Friday, August 19, 2022

ඩෙංගු මර්දනය ජාතික වැඩසටහනක් වීමට නම්..

ඩෙංගු උවදුරෙන් අත්මිදීමේ අරමුණෙන් තෙමසක ක්‍රියාකාරී වැඩපිළිවෙළක් ජූනි මස පළමු වැනි දායින් ආරම්භ කෙරිණ‍.

මේ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන මැයි මස 16 වැනිදා ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. ‍ෙඩංගු රෝගය උත්සන්න වන සමයෙහිදී ඇතිවන උනන්දුව ඉන්පසුව මගහැරී යන ස්වභාවයක් දිගු කලක් තිස්සේ ම දක්නට විය. එනිසා ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වසරින් වසර වැඩිවනු පෙනේ. එසේ නම් මෙතෙක් ක්‍රියාත්මක වූ වැඩසටහන්වල කිසියම් දෝෂයක් තිබී ඇත.

වැඩසටහන ඉදිරියට නොගියේ එම හේතුවෙනි‍. මෙ වර තත්ත්වය බැරෑරුම් ය. ඩෙංගු අධි වසංගත තත්ත්වය ඇති දිස්ත්‍රික්ක අටක් හඳුනාගෙන තිබීමත් රාජ්‍ය නායකයා එම ප්‍රශ්නයට කෙළින් ම මැදිහත්වීමත් විශේෂයෙන් සැලකිය යුත්තකි. ඩෙංගු රෝගයෙන් මුළුමනින් ම අත්මිදුණු රටවල් අනුව බැලූ කල මේ මහඟු අවස්ථාව මග ‍නොහැර කටයුතු කිරීම මුළු ජාතියේ ම වගකීමකි.

මැයි 16 දා පැවති සාකච්ඡාවේදී කරුණු කිහිපයක් පිළිබඳ දැඩි අවධානයට ලක් කෙරිණ. එනම් රාජ්‍ය හා පුද්ගලික ආයතනවල සතියකට පැයක කාලයක් ඩෙංගු මර්දනය සඳහා වෙන් කිරීම, මහා පරිමාණ ඉදිකිරීම් සිදුවන ස්ථානවල මදුරුවන් බෝවිය හැකි ස්ථාන සම්බන්ධයෙන් වහාම පියවර ගැනීම, බී.ටී.අයි. බැක්ටීරියාව අවශ්‍ය පරිදි ආනයනය කිරීම, පරිසර පොලීසිය සක්‍රීය කිරීම යනාදී පියවරයි.

මේ ඇතැම් තීන්දු දැනට ක්‍රියාත්මක වෙමින් පවතී. එසේ වුව ද සාමූහික ප්‍රයත්නයක් තවමත් දිස් නොවේ. වගකීම රාජ්‍ය නිලධාරීන්ට පවරා අත පිසදා ගන්නෝ ද සිටිති. විවිධ ආයතන, ස්වේච්ඡා සංවිධාන හා මහජනයා අතර මනා සංවිධානාත්මක බවක් නොතිබීම බරපතළ අඩුවකි. මෙය එක් අතකින් සන්නිවේදන දුර්වලතාවකි.

ඩෙංගු ව්‍යාප්තියෙහි වත්මන් තත්ත්වය බරපතළ ය. මීට සති තුනකට පෙර මේ ලියුම්කරු ඩෙංගු පිළිබඳ ලිපියක් ලියන මොහොතෙහි වාර්තා වූ ඩෙංගු ‍‍‍රෝගීන් සංඛ්‍යාව 48000 කි. එසේ වුව ද මේ වනවිට එම සංඛ්‍යාව 60800 දක්වා ඉහළ ගොස් පවතී. මිය ගිය ගණන 151 කි.

කොළඹ, ගම්පහ, කළුතර, මඩකලපුව‍, ත්‍රිකුණාමලය, යාපනය, කුරුණෑගල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක ඩෙංගු අධිඅවදානම් කලාප හැටියට නම් කර තිබේ. ඇතැම් දිස්ත්‍රික්කවල පවතින වැසි පතන තත්ත්වය අනුව ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳ අනතුර වැඩිවිය හැකි ය. ජාතික ඩෙංගු මර්දන ඒකකය ඩෙංගු පිළිබඳ මහජනයා දැනුවත් කිරීම සහ ඩෙංගු නිවාරණ ක්‍රමෝපාය හඳුන්වාදීම ඔස්සේ අඛණ්ඩ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවමින් සිටී. ඩෙංගු ‍රෝග මර්දනය සම්බන්ධයෙන් අත්දැකීම් බහුල වෛද්‍යවරයකු වන හසිත ද සිල්වා වැනි විද්වතුන්ගේ දායකත්වය ලබා ගෙන තිබීම සතුටු විය යුත්තකි.

එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලැබිය යුතු ය. පුහුණු මානව සම්පත් හිඟය උපකරණ හිඟය, යටිතල පහසුකම් ලබාදීම පිළිබඳ බලධාරීන් ඉක්මනින් පියවර ගත යුතු ය.

පසුගියදා පැවති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ‍ඩෙංගු රෝග මර්දනය පිළිබඳ දෙසුමක් කළ කොළඹ දිස්ත්‍රික් වසංගත රෝග පිළිබඳ සෞඛ්‍ය නිලධාරිනී වජිරා කෲස් මහත්මිය පළ කළ අදහස් අතිශයින් වැදගත් ය. ඇය පැවසූ පරිදි ‍ෙඩංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන කොළඹ නගරයෙහි මදුරුවන් බෝවිය හැකි ස්ථාන සහ කීටයන් සහිත ස්ථානවල ප්‍රතිශතය අනුව බැලූ විට රාජ්‍ය ආයතනවල 43.1% කි. ඉදිකිරීම් වැඩබිම්වල 44.1% කි. කර්මාන්ත ශාලා, පාසල් හා ආගමික මධ්‍යස්ථාන (පොදු ස්ථාන) ඊළඟට ය. කොළඹ නගරයෙහි රාජ්‍ය ආයතන ස්ථානගත වී ඇති ආකාරය අනුව බලන කල එම ආයතනවල සේවක සේවිකාවන් නිසි පරිදි දැනුවත් කිරීම හා ඔවුන් ගේ සක්‍රීය දායකත්වය ලබාගැනීම මූලික වගකීමක් බව මේ අනුව ‍කිව හැකි ය. ඉදිකිරීම් වැඩබිම්වල පවතින තත්ත්වය සොයා බලා වහාම පියවර ගත යුතු බව මැයි 16 දා සාකච්ඡාවෙහි දී ජනාධිපතිවරයා ද අවධාරණය කළේ ය. මේ පිළිබඳව පසු විපරමක යෙදීමට කල එළඹ ඇත.

විධිමත් කසළ කළමනාකරණයක් නොවීම ඩෙංගු මර්දනය කිරීමේ මූලික බාධාවක් ව පවතින බව සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවති. ලියුම්කරු මේ ලිපිය ලියන මොහොත වන විට ද හයිලෙවල් පාර ආසන්නයේ ඇතැම් ස්ථානවල කුණු කඳු දවස් කිහිපයක් ගඳ ගසමින් තිබෙනු සියැසින් දැක ඇත. නවලෝක රෝහලට යාබද ප්‍රධාන මාර්ගයේ ද කසළ මලු ගොඩගසා තිබේ. බස්වල ගමන් කරන මගීහු ද එහි දුර්ගන්ධයෙන් පීඩා විඳිති.

මේ අතර ජුනි 14 දා අගනුවර දී ‘ළඟම පාසල හොඳ ම පාසල’ වැඩසටහනකට සහභාගිවූ විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතා ආරක්ෂක අංශ යොදවා දින හතරක් ඉක්මයන්නට පෙර කසළ ඉවත් කිරීමට පියවර ගන්නා බව කී ය. අගනුවර නියෝජනය කරන මහජන නියෝජිතයකු වශයෙන් මඟ තොට ඇති කුණුවල දුර්ගන්ධය ඔහුට ද දැනෙන්නට ඇත. කසළ කළමනාකරණය සම්බන්ධයෙන් පළාත් සභාව සහ රේඛීය අමාත්‍යාංශය අතර තිබෙන ගැටුම කසළ ඉවත් කිරීමේ ප්‍රමාදයට බලපා ඇති බව පෙනේ. මීතොටමුල්ල කුණු කන්ද නාය ගොස් ජීවිත 35 ක් අහිමි ව කෙටි කලක් ගතව ඇති මොහොතක පවා මෙවැනි තත්ත්වයක් උද්ගතව තිබීම කනගාටුවට කරුණකි. ඛේදවාචකයකින් පසුව ඇති වන කම්පනය අනුව බොහෝ දේ ප්‍රකාශ වුව ද කල් යනවිට ළිඳකින් වතුර බාල්දියක් ගත් පසු හිස් තැන පිරෙන්නා සේ සුපුරුදු ක්‍රමය ම ක්‍රියාත්මක වේ.

‍ෙඩංගු මර්දනය කිරීම විෂයයෙහි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ වගකීම ද සුළු පටු නැත. එසේ වුව ද තම බල ප්‍රදේශයේ ඩෙංගු බෝවන ස්ථාන කිසිදා නිරීක්ෂණය කර නැති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සිටිති. තම ආයතනවලට ප්‍රමාණවත් පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නොමැති බවට ද ආයතන ප්‍රධානීහු මැසිවිලි නගති. ඇතැම් පළාත් පාලන ආයතනවල සේවය සඳහා සිටිනුයේ එක් එක් නිලධාරියකු පමණි. එය ඩෙංගු මර්දන ජාතික වැඩසටහන අඩාළ වීමට බලපාන එක් සාධකයකි.‍

එක් කලක් ජාතික උවදුරක් ව පැවති මැලේරියා වසංගතය තුරන් කිරීමේදී කීට විද්‍යාඥයන්ගෙන් සහ කීට විද්‍යා සහකරුවන්ගෙන් සැපයුණේ බරපතළ දායකත්වයකි. කීට විද්‍යා අංශවල දැනට ඇති මානව සම්පත් හිඟයට වහා පිළියම් යෙදීම රජයේ වගකීමකි.

බී.ටී.අයි. බැක්ටීරියාව ඩෙංගු මර්දනය සඳහා භාවිත කරන එක් මාර්ගයකි. ජනතාවගෙන් බහුතරය මේ පිළිබඳ කිසිවක් නොදනී. දුමායනය ද එපරිදිම ය. මෙය ද සන්නිවේදනය පිළිබඳ ගැටලුවකි. මහජනයා දැනුවත් කිරීම සඳහා මීට වඩා ක්‍රමානුකූල වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම අවශ්‍ය වේ.

ගංවතුර ආපදාවට ගොදුරු වූ ප්‍රදේශවල වසංගත ‍රෝග පැතිරීමේ අවදානමක් ඇති බවට සෞඛ්‍ය අංශ දැනටම අනතුරු අඟවා තිබේ. දුමායන යන්ත්‍ර 500 ක් ආනයනය කර එම ප්‍රදේශවලට ලබාදීමට සෞඛ්‍ය ඇමැතිවරයා පියවර ගෙන ඇත. පසුගියදා රුපියල් හත් කෝටියක වියදමින් මිලදී ගනු ලැබූ ලොරි 50 ක යතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් වෙත ලබාදීම ද ඇමැතිවරයා අතින් සිදු කෙරිණ. ‍ෙඩංගු මර්දන සහායකයන් 1500 ක් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැ‍නීම ද වැදගත් පියවරකි.

නාගරීකරණය සමඟ ඩෙංගු වැනි වසංගත ව්‍යාප්ත වීම පොදු තත්ත්වයකි. එසේ වුව ද එය වැළැක්වීම සඳහා පියවර ගැනීම ඊට සමාන්තරව කළ යුතු ය. කියුබාව සහ සිංගප්පූරුව වැනි රටවල් මෙයට හොඳින් මුහුණ දුන්නේ ය. ආණ්ඩුව, ජනතාව, රජයේ ආයතන, පෞද්ගලික ආයතන, ස්වේච්ඡා සංවිධාන සහ පොදු ස්ථාන යනාදී සෑම අංශයක් ම නියෝජන වන පරිදි ජාතික කමිටු, ප්‍රාදේශීය කමිටු ඔස්සේ අඛණ්ඩ වැඩපිළිවෙළක් දියත් කිරීම ‍ෙඩංගු උවදුරෙන් මිදුණු රටවල ස්වභාවය යි. එවැනි වැඩපිළිවෙළක් නොමැතිව දියත් කරන කුමන වැඩසටහනක් වුව ද අපේක්ෂිත ඉලක්කයට නොයා නවතී.

මීට වසර 15 කට පමණ පෙර බොරැල්ල ධර්ම ගවේෂී ආයතනයෙහි ඩෙංගු මර්දනය පිළිබඳව මහ සමුළුවක් පැවැත්විණ.

රජය, පෞද්ගලික ආයතන, ස්වේච්ඡා සංවිධාන, විද්වතුන්, පර්යේෂකයන්, ආගමික නායකයන්, ඩෙංගු රෝගයෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල් යනාදී වශයෙන් විශාල නියෝජනයක් එහි විය. ‍ෙඩංගු මර්දනය විෂයයෙහි ප්‍රාමාණික විද්වතකු මෙන් ම ආසියානු කලාපීය නියෝජිතයකු වන තිස්ස විතාරණ ඇමැතිවරයා ද ඊට සහභාගි විය. එහිදී පුළුල් වැඩපිළිවෙළක් සාකච්ඡාවට ලක් විය. නගර හා ගම් මට්ටමින් වැඩපිළිවෙළක් සකස් විය. එසේ වුව ද සති කිහිපයකදී වැඩසටහන ඇන හිටියේ ය.‍ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලින් අවශ්‍ය සහයෝගය නොලැබිණ. ‍ෙඩංගු රෝගයෙන් දරුවා මිය ගිය මද්දුමගේ වැනි පුද්ගලයන් කළ කැපවීම අහක ගියේ ය. එනිසා 2017 වනවිට ද ගැටලුව එතැනම ය. වැරදුණු තැන් හරිගස්සා ගනිමින් ඉදිරියට යෑම සඳහා පසු විපරම අවශ්‍ය වේ.

ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය නායකයාගේ ද මැදිහත් වීමෙන් පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක වීම ඇරඹුණු මොහොතෙහි වඩා වැදගත් වන්නේ ඩෙංගු උවදුරෙන් අත්මිදීමේ අධිෂ්ඨානය හැම හදවතකම ඇති කර ගැනීම ය. ඒ සඳහා ක්‍රියාත්මක වීම ය. එය ගෙදරින් පටන් ගෙන ආයතනය, ගම නගරය ඔස්සේ විහිදෙන ජාතික වැඩසටහනක් බවට පත් කර ගත යුතු ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles