Thursday, May 19, 2022

නොමරා මරණ අලි-ඇතුන් තවත් ඉතිරි වේවිද?

හීලෑ අලි – ඇතුන් හිමිකරුවන්ගේ සංගමය පසුගිය කාලය පුරාම අවධාරණය කළේ අලි පැටවුන් ලඟ තබා ගැනීමට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම හා වනාන්තරයෙන් අල්ලා අලි – ඇතුන් හීලෑ කිරීමට අවස්ථාව ලබා නොදීම හේතුවෙන් හීලෑ අලි පරපුර සීග‍්‍රයෙන් අභාවයට යමින් පවතින බව ය. මේ නිසා පෙරහැර ඇතුළු සංස්කෘතික කටයුතු සඳහා හීලෑ අලි – ඇතුන්ගේ විශාල හිඟයක් මතුව තිබෙන බවත් ඔවුන් අවධාරණය කර සිටී.
මේ නිසා අප විසින් පසුගිය කාලය තුළ දී හීලෑ අලි පරපුර මුහුණපා ඇති ගැටළු පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කරන ලදී. එහි දී අනාවරණය වූයේ හීලෑ අලි – ඇතුන් නිසි පරිදි රැක බලා නොගැනීම හේතුවෙන් එම සතුන්ගේ ගහණය සීග‍්‍රයෙන් අඩු වෙමින් පවතින බව ය.
සාමාන්‍යයෙන් වසරකට හීලෑ අලි – ඇතුන් 3 ත් 4 ත් අතර ප‍්‍රමාණයක් මිය යාම සිදු වේ. නමුත් එම සතුන්ගේ හිඟය මඟහැරවීමට පින්නවල අලි අනාථාගාරයෙන් විහාරස්ථාන හා දේවාල වලට පසුගිය කාලය මුළුල්ලේම අලි – ඇතුන් භාර දීම සිදු කර තිබේ. නමුත් අපගේ අධ්‍යයනයට අනුව තහවුරු වූයේ 2006 හා 2009 අතර වසර තුනක කාලය තුළ දී හීලෑ අලි – ඇතුන් 95 ක් පමණ මරණයට පත් ව ඇති බව ය. එම වසර තුන තුළ වසරකට සාමාන්‍යයෙන් හීලෑ අලි – ඇතුන් 30 ක් පමණ මරණයට පත් ව තිබේ. එය ඉතා විශාල අගයකි. සාමාන්‍යයෙන් වසරකට මිය යන හීලෑ අලි – ඇතුන් ප‍්‍රමාණය මෙන් දස ගුණයකින් පමණ වැඩිහිටි හීලෑ අලි – ඇතුන් එම වසර තුන තුළ මිය යාම සිදු වී ඇත. මේ පිළිබඳව විශේෂයෙන් අවධානයට ලක් කළ යුතු අතර එ් පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදු කළ යුතු ව ඇත.
මෙම වසර තුන තුළ දී මිය ගොස් ඇත්තේ පැටවුන් බිහි කිරීමේ හැකියාව පවතින තරුණ වයසේ පසු වන අලි – ඇතුන් වීම විශේෂත්වයකි. කෙටි කාලයක් තුළ දී මෙපමණ සතුන් ප‍්‍රමාණයක් මිය යෑම හීලෑ අලි – ඇතුන් හිඟ වීමට ප‍්‍රධාන හේතුවකි. එ් තත්ත්වය ඇති වී ඇත්තේ නිසි පරිදි සතුන් පෝෂණය නොකිරීම, ලෙඩ රෝග වලට නිසි පරිදි ප‍්‍රතිකාර නොකිරීම, දැඩි ලෙස හිංසනයට ලක් කිරීම හා ප‍්‍රමාණය ඉක්මවා වැඩෙහි යෙදවීම යන හේතු නිසා වෙනි.
මේ වන විට විවිධ පුද්ගලයින් සතුව නීති විරෝධීව ලඟ තබාගෙන සිටින අලි පැටවුන් 47 ක් පමණ සිටී. ඉන් පැටවුන් 20 ක් පමණ මේ වන විට අත් අඩංගුවට ගෙන නීතිය කි‍්‍රයාත්මක කරමින් ඇති අතර එම සියළු අලි පැටවුන්ගේ මව් සතුන් මිය ගොස් ඇති බවට වාර්තා ඉදිරිපත් කර බලපත‍්‍ර සැකසීම සිදු කර තිබේ. අලි පැටවුන් ලියාපදිංචි කළ බලපත‍්‍ර 22 ක් සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් සිදු කළ විගණන විමසුම් වාර්තා වලට අනුව තහවුරු වී ඇත්තේ එම සියළු අලි පැටවුන්ගේ මව් සතුන් 2006 හා 2009 වසර වල මිය ගිය 1 බව සඳහන් කරමින් වාර්තා ඉදිරිපත් කර බලපත‍්‍ර ලබා ගෙන ඇති බව ය. මේ අනුව ද තහවුරු වන්නේ හීලෑ අලි – ඇතුන් හිමිකරුවන්, පැටවුන් බිහි කිරීමේ හැකියාව පවතින තරුණ වයසේ පසු වන සතුන් ව පවා නිසි පරිදි රැුක බලා නොගැනීම හේතුවෙන් එම සතුන් පැටවුන් බිහි කර කෙටි කාලයක් තුළ තරුණ වයසේ දීම මිය යෑම සිදු වී ඇති බව ය. ඉන් තහවුරු වන්නේ ද හීලෑ අලි – ඇතුන් හිඟයට ප‍්‍රධාන හේතුව නිසි පරිදි එම සතුන් රැුක බලා නොගැනීම නිසා මහළු වියට පත් වීමට ප‍්‍රථම මිය යෑම ය.
අපගේ අධ්‍යයනයට අනුව අනාවරණය වූයේ අද වන විට හීලෑ අලි – ඇතුන් බහුල ව යොදා ගන්නේ හොර දැව ජාවාරම් සඳහා හා සංචාරක කටයුතු සඳහා බව ය. රත්නපුර, කෑගල්ල හා කළුතර දිස්ති‍්‍රක්ක වල බහුල ව හීලෑ අලි – ඇතුන් යොදා ගනු ලබන්නේ රක්ෂිත වනාන්තර තුළ සිදු කෙරෙන හොර දැව ජාවාරම් කටයුතු සඳහා ය. අලි – ඇතුන් ආධාරයෙන් වනාන්තර තුළ කපන දැව ප‍්‍රවාහනය කිරීම මෙම ප‍්‍රදේශ වල බහුල ව සිදු කෙරේ.
හබරණ, සීගිරිය, කණ්ඩලම හා පින්නවල යන ප‍්‍රදේශවල මේ වන විට හීලෑ අලි – ඇතුන් 55 ක් පමණ සංචාරක කටයුතු වල යොදා ගැනීම සිදු කරයි. සංචාරකයින් පිට මත රැුගෙන යාම සඳහා මෙම සතුන් ව විවිධ සංචාරක හෝටල් වල හා 4සංචාරක පහසුකම් සපයන ස්ථාන වල රදවා තබමින් දහවල් කාලය පුරාම නිසි පෝෂණයක් ලබා නොදෙමින් හිංසාකාරී ලෙස සංචාරක කටයුතු වල යොදවනු ලැබේ. මෙම සතුන්ගෙන් වැඩි ප‍්‍රමාණයක් පෙරහැර පවතින කාල වල දී එ් සඳහා යොදා ගැනීමකින් තොරව සංචාරක කටයුතු වල පමණක් යෙදවීම සිදු කරයි.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනතේ 22අ වගන්තියට අනුව හීලෑ අලි – ඇතුන් ලියාපදිංචි කිරීමේ දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන බලපත‍්‍රයේ සඳහන් වන්නේ මෙම සතුන් පෙරහැර හා සංස්කෘතික කටයුතු සඳහා පමණක් යොදා ගත හැකි බව ය. කොටන් ඇදීම හෝ සංචාරක කටයුතු වල යෙදවීමේ හැකියාවක් එම බලපත‍්‍රයට අනුව නොමැත. නමුත් දැනට හීලෑ අලි – ඇතුන්ගෙන් 90% ක්ම හිංසාකාරී ලෙස කොටන් ඇදීමේ හා සංචාරක කටයුතු වල යෙදවීම සිදු කරයි. එහෙත් ඊට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මෙතෙක් සිදු වී නොමැත.
සත්ත්ව හිංසා වැළැක්වීමේ පනතට අනුව අලි – ඇතුන් ව හිංසාකාරී ලෙස කොටන් ඇදීමේ යෙදවීම හා සංචාරක කටයුතු වල යෙදවීමේ හැකියාවක් නොමැත. නමුත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෝ පොලිස් නිලධාරීන් විසින් අලි – ඇතුන් හිංසාකාරී ලෙස වැඩෙහි යෙදවීමට එරෙහිව හෝ හිංසාකාරී ලෙස සංචාරක කටයුතු වල යෙදවීමට එරෙහිව නීතිමය කටයුතු සිදු කිරීමක් මෙතෙක් සිදු කර නොමැත. මේ නිසා බොහෝ හීලෑ අලි – ඇතුන් හිමිකරුවන් කිසිදු බාධාවකින් තොරව මෙම සතුන් ව කොටන් ඇදීම හා සංචාරක කටයුතු වල යෙදවීම ඉතාම හිංසාකාරී ලෙස සිදු කරති.
පින්නවල අලි අනාථාගාරයෙන් විහාරස්ථාන වලට හා දේවාල වලට අලි – ඇතුන් භාර දීම සිදු කරනු ලබන්නේ පෙරහැර වැනි සංස්කෘතික කාර්යයන් සඳහා යොදා ගැනීමට පමණි. නමුත් එම සතුන්ව ද බහුලව සංචාරක කටයුතු වල හා කොටන් ඇදීමේ කාර්යයන් සඳහා යොදා ගනු ලැබේ.
පින්නවල අලි අනාථාගාරයෙන් විහාරස්ථාන වලට හා දේවාල වලට එම සතුන්ගේ භාරකාරත්වය පැවරුව ද එම සතුන් රදවා තබා ගෙන සේවයෙහි යෙදවීම සිදු කරන්නේ විවිධ ව්‍යාපාරිකයින් විසිනි. එම විහාරස්ථාන වලින් හා දේවාල වලින් එම ව්‍යාපාරිකයන්ට අලි – ඇතුන් ලබා දී මුදල් ලබා ගනී. මෙය නීති විරෝධී කි‍්‍රයාවකි. නමුත් එ් පිළිබඳව නිසි පරිදි පරීක්ෂා කර බැලීමක් හෝ එවන් නීති විරෝධී කි‍්‍රයා වල නිරතවන විහාරස්ථාන වල හෝ දේවාල වල අලි – 3ඇතුන්ගේ භාරකාරත්වය නැවත පින්නවල අලි අනාථාගාරයට ලබා ගැනීමක් හෝ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් මෙතෙක් සිදු වී නොමැත. එ් පිළිබඳව ලැබෙන පැමිණිලි වලට අනුව මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ ස්ථානවලට ගොස් පරීක්ෂා කර බලා නීති විරෝධී කි‍්‍රයා වල නිරත වන අයට අවවාද කිරීම පමණක් සිදු කරති. මේ නිසා කිසිදු බාධාවකින් තොරව මෙම ව්‍යාපාරිකයින් අලි – ඇතුන් හිමිකරුවන් ලෙස කි‍්‍රයාකරමින් මෙම සතුන් ව හිංසාකාරී ලෙස කොටන් ඇදීමේ හා සංචාරක කටයුතු වල යොදවමින් මුදල් උපයති.
අද වන විට හීලෑ අලි පරපුර මුහුණපා තිබෙන තවත් ප‍්‍රධාන ඛේදවාචකයක් වන්නේ පුහුණු, පාරම්පරික අලි බලන්නන් නැතහොත් ඇත්ගොව්වන් හිඟ වීම ය. මේ නිසා බොහෝ විට අලි බැලීම සිදු කරන්නේ නුපුහුණු කම්කරුවන් වැනි පුද්ගලයින් ය. විශේෂයෙන් ලාබාල වයසේ පසුවන පුද්ගලයින් අලි බලා ගැනීමේ යොදවනු ලැබේ. මේ නිසා එම සතුන්ට හිංසාකාරී තත්ත්වයන්ට නිතර ගොදුරු වීමට සිදු වේ. මේ නිසා ද හීලෑ අලි – ඇතුන් බහුල ව මිය යාමට ලක් වේ.
එපමණක් නොව පාරම්පරික අලි – ඇතුන් හිමිකරුවන් වෙනුවට අද වන විට මහ පරිමාණ ව්‍යාපාරිකයින් හීලෑ අලි – ඇතුන්ගේ හිමිකරුවන් වීම නිසාවෙන් මෙම සතුන් නිසි පරිදි රැක බලා ගැනීම, පෝෂණය කිරීම, පෙරහැර වැනි සංස්කෘතික කටයුතු වල යෙදවීම හා පැටවුන් බෝ කිරීමේ යෙදවීම වෙනුවට සිදු වනුයේ කොටන් ඇදීමට හා සංචාරක කටයුතු වලට මෙම සතුන් යොදවමින් මුදල් ඉපයීමය. මේ නිසා ඊට සමගාමී ව අද වන විට අලි පැටවුන් ජාවාරම්කරුවන් ද වර්ධනය වී තිබේ. අද වන විට හීලෑ අලි – ඇතුන්ගේ භාරකාරත්වය හා හීලෑ අලි – ඇතුන් හිමිකරුවන්ගේ සංගමයේ මූලිකත්වය දරන්නේ ද මෙම ජාවාරම්කරුවන් ය. ඔවුන්ගේ අලි – ඇතුන් ජාවාරම් සඳහා බාධා එල්ලවන විට පෙරහැර සඳහා හීලෑ අලි – ඇතුන් හිඟ බව සඳහන් කරමින් සමාජය හා නිලධාරීන් මුලා කිරීමට දැඩි වෙහෙසක් ගනිති.
මේ නිසා අප අවධාරණය කරන්නේ හීලෑ අලි – ඇතුන් රැකබලා ගැනීමේ නිවැරදි ක‍්‍රමවේදයක් හා ප‍්‍රතිපත්තියක් රට තුළ කි‍්‍රයාත්මක කළ යුතු බවය. එය පසුවිපරම් කිරීමේ නිසි යාන්ත‍්‍රණයක් ද ඇති කළ යුතුව ඇත. එපමණක් නොව හීලෑ අලි – ඇතුන්ගේ සුරක්ෂිතභාවය ඇති කිරීම සඳහා නීති විරෝධීව රදවා තබාගෙන සිටින සියළුම අලි – ඇතුන් අත් අඩංගුවට ගෙන නීතිය කි‍්‍රයාත්මක කිරීම හා එම සතුන්ව නිසි පරිදි පුනුරුත්තාපනය කිරීම ද කළ යුතු ය. මීට අමතර ව හිංසාකාරී ලෙස අලි – ඇතුන්ව කොටන් ඇදීමේ හා සංචාරක කටයුතු වල යෙදවීම වහාම නතර කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගත යුතුව ඇත. අලි ගහනයේ සුරක්ෂිතාව උදෙසා හීලෑ අලි – ඇතුන් බෝ කිරීමේ විධිමත් කි‍්‍රයාවලියක් ඇති කළ යුතු අතර ස්වාභාවික අලි ගහනයේ පැවැත්මට මොනයම් ආකාරයක හෝ බලපෑමක් ඇති වන ආකාරයෙන් අලි – ඇතුන් හීලෑ කිරීමේ කටයුතු සිදු නොකිරීමට කටයුතු සම්පාදනය කළ යුතු ය.

සජීව චාමිකර (පරිසර සංරක්ෂණ භාරය)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles