Tuesday, January 25, 2022

නව මැනිං වෙළෙඳපොළ වේලාවට විරෝධයක්

පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ අද (14) සිට තොග වෙළෙදාම සදහා පමණක් සෑම දිනකම පස්වරු 4 සිට රාත්‍රී 12 දක්වා විවෘත කිරීමට තීරණය කර තිබේ.

එහෙත් යෝජිත නව වේලාවලට එළවළු සැපයීම දුෂ්කර බව පවසමින් උඩරට සිට මැනිං වෙළෙඳපොළ දක්වා තොග ප්‍රවාහනය කරන ලොරි රථ හිමියන් සහ වෙළෙඳුන් එම කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබුණි.

මෙරට සෑම ප්‍රදේශයකින්ම එළවළු සහ පලතුරු අස්වනු කොළඹ මැනිං තොග වෙළෙඳපොළ වෙත දෛනිකව රැගෙන ඒම සිදුවේ.

එහෙත් එම වෙළෙඳ සංකීර්ණය පිහිටා තිබූ කොළඹ කොටුව ප්‍රදේශයේ වාහන තදබදය ඉහළයාම නිසා එම මැනිං වෙළෙඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථාපිත කෙරුණි.

කෙසේවෙතත් මැනිං වෙළෙඳපොළේ තොග වෙළෙඳාම් ආරම්භ කෙරෙන නව වේලාව වැලිමඩ, ඌව පරණගම හා නුවරඑළිය ආදී ප්‍රදේශවල ගොවීන්ට හා අතරමැදි වෙළෙඳුන්ට ගැටලුවක් වී ඇති බව ඔවුන් පවසයි.

සෑම උදෑසන අස්වනු නෙලීම සිදුකෙරෙන අතර එලෙස නෙලන අස්වනු එදින රාත්‍රියේ කොළඹට ප්‍රවාහනයෙන් පසු පසුදින උදෑසන මැනිං වෙළෙඳපොළේ අලෙවියට තැබීම සාමාන්‍ය පිළිවෙත විය.

එහෙත් නව ක්‍රමය යටතේ වෙළෙඳ පොළට සැපයීමට සිදුවන්නේ දින දෙකක් පැරණි එළවළු බවත්, එය ප්‍රායෝගිකව අසාර්ථක ක්‍රමවේදයක් බවත් ගොවීන් සහ අතරමැදි වෙළෙඳුන් පවසති.

ඒ අනුව උඩරට එළවළු මැනිං වෙළෙඳපොළ දක්වා ප්‍රවාහනය කරන ලොරි රථ හිමියන් සහ වෙළෙඳුන් ඉන් ඉවත්වීමට තීරණය කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles