විශේෂ කටයුත්තක් සිදුවෙමින් තිබුණි. රාජාධි රාජසිංහ රජ පරපුරට නෑකම් කියන දොරේසාමි කතරගම දේවාලයේ දී ලැබුණු වරමක් අනුව වැදි හමුදාවක් ද සමඟ වෙල්ලස්සට සේන්දු විය. බූටෑවේ රටේරාළ ප්‍රධානකොටගෙන සිංහල ජන කොටස් ද දොරේසාමි වෙත පැමිණෙමින් සිටියහ. බදුලූ ප්‍රදේශයේ කෙහෙල්මුල්ල නම් ස්ථානයේ සැඟව සිටින දොරේසාමි අල්ලා ගැනීමට බදුල්ලේ ඒජන්ත විල්සන් ඇතුළු මුස්ලිම් ජාතිකයින් පිරිසක් පිටත් කළ අතර, ඔවූහු දොරේසාමිගේ සහකරුවන් පිරිසක් අල්ලාගෙන බදුල්ලට පිටත්කර හැරියේය. මෙය සිදු වූයේ බදුල්ලේ ඉනාවැල්ල නම් ස්ථානයේ දී බව පැවසේ. ජයග්‍රාහී ලෙස දොරේසාමි සොයා ඉදිරියට පැමිණි හජ්ජි ඇතුළු පිරිස බූටෑවේ රටේරාල හා ඔහුගේ පිරිසගේ අත්තඩංගුවට පත්වූ අතර, ඔවුන් දොරේසාමිවෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හජ්ජි මරික්කාර් මරණයට පත් කළේය. මෙම මරණය සැලවීමත් සමඟ කෝපාවිෂ්ට වූ බදුල්ලේ ඒජන්ත එනම්, විල්සන් ලූතිනන් නිව්මන් කාපිරි හමුදා සේනාංකයක් ද සමඟ ඉනාවැල්ල බලා ආවේය. නමුත් බූටෑවේ රටේරාල ඇතුළු පිරිස අල්ලාගැනීමට ඔවුහු අපොහොසත් වූහ. ඔවුන් ඉදිරියට ඇදෙමින් සිටිද් දී විල්සන් ඊතණවත්ත දේවාලය අසල දී සටන්කරුවන්ගේ හීපහරකින් මරුමුවට පත්විය. පසුව ඔහුගේ හිස කඳින් වෙන් කර හෙල්ලයක අමුනා බාරයක් ඔප්පු කිරීම සඳහා ඊතණවත්ත දේවාලයට රැගෙන ගිය බව පැවසෙන අතර ඉතිරි ඉංග්‍රීසි සේනාංක සිංහලයන්ගේ දැඩි ප්‍රහාර මධ්‍යයේ නැවත බදුල්ලට පසුබැස්සේය.

මේ පිළබඳ සැලවීමත් සමඟ කලබලයට පත් ජෝන් ඩොයිලිට කැරැල්ල පැතිරීම වැලැක්වීමට අවශ්‍ය විය. ඒ සඳහා කොළඔ හා සෙංකඩගල අතර සම්බන්ධතා සුරක්ෂිතව පවත්වාගෙනයාමට මොල්ලිගොඩ මහාදිකාරම්ට පැවරිණ. මේ අතර, මරුමුවට පත් වූ විල්සන්ගෙන් පුරප්පාඩු වූ ඌව ඒජන්ත ලෙස සයිමන් සෝවර්, සේනාංකයක් ද සමඟ පිටත්කර යවන ලදී. වෙල්ලස්ස දිසාව වූ මිල්ලෑව හා ඌව දිසාව වූ කැප්පෙටිපොල ඔවුන්ගේ දිසාවලට පිටත්කර හැරියේය. මේ සිදුවීම් අතරතුර ත්‍රිකුණාමලයේ සිටි බ්‍රරවුන්රිග් සෙංකඩගලට පැමිණ හමුදා කටයුතු මෙහෙය වීමට පටන්ගත්තේය. ඒ අනුව කැරලි මැඬලීමට කැප්පෙටිපොලගේ ප්‍රධානත්වයෙන් සේනාංක වෙල්ලස්සට යැවීය. බූටෑවේ රටේරාල කැප්පෙටිපොල දිසාව හමු වී ඔහුට කරුණු පැහැදිලි කරදීමත් සමඟ මෙම සටන වෙනතකට පෙරළුණි. තම වැසියන් සමඟ එකතුව මේ පරදේසක්කාරයින්ගෙන් මවුබ්ම මුදා ගැනීමට හැකි වේ යැයි කැප්පෙටිපොලට සිතිණි. එසේ සිතූ හේ තමන් සතු අවි ආයුධ ඔහු සමඟ පැමිණි ඉංග්‍රීසි සේනාංකයට බාර දී ආපසු හරවා යැවීය. එළෙස ඔහු 1817 නොවැම්බර් 1 දින අළුපොත දී සටන්කරුවන්ට එක්වූයේ විශාල අභියෝග හා වගකීම් රාශියක් සියතට ගනිමිනි. මේ පිළිබඳව සැල වූ වහා බ්‍රවුන්රිග් බෙහෙවින් කෝපාවිෂ්ට විය. ඒ කැප්පෙටිපොල උඩරට ප්‍රධාන රදල පවුලකට අයත් ප්‍රබලයකු වූ නිසාය .

ඊසානදිග මෝසම සක්‍රිය වීමත් සමඟ ගංගා ගැලීමෙන් ප්‍රවාහන කටයුතු හා පණිවිඩ හුවමාරු කටයුතු අඩපණවිය. මේ කරුණු බ්‍රිතාන්‍යන්ට අවාසි සහගත වුව ද, උඩරට රදලයන් අතර වූ අසමගිය ඔවුන්ට වාසි විය. මේ වනවිට ඇහැළෙපොල හා මොල්ලිගොඩ අතර පැවැති අර්බුදකාරී තත්ත්වය උත්සන්න විය. මේ අතරවාරයේ දොරේසාමි කන්ද උඩරට රජු වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණි. බ්‍රිතාන්‍යන් රටින් නෙරපීම සඳහා කැප්පෙටිපොළ ඇතුළු රදලවරුන්ට නව රජුට සහය වන්නැයි තල්පත් යැවීය. මේ අතර මොල්ලිගොඩ වැනි රදල නායකයන් තුළ වූ බ්‍රිතාන්‍ය ගැති බව නිසා නිදහස් සටන ඌවවෙල්ලස්ස, නැගෙනහිර, ප්‍රදේශවලට පමණක් සීමා කිරීමට ඔවුන්ට හැකි විය. නිදහස් සටන කාල සීමාව පුරාවටම බ්‍රිතාන්‍යන්ට පක්ෂව ක්‍රියා කළේ මොල්ලිගොඩ හා එක්නැලිගොඩ දිසාවේ පමණි. මොල්ලිගොඩගේ ආදිපත්‍ය පැවැති ප්‍රදේශයවන පහළ සපරගමුව තුළ ඉංග්‍රීසින්ට තමාට අවශ්‍ය ක්‍රියාකාරකම් සිත් සේ කරගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් විය. ඒ අනුව සෙංකඩගල හා කොළඔ අතර සම්බන්ධතා නොබිඳී පවත්වාගෙන යාමට ඔවුන්ට හැකි විය. ගාල්ල, මාතර, හම්බන්තොට යන ප්‍රදේශවල හමුදාංක උඩරටට ගෙන්වා සටන මර්දනය කිරීමට යෙද වූ අතර බිම්පාළු ක්‍රමය ප්‍රකාශයට පත්කර සටන ඇවිලෙමින් පැවැති ප්‍රදේශවල ගෙවල්, කුඹුරු ගිනිබත් කළේය. ගැමියන් සතු හරකාබාන, අතිරේක ආහාර සපයාගත් හේන් වතුපිටි ඉතා කෘර අන්දමින් විනාශ කළහ.

මෙම ක්‍රියාමාර්ග හරහා එම ප්‍රදේශ ජන ශූන්‍ය කර සටන බොහෝ දුරට මර්දනය කිරීමට ඔවුන් සමත් වූහ. මේ සමඟ ඉංග්‍රීසින් කෙරේ ඇති වූ අප්‍රසාදය වඩාත් උත්සන්න වන්නට විය. නොබෝ කලකින් මඩුගල්ල දිසාව යටතේ දුම්බර ප්‍රදේශය ද, හේවාහැට, සබරගමුව යන ප්‍රදේශවලට ද සටන පැතිරෙන්නට විය. මෙසේ සටන ක්‍රමයෙන් උඩරටට ව්‍යාප්තවත්ම 1818 පෙබරවාරි 21 දින බ්‍රවුන්රිග් විසින් උඩරටට අයත් සියලුම ප්‍රදේශ යුද නීතියට යටත් කෙරිණි. ඉන්දියාවෙන් අතිරේක හමුදාද ඉල්ලා පණිවිඩ යැවීය.

වැඩිකල් යන්නට මත්තෙන් 1818 මාර්තු 2 වන දින ඇහැලේපොළ, ජ්‍යෙෂ්ඨ මිල්ලෑව, කනිෂ්ඨ මිල්ලෑව ඇතුළු රදල ප්‍රධානීන් කීපදෙනකු අත්අඩංගුවට ගත්හ. දිනෙන් දින සටන උත්සන්න වන්නට විය. බ්‍රිතාන්‍යන්ට ඌව වෙල්ලස්ස කදවුරු සියල්ල අතහැර දැමීමට සිදුවිය. සටන්කරුවන්ගේ බරපතල පහරදීම්වලට මුහුණ පෑ ඉංග්‍රීසි සේනාංක වියරුවෙන් උඩරට ගම්බිම් වැනසූහ, වතුපිටි ඉඩකඩම් කොල්ල කෑහ. කෘරලෙස ජනයා ඝාතනය කළේය.

මේ අතර 1818 ඔක්තොඹර් 28 දින නුවර කලාවියේ පරවහගම දී ලූතිනන් වෙනිල් ඇතුළු ඉංග්‍රීසි බට පිරිසක් විසින් කැප්පෙටිපොල හා පිළිමතලාවේ අත්අඩංගුවට ගත්තේය. මේ වන විටත් මඩුගල්ලේ හා කිවුලේගෙදර මොහොට්ටාල අත්අඩංගුවට ගෙන තිබූ අතර නොවැම්බර් 2 වන දින දළදාවහන්සේ ඉංග්‍රීසින් අතට පත් වීමත් සමඟ සටන බෙහෙවින් දුර්වල විය. යුද්ධ අධිකරණය කැප්පෙටිපොළ දිසාව හා මඩුගල්ලේ දිසාව රාජ ද්‍රෝහීන් ලෙස තීරණය කොට 1818 නොවැම්බර් 2 වන දින බෝගම්බර පිටියේ දී හිසගසා මරා දැමිණි. මේ අවස්ථාවේ දී කැප්පෙටිපොළ නිලමෙ කැමැත්තෙන්ම දං ගෙඩිය වෙතගිය බව සඳහන්වේ. රදලයින් විශාල පිරිසක් රටින් පිටුවහල් කළ අතර, බන්‍ධනාගාර ගත කළ පිරිස ද ඒ හා සමානය. රදලයින් සතු දේපල බද්දකට යටත් කරන ලදී. යුද්ධ අධිකරණය විසින් මරණ දඬුවම නියම කළ පිරිස හතලිස් හතකි. භික්ෂූන් වහන්සේලා දහනමක් ද චූදිතයන් බවට පත්කොට යාපනය බන්‍ධනාගාරය වෙත යැවීය.

මෙසේ ව්‍යාප්ත වූ නිදහස් සටනේ විශාල වගකීමක් දැරූ ප්‍රබල නායකයන් අතර මොණරවිල කැප්පෙටිපොළ, මඩුගල්ලේ දිසාව, කොහුකුඔරේ රටේරාල, බූටෑවේ රටේරාළ, කිවුලේගෙදර මොහොට්ටාල, පිලිමතලාවේ දිසාව ආදී නායකයන් සිටි බව ප්‍රකටය. එසේම නිදහස් සටනේ පෙරමුණේ සිටි තවත් බොහෝ අප්‍රකට විරුවන් ද මේ අතර වේ. කුඩා බදුල්ලගම්මන රටේරාළ, මහ බදුල්ලගම්මන රටේරාළ, නකල්ලේ රටේරාළ, බඩල්කුඹුරේ විදානේ, මුප්පනේ රටේරාළ, වියළුවේ හාපත්ගම මොහොට්ටා, ඌවේ වටකැලේ රටේරාළ, ඌවේ මීගහපිටියේ රටේරාළ, ඌවේ ගොඩගෙදර අධිකාරම්, බිංතැන්නේ මොහොට්ටාල, මීගහරාවේ මොහොට්ටාල, කිරිඅප්පු, බකිනිගහවෙල අධිකාරමි, රඹුක්පොත දිසාව, තල්දෙණියේ මොහොට්ටා, කතරගම මහබෙත්මේ, බකිණිගහවෙල මුදියන්සේ, ඊතණවත්ත දේවාලයේ කපුරාල, මීගහපිටියේ බෝගහගෙදර රාළ, අඹගොල්ලේ රාළ, හාමාපොල රංකිරි, ඩිංගිරි අප්පු හා බාලඅප්පු, පිටදෙණියේ තිසාහාමි යන විරුවන් විශිෂ්ටය. නම් සඳහන් නොවූවත් මේ අය අතර සටන් බිමේ දී මියගිය දහස් ගණනක් ජනතාව සිටි බව අප අමතක නොකළ යුතුය.

නිදහස ලැබී වසර 69ක් ගෙවීයන මෙහොතේ මෙවන් ජාතික විරුවන් රාජ්‍ය ද්‍රෝහීන්ගේ නම් ලැයිස්තුවෙන් ඉවත් කොට ජාතික වීරයන් ලෙස නම් කිරීම ජාතික සටනේ දී දිවිපිදූ සියලුම ජනතාවට දැක්වූ පූජෝපහාරයකි. 2017 මර්තු මස 01 වැනිදා ජනාධිපතිවරයා විසින් මේ ඓතිහාසික කටයුත්ත පූර්ණය කළේය. මෙහි දී 2004 වර්ෂයේ දී සංස්කෘතික අමාත්‍යවරයාව සිටි විජිත හේරත් අමාත්‍යවරයා සහ නියෝජ්‍ය ඇමතිව සිටි සමන්ත විද්‍යාරත්න මහතා එකල මේ සඳහා උත්සාහ ගනු ලැබූවද කිසියම් හේතුවක් නිසා එය ව්‍යර්ථ විය. අනතුරුව බලයට පැමිණි රජය මේ සම්බන්ධයෙන් කටයුතු නොකළේ ඔවුන් හැර වෙනත් ජාතික වීරයන් නොමැතියැයි සිතා සිටි නිසාදැයි ප්‍රශ්නයක් මතුවේ. කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා උනන්දු වී මහාචාර්ය මාලනී ඇදගම(කමිටු සභාපති), මහාචාර්ය කේ.එන්.ඕ ධර්මදාස, මහාචාර්ය අනුර මනතුංග, කේ.ඩී විමලරත්න(ජාතික ලේඛනාගාර දෙපාර්ත මේන්තුවේ හිටපු අධ්‍යක්ෂක), ආචාර්ය ප්‍රදීප් වීරසිංහ ආදී විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර මෙම වීරවරයන් රාජද්‍රෝහි නම් ලැයිස්තුවෙන් ඉවත්කිරීමට කටයුතු කිරීම ගැන මුළුමහත් ජාතියේම ගෞරවාදරය හිමිවිය යුතුය. මේ පිළිබඳ තොරතුරු විමසීමේ දී මහාචාර්ය කේ.එන්.ඕ ධර්මදාස මහතා සහ මහාචාර්ය අනුර මනතුංග මහතා පවසා සිටියේ මේ භාරධුර කාර්ය සඳහා මහාචාර්ය තෙන්නකොන් විමලානන්ද, මහාචාර්ය කේ.එම්.ඩී සිල්වා, ආචාර්ය පොල් ඊ. පීරිස්, ආචාර්ය කුමාරී ජයවර්ධන ආදී විද්වතුන්ගේ කෘති බෙහෙවින් උපකාරී වූබවයි. මුලාශ -සිළුමිණ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles