Friday, August 19, 2022

නියඟයත් සමඟ වැඩි වූ ‘ඉදිමිලා මැරෙන’ වකුගඩු ලෙඩේ

උතුරුමැද, වයඹ, ඌව හා උතුරු පළාත්වල තවමත් නියඟයකි. ඒ නියඟය නිසාම අද ජල හිඟයට අමතරව තවත් සුවිශේෂ ගැටලුවක් ඇතිවී තිබේ.

ඒ ඉහත ප්‍රදේශවල වර්ධනය වෙමින් තිබූ කෘෂිකාර්මික වකුගඩු රෝගය තවත් ප්‍රබල ලෙස ව්‍යාප්ත වීමට මේ ජල හිඟය සිදු කරන ප්‍රබල බලපෑමයි.

අතීතයේ “උණ අරන් ඉදිමිලා මැරෙන ලෙඩේ” ලෙස හැඳින්වූ වකුගඩු රෝගය අද අපේ රටේ ප්‍රබලතම මානව මාරකයා බවට පත්ව තිබේ. සරලව පැවසුවොත් එය නිසා රටට අහිමි වන ජන ජිවිත ගණන යුද්ධයෙන් අහිමි වූ ජීවිත ගණනට වඩා වැඩි බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.

මාලිගාවත්ත ජාතික වකුගඩු රෝග මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ මහතා පවසන පරිදි අපේ රටේ දැනට වසරකට වකුගඩු රෝගීහු 5000ක් අලුතින් මේ රටට එක් වෙති. ඒ අය සුවපත් කිරීමට ඖෂධ තිබුණත් ටික කලක් ගත වේ.

වකුගඩු රෝගය පිළිබඳව පර්යේෂණ අනුව මෙරට තුළ ප්‍රධාන වකුගඩු රෝග දෙකක් ඇත. ඉන් එකක් වන්නේ නාගරික වකුගඩු රෝගයයි. අනෙක් එක කෘෂිකාර්මික වකුගඩු රෝගයයි. වෛද්‍ය හේවගේ පවසන පරිදි අපේ රටේ වැඩිපුර සිටින්නේ නාගරික වකුගඩු රෝගීන්ය. ඒ අය කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිය. නමුත් ඒ රෝගීහු ඉක්මනට සුවය ලබති. ඊට හේතුව ඒ රෝගීන්ට වකුගඩු රෝගය වැලඳුණු හේතුව සොයාගත හැකි බැවිනි. අධික රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් අධික බව මේ වකුගඩු රෝගයට හේතුවක් වේ.

එහෙත් උතුරුමැද වයඹ, ඌව හා උතුරු පළාත්වල බහුලව ඇති කෘෂිකාර්මික වකුගඩු රෝගය දැන් ඉතා දරුණු ලෙස ව්‍යාප්ත වී ඇත. එය වැලඳුණු හේතුව සොයා ගැනීම අමාරුය. මේ පිළිබඳව වසර ගණනාවක් පර්යේෂණ කරන රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසන පරිදි මෙරට දැනට කෘෂිකාර්මික වකුගඩු රෝගීහු 75000කට වඩා සිටිති. ඒ රෝහල්වලින් බෙහෙත් ගන්නා ප්‍රමාණය පමණි. නිවාසවල සිටින අයත් සමඟ මෙරට මෙවැනි රෝගීන් 90000ක් පමණ සිටිය හැකි බවට විශ්වාස කෙරේ. දැනට මෙරට කෘෂිකාර්මික වකුගඩු රෝගය නිසා මියගිය සංඛ්‍යාව 25000ක් පමණ වේ. මේ වකුගඩු අලුතින් වාර්ෂිකව 4500 – 4800 අතර ප්‍රමාණයක් මේ රෝගයට අලුතින් ගොදුරු වන බවට වෛද්‍ය චන්න ජයසුමන පවසයි. අලුත් ගවේෂණ අනුව රටේ දිස්ත්‍රික්ක 14ක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 70ක පමණ වකුගඩු රෝගය පැතිර තිබේ. උතුරුමැද පලාගල ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වකුගඩු රෝගීන් ගණන පසුගිය වසර 4 ඇතුළත 6 ගුණයකින් වැඩි වී ඇත. අද උතුරුමැද හා වයඹ ඌව පළාත්වල පවතින ජල හිඟය නිසා වකුගඩු රෝගය තවත් දරුණු තත්ත්වයට පත්වී තිබේ. දකුණු පළාතේ ලුණුගම්වෙහෙර හා හම්බන්තොට ප්‍රදේශවල ද දැන් මෙය පැතිර යමින් පවතී.

“වකුගඩු රෝගයෙන් මිදීමට සුදුසුම දේ පරිසර හිතකාමීව සොබාදහම අනුව ජීවත්වීමයි. වසවිස ආහාරයට නොගෙන පරිසර හිතකාමී ලෙස ජීවත්වීම මඟින් අපට වකුගඩු රෝගයෙන් බේරීමට පුළුවන්.”

මේ අදහස පවසන්නේ මේ රටේ වකුගඩු රෝගය පිළිබඳව වසර ගණනාවක් පර්යේෂණ කර ඇති විශේෂඥ උපදේශක වෛද්‍ය හා මාලිගාවත්ත ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රත්නසිරි ඒ. හේවගේ මහතායි.

ජගත් වකුගඩු දිනය පසුගිය 9 වැනිදාට යෙදී තිබිණි. ඒ වෙනුවෙන් පවත්වන ජාතික උත්සවය 13 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විල්ගමුවේදී පැවැත්විණි.

මෙවර වකුගඩු දිනයේ තේමාව ‘නිරෝගී දිවි පෙවෙතක් සඳහා නිරෝගී වකුගඩු’ යන්නයි. මේ අනුව අප කළ යුත්තේ පරිසර හිතකාමී නිරෝගී දිවි පෙවතක් මඟින් ජීවිතය පවත්වාගෙන යමින් වකුගඩු රෝගයෙන් ජීවිතය ආරක්ෂා කර ගැනීමයි.

අද අපේ රටේ වකුගඩු රෝගය පිළිබඳව පර්යේෂණ වෛද්‍යවරයකු වන වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසන පරිදි මෙරට කෘෂිකාර්මික වකුගඩු රෝගයට හොඳම විසඳුම පරිසර හිතකාමී ගොවිතැන හා ජල සම්පාදනයෙන් සුදුසු සුපිරිසුදු ජලය වකුගඩු රෝගීන්ට ලබාදීමයි.

වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසන පරිදි කෘෂිකාර්මික වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් හා කැඩ්මියම් වලින් දූෂිත වූ අපවිත්‍ර ජලය බීමයි. ඒ විෂ සහිත ජලය හා ඒ ජලය උරාගත් කෑම ශරීරගත වීමයි.

එතෙරින් ගෙන්වූ බාල පලිබෝධ නාශකයන් මඟින් දූෂණය වූ ජලය පානය කිරීම වකුගඩු රෝගයට යම් හේතුවක් බව පැහැදිලිව සොයා ගෙන තිබේ. එමෙන්ම ආසනික හා කැඩ්මියම් වැනි බැර ලෝහ ජලයේ දියවීමෙන් ජල දූෂණය වීම නිසා ද වකුගඩු රෝගය වැල‍ඳෙයි. ඊට අමතරව මැග්නිසියම් කැල්සියම් හා ෆ්ලෝරින් වැනි අයන ජලයේ දියවී දූෂිත ජලය ලෙස ශරීරගත වී වකුගඩු රෝගය වැලඳීමට ඉඩ තිබේ.

වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසන පරිදි මේ පලිබෝධනාශක හා බැර ලෝහවලින් දූෂණය වූ ජලය ශරීරගත වූ විට වකුගඩු ආසාදනය වීමේ ප්‍රවණතාව වේගවත් වෙයි. විස සහිත ජලය ශරීරගත වූ විට වකුගඩු ඉක්මනින් ෆිල්ටරයක් ලෙස වේගයෙන් ක්‍රියාත්මක වන බවත් කලක් එලෙස ක්‍රියාත්මක වූ විට ඒ වකුගඩු අක්‍රීය වන බවත් වෛද්‍ය චන්න ජයසුමන පවසයි.

මෙරට වකුගඩු ‍ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දෙදෙනකු වන විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාත්, වෛද්‍ය චන්න ජයසුමනත් සුවිශේෂී ලෙස අවධාරණය කරන්නේ අපේ රටේ ඇති මේ කුමන වකුගඩු රෝගයක් වුවද වැළැක්වීමට සුදුසුම දේ පරිසර හිතකාමී ලෙස සොබාදහම සමඟ ජීවත්වීම බවයි.

ඒ අනුව දැනට අපේ දරුණුම මානව මාරකයාගෙන් අපේ ජනතාව බේරා ගැනීමට නම් කළ යුත්තේ පරිසර හිතකාමී ලෙස ජීවත්වීමට ජනතාවට උපදෙස් දීමයි.

වෛද්‍ය චන්න ජයසුමන පවසන පරිදි අද රජරටට ගලා එන මේ වස විස සහිත ජලය හා රජරට පාවිච්චි කරන පලිබෝධනාශක රසායනික පෝර මඟින් දූෂිත වූ ජලය බොන ජනතාවට වකුගඩු රෝගය බහුලව වැල‍ඳේ.

රජරට දැන් පවතින අධික උෂ්ණත්වය සහිත දේශගුණ තත්ත්වය අනුව දිනකට ජලය ලීටර් 5ක්වත් පානය කළ යුතුය. නමුත් අද විස පස්වලින් ආඪ්‍ය වූ ජලයේ රසය වෙනස් වෙයි. මේ නිසා කුඹුරේ වැඩ කරන ගොවි ජනතාව පවා මේ ජලය බීමට මැළිකමක් දක්වති. උෂ්ණ දේශගුණයක් සහිත ප්‍රදේශයක මෙලෙස ජලය නොබි වැඩ කරන විට ගොවියන්ගේ වකුගඩුවලට මූත්‍ර පෙරෙන්නෙ දැඩි සාන්ද්‍රණයකින් යුක්තවය. මේ නිසා වකුගඩුවට බලපෑම් ඇතිවී එය දුර්වල වෙයි.

එය ජීවිතයේ අවසානයට හේතුවක් නොවීමට නම් දැඩි ලෙස ඖෂධ හා ප්‍රතිකර්ම අවශ්‍ය වේ.

ආචාර්ය චන්න ජයසුමන පවසන පරිදි අද අපේ රටේ දිස්ත්‍රික්ක 14ක මේ කෘෂිකාර්මික වකුගඩු රෝගය දැන් පැතිර යමින් තිබේ. අනුරාධපුරය, පොලොන්නරුව, වවුනියාව, කුරුණෑගල, පුත්තලම, මොනරාගල, බදුල්ල, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකළපුව, මහනුවර, හම්බන්තොට යන දිස්ත්‍රික්ක ඊට අයත්ය. ඔහුගේ පර්යේෂණ අනුව මේ බොහෝ දිස්ත්‍රික්කවල ජනතාවගෙන් සියයට 10කට පමණ මේ දරුණු රෝගයට ගොදුරු වී තිබේ. වයස අවුරුදු 18 – 70 අතර අය ඒ අතර වැඩිපුර සිටිති.

වෛද්‍ය චන්න ජයසුමන අවධාරණය කර ඔප්පු කර පෙන්වන්නේ මේ රෝගයට ප්‍රධාන හේතුව ‘රවුන්ඩ් අප්’ වැනි ‘ග්ලයිෆොසේට්’ අඩංගු පලිබෝධනාශක බවයි. පේරාදෙණිය සරසවියේ පශ්චාද් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අයන්ති නවරත්න මහත්මිය කළ අලුත්ම පර්යේෂණයක් අනුව මේ ‘ගල්යිෆොසේට්’ අඩංගු කෘෂි රසායනික බහුල ලෙස තනුක කර මීයන්ට ලබාදුන් පසු මීයන්ගේ වකුගඩුවල වෘක්කානු ඇතුළත වකුගඩු රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති. මේ අනුව වෛද්‍ය චන්න ජයසුමන පවසන්නේ තම මතය නිවැරැදි බවයි. ඒ අනුව එම විෂ රසායනික නිපදවූ ‘මොන්සැන්ටෝ’ සමාගමට විරුද්ධව නීතිමය පියවර ගැනීමට ද වෛද්‍ය චන්න ජයසුමන පියවර ගනිමින් සිටී.

මේ රෝගය අත්විඳින ගොවි ජනතාව වෙනුවෙන් අපට කරුණු දැක්වූ පොලොන්නරුව කවුඩුල්ලේ ගොවි නායක ප්‍රගතිශීලී ගොවි සංවිධානයේ ලේකම් එම්. කේ. ජයතිස්ස මහතා පැවසුවේ රජය ක්‍රියාවට නංවා ඇති ජලය පිරිසුදු කර දීමේ RO ඒකක නිසා ඔවුන්ට දැන් පිරිසුදු කළ ජලය ලැබෙන බවයි.

දැන් අපි පිරිසුදු කරපු වතුර ලීටරයක් රුපියලක් දීලා ගන්නවා. මාසෙකට වතුරට රුපියල් 400ක් විතර යනවා. ඒත් කමක් නෑ දැන් ඒ වතුර බිව්වහම හන්දි අමාරුවනම් තරමක් අඩු වුණා. වකුගඩු රෝගයක් අඩුවෙන බව පේනවා. රජය සෑම ගමකම ග්‍රාමීය ප්‍රජා මූල සංවිධානවලට ඒ ජලය පිරිසුදු කරන ඒකක ලබා දී තිබෙනවා. හැබැයි පච්ච පෙරුමාල් සුදු හිනැටි, පච්ච පෙරුමාල් වැනි වී වගා කර පරිසර හිතකාමී ගොවිතැන කර ඒවා අනුභව කරනවානම් හා වල්නාශක කෘමිනාශක නැතිව වගා කරනවානම් මේ රෝගය අපේ රටෙන් අඩු කරගන්න පුළුවන් වේවි.

මේ අතර රජය ‘රවුන්ඩ් අප්’ තහනම් කළත් වකුගඩු රෝගයේ අඩුවක් නැතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති එස්. එම්. ජි. සමරකෝන් මහතා පවසයි. ලෙඩේ එන්න එන්න වැඩියි. වතුර ලීටරයක් රුපියල් 2 – 3 ට අරන් තමයි මේ පැත්තේ අය බොන්නෙ. ඔහු කියයි.

මේ උතුරුමැද වකුගඩු රෝගය පිළිබඳව මහාචාර්ය ශාන්ති මෙන්ඩිස්, මහාචාර්ය නලින්ද සිල්වා, මහාචාර්ය ජනිතා ලියනගේ මහාචාර්ය ඊ. ඉලේපෙරුම, මහාචාර්ය ජේ. එම්. එස්. බණ්ඩාර, වෛද්‍ය චන්න ජයසුමන, විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්වත් කණ්ඩායම් තුනක් පර්යේෂණ කර ඇත.

ඒ අනුව ලැබී ඇති දරුණුම නිගමනය වන්නේ මේ රෝගය නිසා දැනට වසරකට පුද්ගලයන් 1200 – 2000 අතර පිරිසක් මරණයට පත්වන බවයි. මේ ප්‍රමාණය දිනකට 8 – 15 අතර පිරිසක් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසා තිබිණි.

ඉහත විද්වත් පර්යේෂණ අනුව අවසාන නිගමනය වී ඇත්තේ මෙරටට ගෙන්වන මෙරට ගොවි ජනතාව බහුලව පාවිච්චි කරන වල්නාශක කෘමිනාශක හා රසායනික පොහොර මඟින් ආසනික් කැඩ්මියම් හා රසදිය වැනි බැර ලෝහ අපේ පාවිච්චියට ගන්නා ජලයට හා ආහාරවලට මිශ්‍ර වී ශරීරගත වෙන බවයි. ඒ සමඟම මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසන්නේ ආසනික් කැඩ්මියම් මෙන්ම ජලයේ පවතින කිවුල ද මේ රෝගයට ප්‍රධාන හේතුවක් බවයි.

මේ විද්වත් පර්යේෂණ කණ්ඩායම්වල විද්‍යාඥයන්ගේ තීරණ අනුව මේ රෝගය වැළැක්වීමට ප්‍රධාන ලෙසම කළ යුතු දේ වන්නේ රෝගය ඇති ඉහත සියලු දිස්ත්‍රික්කවල ජනතාවට පිරිසුදු පානීය ජලය ජලප්‍රවාහන ක්‍රම මඟින් ලබාදීමයි. ඒ සමඟම රටේ සැමටම පිරිසුදු පානීය ජලය ලබාදීමේ ජාතික වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැංවීමට රජය කටයුතු කළ යුතු බව ද එම විශේෂඥයෝ පෙන්වා දී ඇත. ඊට අමතරව මෙරටට ගෙන්වන වල්නාශක, කෘමිනාශක හා රසායනික පොහොරවල ප්‍රමිතිය පිළිබඳව ප්‍රමිතිගත පර්යේෂණ කළ යුතු බව ද රජයේ රෝහල්වල රුධිර කාන්දුකරණ පහසුකම් වැඩිකළ යුතු බව ද එම පර්යේෂණ කළ යුතු බවද එම පර්යේෂණ අනුව පෙන්වා දී ඇත.

මෙරට වකුගඩු රෝගය බහුලව ඇති ප්‍රදේශවල ජනතාවට පිරිසුදු පානීය ජලය ලබාදීමට ජලය පිරිසුදු කරන ඒකක රජරට හා වයඹ පළාත්වල ව්‍යාප්ත කිරීමට වකුගඩු රෝගය වැළැක්වීම් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය කටයුතු කර ඇත. ඒ සමඟම මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියෙන් රජරටට මධ්‍යම හා වයඹට හා නැගෙනහිරට ඇතිතරම් පිරිසුදු පානීය ජලය ලබාදීමට කටයුතු කරමින් සිටී. ඊට අමතරව, මහ නගර පානීය ජල සම්පාදන ක්‍රම ද ක්‍රියාවට නංවා තිබේ. ප්‍රධාන නගරවල වකුගඩු රුධිර කාන්දුකරණ ඒකක ඉදිකිරීම ද වැඩි කර තිබේ.

ඒ අනුව වකුගඩු රෝගය වැළැක්වීමට හා සුව කිරීමට රජය ගෙන ඇති පියවර ප්‍රශංසනීය වේ. ඒත් රෝගය නම් තවමත් දරුණු ලෙස පැතිරෙමින් තිබෙන බව ද ඒ ප්‍රදේශවාසීන්ගේ මතය වී ඇත.


වතුර නොබී කුඹුරු වැඩ කළොත් වකුගඩු රෝගය දරුණු වෙනවා

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා මහාචාර්ය සී.බී. දිසානායක

අද අපේ කෘෂිකාර්මික වකුගඩු රෝගය රටේ දිස්ත්‍රික්ක 13 – 14ක පැතිරි තිබෙනවා. මා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් වසර ගණනාවක් කළ පර්යේෂණ අනුව පැහැදිලි වූයේ මේ වකුගඩු රෝගයට ජලයේ කිවුල පොළොවේ ඇති ෆ්ලෝරයිඩ් සංයුතිය ප්‍රධාන හේතුව බවයි. අප කළ පර්යේෂණ අනුව අපේ රටේ පොළොවේ ෆ්ලොරයිඩ් සංයුතිය වැඩි ප්‍රදේශවල වකුගඩු රෝගීන් වැඩි වී තිබුණා. නියඟ කාලයට කුඹුරු වැඩ කරන ගොවින් වතුර අඩුවෙන් බීවොත් රෝගය දරුණු වෙනවා.

අපි වසර ගණනාවක් කළ පර්යේෂණ අනුව වියළි කලාපයේ නියඟ කාලවල වැව්වල ජලය බීමෙනුත් මේ රෝගය වැලඳීමට ඉඩකඩ ඇතැයි පෙන්නුම් කර තිබෙනවා. වියළි කාලයට වැව්වල ජලය වැඩිපුර වාෂ්පිකරණය වෙනවා. භූගත ජලයත් වැවට එකතු වෙන්න පුළුවන්. ඒ කාලෙට වියළි කලාපයේ අයට බොන්න තිබෙන පිරිසුදු ජලයත් අඩුයි. මේ කාලේ ගොවි ජනතාව කුඹුරේ වැඩකරන විට වායුගෝලයේ උෂ්ණත්වය වැඩි නිසා ශරීරයෙන් වැඩි ජල ප්‍රමාණයක් දහඩිය ලෙස වාෂ්පිකරණය වෙනවා. පිරිසුදු ජලය අඩු නිසා මේ වියළි කාලවලදී අපේ ගොවි ජනතාව ජලය පානය කරන්නෙ ඉතා අඩුවෙන්. තිබෙන ජලයත් ජල දූෂණයට ලක්වීම නිසා ඒ ජලයේ රස වෙනස්. මේ නිසාත් අපේ ගොවි ජනතාව ජලය පානය කිරීම කරන්නේ අඩුවෙන්. සාමාන්‍ය ගොවි මහතෙක් මේ වියළි කාලයේ ජලය ලීටර් 3-5ක් අතර දවසකට බීම අවශ්‍යයි. නමුත් පැය 6 – 7ක් කුඹුරුවල වැඩ කරන උතුරුමැද ගොවින් බොන්නේ ජලය සල්ලිවලට අරන්. එහෙත් ඔවුන් දවසකට ජලය එක ලීටරයකට වඩා බොන්නෙ නැහැ.


පිරිමි දස දෙනකුගෙන් තුන්දෙනකුටම රෝගය වැලඳිලා

 පදවිය දේශීය ගොවි සංවිධානයේ සභාපති සමන් ප්‍රසන්න

1990 අපි කුඹුරු වැඩ පටන්ගන්න කොට වතුර බිව්වේ කුඹුරෙ දෙපාවෙන් එහෙම නැත්නම් ගෙදර ළි‍ඳෙන්. 1993-94 වෙනකොට මේ ලෙඩේ පොඩ්ඩ පොඩ්ඩ තිබුණා. ඒකට ඒ කාලෙ කිව්වේ ‘උණ අරන් ඉදිමිලා මැරෙන ලෙඩේ’ කියලා. 1998 වෙනකොට දෙපාවේ වතුර, ළි‍ඳේ වතුර බොන්න බැරිවුණා. ඒවායේ කිවුල වැඩි වුණා. ඉන් පස්සේ කුඹුරට යනකොට ජලය පිරිපහදු කරන ස්ථානයකින් ජලය සල්ලි දීලා අරන් යන්න සිදු වුණා. පදවිය ප්‍රදේශයේ ඒ කාලෙ 17000ක විතර ජනතාවක් සිටියා. නමුත් දැන් ඒකෙන් 3000ක් විතර වකුගඩු රෝගය නිසා මැරිලා.

මේ වකුගඩු රෝගය දැන් අපේ ප්‍රදේශයේ පිරිමි 10 දෙනෙකුගෙන් තුන් දෙනකුටම වැලඳිලා. මේකට අපිට පේන විධියට නම් ප්‍රධාන හේතුව ‘රවුන්ඩ් අප්’ වගේ ග්ලයිෆොසේට් ප්‍රධාන කෘමිනාශක බව අපිට අත්දැකීමෙන් කියන්න පුළුවන්. අපේ පැත්තේ කෘමිනාශක හා වල්නාශක ගහන පොම්පකරුවන් 10 දෙනෙක් ඉන්නවා. ඒ සියලු දෙනාටම දැන් මේ කෘෂිකාර්මික වකුගඩු රෝගය හැදිලා.

වැඩියෙන්ම මේ රෝගයට ගොදුරු වී ඇත්තේ ගම්වල වසර 30 – 40ක් කුඹුරු වැඩ කරපු ක්‍රියාශීලි අවුරුදු 40 – 70 අතර පුද්ගලයන්. අපේ ගමේ මරණාධාර සමිතියේ ලේකම් අපේ ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික පසුගිය දිනවල මේ ජරා ලෙඩෙන් මරණයට පත්වුණා.

මේ රෝගය මේ පැත්තේ පවුලේ ගෘහමූලිකයාට වැලඳුණු විට මුළු පවුලම අනාථයි. අද රජරට ප්‍රදේශවල පදවිය තිරප්පනේ වගේ ප්‍රදේශවල පිරිමි අඩුයි. ඒ අය ගොඩක් වකුගඩු රෝගය හැදිලා මැරිලා. ශ්‍රම බළකාය නැහැ. කුඹුරු කරන්න සෙනඟ නැහැ.


රෝගයෙන් බේරීමට හොඳම මඟ වකුගඩු පරීක්ෂා කර ගැනීමයි

 ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ,විශේෂඥ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ

සාමාන්‍යයෙන් අවශ්‍ය අයකුට තමන්ගේ වකුගඩු නිරෝගී ද යන්න රුධිර පරීක්ෂණයක් මඟින් පරීක්ෂා කරගත හැකිය. එම රුධිර පරීක්ෂණය සීරම් ක්‍රියැටිනීන් නමින් හඳුන්වනු ලබන අතර එතරම් මිලක් වැය නොවන පරීක්ෂණයකි. මෙම පරීක්ෂණය හෝ මූත්‍ර පරීක්ෂණයක් මඟින් ඇල්බියුමින් පරීක්ෂා කරගැනීම ද වකුගඩු රෝග කලින් හඳුනාගන්නට ඉතා සාර්ථක ලෙස උපකාර කරනු ලබන ක්‍රම දෙකකි. නමුත් මෙහිදී සෑම සියලු දෙනාම මේ පරීක්ෂාවන් සිදු කරවා ගැනීම කළ යුතු යැයි පැවසිය නොහැකිය. මෙය සිදු කරවා ගැනීමට අනිවාර්යයෙන් අමතක නොකළ යුතු පිරිසක් වේ. ඒ අප පෙර කී පරිදි දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදය වස්තුවේ රෝග සහ කොලෙස්ටරෝල් අධිකතාව ඇති පුද්ගලයන් මෙන්ම බෲෆන් වැනි ඖෂධ දිගුකාලීනව ලබාගන්නා පුද්ගලයන්, මේ පරීක්ෂණය වසරකට වතාවක් අනිවාර්යයෙන් සිදුකරවා ගැනීම වැදගත්ය. ඒත් තමන්ට රෝගයක් නැතත් සමහර පුද්ගලයන්ට මෙම රුධිර පරීක්ෂාව කරගන්නා ලෙස උපදෙස් දිය යුතුව තිබෙන අවස්ථා ද තිබේ. ඒ පවුලේ කිසියම් අයෙකුට තීව්‍ර ලෙස වකුගඩු රෝගය වැලඳී පසුවන්නේ නම්, එයින් මරණයට පත්ව තිබේ නම්, තමන්ට රෝග ලක්ෂණ නොපැවැතියත් මෙම රුධිර පරීක්ෂණය හෝ මූත්‍රා පරීක්ෂණය සිදුකරවා ගැනීම වැදගත්ය. එමෙන්ම වකුගඩු රෝග බහුල ප්‍රදේශවල ජීවත්වන්නන් ද රෝග ලක්ෂණ ගැන නොසොයා මෙම රුධිර පරීක්ෂණයට මුහුණ දී තම වකුගඩුවල නිරෝගීතාව පරීක්ෂාව කරවාගැනීම වැදගත්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles