Wednesday, August 17, 2022

නැතුවම බැරි කෙසෙල්

ලෝකයේ වගා කෙරෙන වී, තිරිඟු බඩ ඉරිඟු වැනි බෝග වගාවන්වලට පසු සිව්වන ස්‌ථානය හිමි බෝගය ලෙස සැලකෙන්නේ කෙසෙල්ය. එසේම, ලොවපුරා වගා කෙරෙන පලතුරු විශේෂ අතරද දෙවන ස්‌ථානය කෙසෙල් බෝගයට හිමිවන අතර එය දොඩම් වගාවට පමණක්‌ දෙවැනි වේ. ශ්‍රී ලංකාවේ වගාබිම්වල භූමි වපසරිය ගෙන බලනවිට සියයට වැඩි ප්‍රතිශතයක්‌ කෙසෙල් වගාවට හිමිවන බැවින්. කෙසෙල් වගාව සම්බන්ධයෙන් අටුවා ටීකා කියා පෑමට දෙයක්‌ මෙරට ගොවිජනතාව සම්බන්ධයෙන් ඉතිරිව නැත. එසේ නමුත්, නාගරික හා අර්ධනාගරික ප්‍රදේශවල කුඩා බිම් ඉඩම්වල වෙසෙන කුඩා පවුලකට වුවත් තම ගෙවත්තේ කෙසෙල් පැළයක්‌ රෝපණය කර එහි ඵල භුක්‌තිවිඳීමට හැකි නිසාත් එවැනි කුඩා බිම්කඩක සිටුවීම සඳහා පැළයක්‌ තෝරා ගැනීමේදී එය නිවැරදිව කළයුතු බැවින් ඒ සඳහා වූ දැනුම සොයන පිරිසට දැනුම ලබාදීමත් අරමුණුකර මෙය ලිවීමට අදහස්‌ කළෙමි.

වගාවක්‌ සඳහා කෙසෙල් පැළ ලබා ගැනීමේදී අද නම් ඒ සඳහා විවිධ තාක්‍ෂණික ක්‍රමවේද භාවිත කෙරෙන නමුත් සාමාන්‍ය ක්‍රමය නම් පඳුරකින් ගලවා පැළ ලබාගැනීමය. මෙසේ ලබා ගන්නා කෙසෙල් මොරෙයියන් (කුඩා පැළ) කාණ්‌ඩ තුනකට බෙදා වෙන්කර තිබේ. එනම්

1 කඩුපත් මොරෙයියා

2 කන්‍යා මොරෙයියා

3 දියපත් මොරෙයියා වශයෙනි

කඩුපත් මොරෙයියා

සාර්ථක වගාබිම් සඳහා තෝරාගන්නේ මෙනමින් හඳුන්වන කෙසෙල් මොරෙයියන්ය. මෙම පැළයේ කෝමය (අලය) හොඳින් වර්ධනය වී ඇති බැවින් පැළයේ වර්ධනයට අවශ්‍ය පෝෂණය එහි මැනවින් තැන්පත්ව තිබේ. මෙවැනි කෙසෙල් මොරෙයියයන් හඳුනා ගැනීම පහසුය. කඳ පහළ සිට ඉහළට ක්‍රමයෙන් සිහින් වේ. එනම්, තල් අලයක හැඩයෙන් යුක්‌තය. (කේතු ආකාරයකි) පැළයේ ආරම්භයේදී හටගන්නා පත්‍ර සිහින් දිගටි හැඩයෙන් යුක්‌තය. (මෙහි දැක්‌වෙන චිත්‍ර සටහනේ මව් ශාකය දෙපස ඇති කුඩා පැළවල රූප සටහන බලන්න) මෙම විශේෂයට අයත් මොරෙයියන්ගේ කෝමය ප්‍රමාණයෙන් විශාල නිසා පැළය හොඳින් වර්ධනය වන අතර මව්ගසේ අලයේ වඩා ගැඹුරින් පිහිටා ඇති අංකුරවලින් මෙම කෙසෙල් මොරෙයියන් බිහි වේ. වගා බිමක මේ ආකාරයේ පැළ හටගන්නේ ඉතාමත් සීමිත සංඛ්‍යාවකි. මෙම පැළ වගාකිරීමෙන් සාර්ථක පළදාවක්‌ අපේක්‍ෂා කළ හැකි අතර ප්‍රමාණයෙන් විශාල කෙසෙල් කැන් ලබාගත හැකි වේ.

කන්‍යා මොරෙයියා

මෙම විශේෂයේ පැළවල පත්‍ර පළල්ය. කඳේ හැඩය මද වශයෙන් කේතු ආකාරයට පිහිටා ඇති අතර මධ්‍යම ආකාරයේ කෝමයකි. මෙවැනි පැළයක්‌ වගාකිරීමෙන් කඩුපත් මොරෙයියන්ගෙන් මෙන් විශේෂ අස්‌වැන්නක්‌ අපේක්‍ෂා කළ නොහැකි වුවත් යම් ප්‍රමාණයක සාර්ථක බවක්‌ බලාපොරොත්තු විය හැක. මෙම විශේෂයේ පැළ ද වගා කටයුතු සඳහා අනුමත කර තිබේ.

දියපත් මොරෙයියා

මව් අලයේ ඉහළින්ම (පස්‌ මට්‌ටමට ආසන්නව) පිහිටි අංකුරවලින් මෙම මොරෙයියන් හටගනී කඳ ඉතාමත් දුර්වලය. හැඩය පහළ සිට ඉහළට සිලින්ඩරාකාර වේ. (උණ බම්බුවක හැඩය) කෝමය කොටස බෙහෙවින් කුඩාවන නිසා පෝෂ හීන වේ. පත්‍ර අතර දුර ප්‍රමාණය අඩුය. බොහෝ විට එකම ස්‌ථානයකින් පත්‍ර හටගෙන ඇති සෙයක්‌ දකින්නට ලැබේ. වර්ධන වේගය දුර්වලය. සාර්ථක ප්‍රතිඵල නොලැබෙන නිසා වගා කටයුතු සඳහා අනුමත නොකෙරේ. කෙසෙල් පැඳුරක මේ ආකාරයේ පැළ ඇතිවිට ඒවා ගලවා ඉවත්කිරීම සුදුසුය.

හොඳ තත්ත්වයේ කෙසෙල් මොරොයියෙක්‌ තෝරාගැනීම දැන් ඔබට කළ හැකිය. පැළ සපයා ගැනීමට අපේක්‍ෂා කරන පඳුරේ පැළ දෙකක්‌ හෝ තුනක්‌ ඉතිරිවන ලෙස තබා සුදුසු තත්ත්වයේ කුඩා පැළ ලබාගත් පසු ඒවා සිටුවීමට පෙර පැය 48 ක පමණ කාලයක්‌ කෝමය හොඳින් ගිලීයන ලෙස ජලයේ බහා තබන්න. කෝමය තුළ අලගුල්ලා පලිබෝධකයින් සිටීනම් මෙසේ කිරීමෙන් ඔවුන් විනාශ කළ හැකි වේ. අනතුරුව ස්‌ථීර භුමියේ පැළ සිටුවීම කළ හැකිය.

වළවල් කැපීම

තෝරාගත් භුමිය බුරුල් පස සහිතනම්, අඩි 1 2/2ං1 1/2ං1 1/2 ප්‍රමාණයේ වළක්‌ ඒ සඳහා සුදුසු වේ. තද පසක්‌ සහිත ස්‌ථානයක්‌ නම්, අඩි 2 2/2ං2 2/2ං1 වන ලෙස වළ සකස්‌ කර ගැනීම වැදගත්ය. මතුපිට පස්‌ හා හොඳින් දිරාපත් වූ කොම්පෝස්‌ට්‌ පොහොර මිශ්‍රනයක්‌ යොදා වළ වැසීම පැළය සිටුවීමේදී කළ හැකිය.

අනෙකුත් බෝග වගාවන් මෙන්ම කෙසෙල් වගාවේදී ද දේශගුණික සාධක වැදගත් වේ. මේ අනුව වියළි කලාපය, තෙත් කලාපය සහ අතරමැදි කලාපය යන දේශගුණික කලාප සඳහා අනුමත කළ කෙසෙල් ප්‍රභේද තිබේ. එම විශේෂ අතරින් කීපයකි මේ.

වියළි කලාපය සහ අතරමැදි කලාපය සඳහා

සීනි කෙසෙල්, ඇම්බන්, ආනමාලු, කෝලිකුට්‌ටු, ඇඹුල්, රතඹලා, කණඩුල, නදී.

පිසීමට ගන්නා විශේෂ

පුලතිසි, ප්‍රසාද්, මොන්දන්, මැටිකිතල, ඇටමුරු සහ අළු කෙසෙල්.

තෙත් කලාපය

පූවාලු, බිං කෙසෙල්, පැරකුම්, මැටි කිතල ඇටමුරු, ප්‍රසාද්, මොන්දන් යන විශේෂ මේ අතරින් කීපයකි.

වැදගත්

ඔබ කැමති දිශාවකට කෙසෙල් කැන වැටෙන ආකාරයට පැළය සිටුවිය හැකිය. නිදසුනක්‌ ලෙස නැගෙනහිරට, බටහිරට, උතුරට, දකුණට ආදී වශයෙනි. ගසක කෙසෙල් කැන වැටෙන්න්නේ සිටුවීමට ගත් පැළයේ කෝමයේ කැපුමට ප්‍රතිවිරුද්ධ දිශාවෙනි. එනම් ඔබට අවශ්‍ය වන්නේ නැගෙනහිර දිශාවට මුහුණලා කෙසෙල් කැන වැටෙනවා දකින්නට නම් පැළය සිටුවන අවස්‌ථාවේ එහි අලයේ කැපුම (මව් අලයෙන් වෙන් කළ කැපුම) බටහිර දිශාවට සිටින සේ පැළය සිටුවන්න. මෙය ඔබට අත්හදා බැලිය හැක.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles