Wednesday, August 17, 2022

තේ පොල් රබර් වගාවලට යළි හොඳ කලක්

ග්‍රාමීය කෘෂිකාර්මික ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාව ක්‍රමයෙන් නාගරික ආර්ථිකයක් කරා පා තබන බව ලෝක බැංකුව ශ්‍රී ලංකාව ගැන වූ වාර්තාවක සඳහන් කර ඇත.

එම වාර්තාව පවසන අන්දමට ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය ඉක්මවා සේවා හා කර්මාන්ත නිෂ්පාදන අංශ පෙරට පැමිණෙමින් සිටී. ශ්‍රී ලංකාවේ තේ, රබර්, පොල්, කුරුඳු, එළවළු හා පලතුරු ඇතුළු සෙසු කෘෂිකාර්මික වැවිලි තවමත් ආර්ථිකයේ වැදගත් ස්ථානයක සිටී. සියලු කෘෂිකාර්මික වැවිලි ඉක්මවා යමින් වගා බිමින් සියයට 34ක් වී වගාවට යටව තිබේ. වර්ෂයකට සියයට 1.1ක වේගයෙන් සහල් ඉල්ලුම වැඩි වන අතර ඉඩෝරය නිසා පසුගිය මාස් කන්නයේ අස්වැන්න අඩු විය. දැන් 2017 යල කන්නයේ කටයුතු ආරම්භව තිබේ.

කළු තේ ඉල්ලුම

තේ, පොල්, රබර් යන ආර්ථික වැවිලි ත්‍රිත්වය දීර්ඝ කාලයක සිට රටේ විදේශ ආදායම් ඉපැයීමේ නිරතව සිටියත්, ලෝක වෙළෙඳ පොළ හා ජාත්‍යන්තර නිෂ්පාදනය සමඟ තරග කරන නිසා මේ වැවිලි අභ්‍යන්තර හා බාහිර ගැටලු මැද, ඉදිරියට යයි. ඒ අතරට කාලගුණය ද එයට හරස් වේ.

තේ වගාවේ තත්ත්වය උදාහරණ ලෙස ගතහොත් ශ්‍රී ලංකාවේ පවතින කාලගුණික විපර්යාස, සේවක වර්ජන නිසා නිෂ්පාදන වියදම් වැඩිවීමට එම හේතු තරයේ බලපායි. ඉන්දියාවේ ද තත්ත්වය මෙයට මඳක් සමානය. එහෙත් චීනය ප්‍රධාන අග්නිදිග තේ නිෂ්පාදන රටවල ද, උගන්ඩාව හා කෙන්යාවේ නිෂ්පාදන වියදම් අඩු වන නිසා මොම්බාසා තේ වෙළෙඳ පොළේ මිල ගණන් කොළඹ වෙන්දේසියේ මිලට වඩා අඩු වන අවස්ථා වාර්තාව තිබේ.

2016 අගෝස්තුවේ නියඟ නිසා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දසකයකට පසු අවම තේ නිෂ්පාදනය අත්කර ගත් බව ග්ලෝබල් ටී සඟරාව කියයි. ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ 150 වන සංවත්සරයට සමගාමීව විවිධ වැඩ සටහන් ද දියත්ව ඇති අතර ශ්‍රී ලංකා කළු තේ සඳහා ලෝක ඉල්ලුම වැඩිව ඇතැයි එම සඟරාව තවදුරටත් පවසයි. ඇමෙරිකාව තේ වගාවට නැඹුරු වන ස්වභාවයක් දක්නට ලැබෙන බව පවසන එම සඟරාව ඇමෙරිකාවේ ජනපද 15ක දැනට තේ වගා 60ක් ආරම්භ කර ඇතැයි ද කියයි. මේ තේ වගා හුදෙක් පුද්ගලික වගා පමණි.

මිල ඉහළ යෑම

2015 දී කෙන්යාව සහ චීනය අපනයන වෙළෙඳ පොළ ආක්‍රමණය කළ අතර ශ්‍රී ලංකා වෙළෙඳ පොළ වන මැදපෙරදිග රටවල් ශ්‍රී ලංකාව සමඟ සිටී. ඒ තුර්කිය සහ ජපානය ද සමඟය.

ඉන්දුනීසියාව, බංගලාදේශය, වියට්නාමය, මලාවි, උගන්ඩා සහ ටැන්සානියාව ක්‍රමයෙන් තේ වෙළෙඳපොළට එක්වන නිෂ්පාදකයෝය. ශ්‍රී ලංකා අපනයන වෙළෙඳ පොළෙන් විශාල කොටසක් චීනය විසින් 2017 වසරේ දී ඩැහැගනු ඇතැයි ඇතැම් වාර්තා දැනට බිය පළ කර තිබේ.

කාලගුණික තත්ත්වය යහපත් අතට හැරී අපේ තේ නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩි වන අතර කොළඹ තේ වෙන්දේසියට පසුගිය සතියේ තේ කිලෝ දස ලක්ෂ 6ක් ලැබිණි. එසේම හොඳ මිලක් ද ලැබිණි. කුඩා පරිමාණ ගෘහස්ථ නිෂ්පාදකයනට දලු තේ කිලෝවට රු. 97ක පමණ මිලක් ලැබේ.

තේ මිල අඩුවීමේ දී පසුගිය කාලයේ වැඩියෙන්ම අසතුටට පත්වූයේ සුළු පරිමාණ වගාකරුවෝය. ගාල්ල, මහනුවර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල තේ ඉඩම්වලින් වැඩි ප්‍රමාණයක් කුඩා ඉඩම් හිමියෝය. ජාතික තේ නිෂ්පාදනයෙන් සියයට 75ක් පමණ රැඳී තිබෙන්නේ ඔවුන් අතය. හාර ලක්ෂයක් පමණ වන ඔවුනගේ එකම ආදායම තමන් සතු බිම් කැබැල්ල පමණි. ඇතැම් අවස්ථාවන්හිදී කුලීකරුවනට පවා දෛනිකව ගෙවීම් කිරීමට ඔවුනට සිදු වේ. බොහෝ පවුල්වල එකම ආදායම ද තේ ඉඩමය.

ජාත්‍යන්තරව තේ මිල අඩුවූ විට තේ වැවිලි සමාගම් කොටස් මිලද පහත වැටී, ආයෝජකයෝ ද දුර්වල වූහ. එසේම සේවක පඩි-නඩි හා කම්කරු අර්බුද මැද ජාත්‍යන්තර තරගයට ද ඔවුහු මුහුණ දුන්හ. තේ මිලදී ගත් රටවල ද අර්බුදය. ජුනි මාසයේ සිට ශ්‍රී ලංකාවේ තේ මිල ක්‍රමයෙන් යහපත් විය. පොදුවේ ගත් කල තේ සමාගම් රැසක කොටස් මිල ක්‍රමයෙන් යහපත්ව තිබේ. සියලුම වගා කලාපවල තේ කිලෝවක සාමාන්‍ය මිල දැනට රු. 648 කි. වසර දෙකකට පෙර එම මුදල රු. 401 ක්ව තිබිණි. මෙසේ තේ වගාව දැන් පුනරුත්ථාපනය වෙයි.

චීනය තේ නිෂ්පාදන රටවල් අතර පෙරට පැමිණීමට උත්සාහ දැරීම සහ ඇමෙරිකාව සිය රටේ තේ වගා ඇරැඹීම ගැන ව්‍යාපාරිකයෝ කලබලව සිටින බව කියැවෙතැත් බ්‍රොකර් වාර්තා පවසන්නේ ශ්‍රී ලංකා තේ පිළිබඳව ඇති ජාත්‍යන්තර අගය ලෙහෙසියෙන් අකා-මකා දැමිය නොහැකි බවයි. ඇමෙරිකා වෙළෙඳ පොළ ස්ථාවර තත්ත්වයක පවතී.

“සාම්ප්‍රදායානුකූල ශ්‍රී ලාංකික තේ රසිකයෝ ලංකා තේවලට වසඟව සිටිති”යි එක් බ්‍රොකර් වාර්තාවක් කියා ඇත. එසේම තේ වගාව නැංවීම සඳහා රජය නව ණය ක්‍රම හා ආධාර දිගටම ක්‍රියාත්මක කරයි.

ශ්‍රී ලංකාවේ පොල් වගාව 2014 ට සාපේක්ෂව 2015 දී අස්වැන්න වැඩිකරගෙන තිබේ. 2015 පොල් නිෂ්පාදනය පොල්ගෙඩි දසලක්ෂ 3056 කි. 2016 පොල් වගාව තවත් ඉදිරියට ගොස් තිබේ.

ඉන්දුනිසියාව, පිලිපීනය, ඉන්දියාව සහ බ්‍රසීලය ලෝක පොල් නිෂ්පාදනයේ ප්‍රධානම රටවල් 4 යි. පස්වන ස්ථානය ශ්‍රී ලංකාවයි.

දේශීය පාරිභෝජනය සඳහා දේශීය පොල් නිෂ්පාදනයෙන් විශාල කොටසක් වැය වන නමුත් 2015 පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයන වටිනාකම රුපියල් දසලක්ෂ 47475 කි. එය 2014 ට වඩා සියයට 2.6 ක වර්ධනයකි. ශ්‍රී ලංකා මහ බැංකුව මාර්තු 27 වනදා නිකුත් කළ නිවේදනයට අනුව 2016 දෙසැම්බර් මාසයේ පොල් හා ආශ්‍රිත අපනයන වටිනාකම ඇ. ඩොලර් දසලක්ෂ 28.5 කි. 2015 වසරේ දෙසැම්බරයේ එම අංශයේ වටිනාකම ඇ. ඩොලර් දසලක්ෂ 23.7 කි.

පොල් නිෂ්පාදනය

ශ්‍රී ලංකාව 2016 වසරේ ජනවාරි – දෙසැම්බර් කාල පරාසය තුළ පොල් ආශ්‍රිත අපනයන මඟින් ඇ. ඩොලර් දසලක්ෂ 366.0 ක් උපයා ගත් අතර 2015 ට වඩා ඒ මුදල සියයට 4 කින් ඉහළ ගොස් තිබේ. 2015 උපයා ගත්තේ ඩොලර් දසලක්ෂ 26.1 ක් පමණි.

2014 දී පාරිභෝජනය සඳහා ගනු ලැබූ පොල් ගෙඩියක සාමාන්‍ය මිල රු. 39.08 ක් වුවත් 2015 එම අගය රුපියල් 54.54 දක්වා ඉහළ ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 20 වනදා නිකුත් කළ වාර්තාවකින් පවසන්නේ නාරාහේන්පිට වෙළෙඳ පොළේ ලොකු පොල් ගෙඩියක සිල්ලර මිල රු. 68.33ක් වූ බවයි. පිටකොටුව තොග වෙළෙඳ පොළේ පොල් ගෙඩියක මිල රුපියල් 75 කි.

මේ අයුරින් පොල් මිල ඉහළ යෑම දේශීය පොල් පාරිභෝගිකයාට අමාරු කාරියකි. පොල් වගාකරුට ලාබයක් වුවත්, පොල් නිෂ්පාදනය අඩුකරලීමට වත්මන් කාලගුණික තත්ත්වය හේතු වේ. ඔක්තෝබරය සිට මේ වන තුරු ප්‍රමාණවත් වැසි නොලැබීමෙන් පුත්තලම ගම්පහ සහ කුරුණෑගල යන පොල් නිෂ්පාදන ප්‍රදේශවල පොල් වගා දුර්වලව ඇත.

කුරුණෑගල වැවිලි සමාගමය පොල් සහ රබර් ඉඩම් පාලනය කරන රාජ්‍ය ව්‍යවසායකි. දිගින් දිගටම පාඩු ලැබුව ද, දැන් එය ලාබ ලබන තත්ත්වයට පත්ව තිබේ. එම සමාගමය සතු පොල් ඉඩම් ප්‍රමාණය අක්කර 10120 කි. රබර් ඉඩම් ප්‍රමාණය අක්කර 617 කි. සමාගමයේ උත්සවයකට සහභාගි වූ කබීර් හෂීම් ඇමැතිවරයා ප්‍රකාශ කෙළේ ජාතික පොල් නිෂ්පාදනයෙන් සියයට 75ක් කුඩා පොල් වතු හිමියන්ගේ ඉඩම් තුළින් සැපයෙන බවයි.

පොල් මිල ඉහළ යෑමේ වාසිය කුඩා ඉඩම් හිමියාට ලැබීම වගාකරුට වාසියකි.

රබර් කර්මාන්තය

රබර් කර්මාන්තය අතින් බලන කල රබර් නිෂ්පාදන අංශය 2016 අගෝස්තු මාසයේ සිට වර්ධනයක් පෙන්නුම් කරන බව ද මාර්තු 27 බැංකු වාර්තාව කියයි, ශල්‍යාගාර සඳහා පාවිච්චියට ගන්නා අත්වැසුම් මෙන්ම, සෙසු රබර් අත්වැසුම් භාණ්ඩ ද අපනයනය කිරීමෙන් ඇමෙරිකානු ඩොලර් දසලක්ෂ 767.9 ක විදේශ ආදායමක් 2016 වසරේ ලබාගෙන ඇත. 2015 වසරේ ලබාගත්තේ ඇ. ඩොලර් දසලක්ෂ 761 ක ආදායමක් පමණි.

රබර් අපනයන අංශය මඟින් ද 2016 උපයා ගත් ආදායම ඇ. ඩොලර් දසලක්ෂ 32.7 කි. 2015 ඉපැයීම ඩොලර් දසලක්ෂ 26.1 කි.

අපනයන මිල ගණන් පහත වැටීම හා කෘතිම රබර් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල පහත වැටීම ස්වභාවික රබර් නිෂ්පාදනය පිරිහීමට බලපෑ ප්‍රධාන හේතු දෙකකි.

රබර් ඒෂියා නම් ප්‍රකාශනය සිය අප්‍රේල් 05 වැනිදා ප්‍රකාශයට පත් කෙළේ 2016 වසරේදී ස්වභාවික රබර් පාරිභෝජනය මෙ. ටොන් දසලක්ෂ 27.2 කින් වැඩි වී ඇති බවයි.

චීනයේ වාහන නිෂ්පාදනය නැවත සක්‍රීය වීම නිසා ටයර් නිෂ්පාදනයේ අවශ්‍යතාව සැපයීම සඳහා තව තවත් රබර් පාරිභෝජනය කිරීමට අනාගතයේදී සිදු වනු ඇතැයි එම සඟරාව කියයි.

ලෝක ස්වභාවික රබර් නිෂ්පාදකයන්ගේ සංගමය (ANRPC) රබර් කර්මාන්තයේ ප්‍රබලම ජාත්‍යන්තර සංවිධානයයි. ශ්‍රී ලංකාව ද එහි සාමාජිකයෙකි.

අප්‍රියෙල් 07 වනදා එම සංවිධානය නිකුත් කළ ප්‍රකාශයකට අනුව ඇමෙරිකාව යුරෝපය සහ චීනය යන රටවල ආර්ථිකය ක්‍රමයෙන් ප්‍රබෝධවත් වන නිසා රබර් මිල ගණන් ඉතා ඉක්මනින් තවත් යහපත් වනු ඇත.

චීන ටයර් සඳහා ඇමෙරිකාව පනවා තිබූ බදු ලිහිල් කිරීමට ඇමෙරිකාව කළ තීරණය නිසා චීනය රබර් වෙළෙඳ පො‍ළ තුළ ප්‍රබල චරිතයක් බවට පත්වනු ඇතැයි ද ලෝක ස්වභාවික රබර් නිෂ්පාදකයන්ගේ වාර්තාව 2017 දෙවන කාර්තුවේ ස්වභාවික රබර් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් දසලක්ෂ 2.4 ක් වනු ඇතැයි ද කියයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles