Monday, July 4, 2022

පෙලපාලියාම සහ උද්ඝෝෂණය කිරීම අපරාධයක්ද?

නොබෝදා පත්කරන ලද ජාතික පොලිස් කොමිසම විසින් ඔක්තෝබර් මස 29 වන දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී ශිෂ්‍යයන් කණ්ඩායමකට පොලිසියේ කැරලි මර්ධන ඒකකය විසින් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම ආරම්භ කිරීම සතුටට කරුණකි. එම පරීක්ෂණ කොමිටුවේ වාර්තාව සති දෙකක් ඇතුළත නිකුත් කරනු ලබන බවට ජාතික පොලිස් කොමිසමේ ප්‍රකාශකයෙකු විසින් නිවේදනය කරන ලදි. මේ තත්ත්වය යටතේ කැරලි මර්ධන පොලීසියේ ඉහත සදහන් ප්‍රහාරය මෙන්ම පසුගිය කාලය තුළදී කැරලි මර්ධන ඒකකය විසින් කර ඇති වෙනත් ප්‍රහාරද සැලකිල්ලට ගනිමින් පොලිසිය මහජන උද්ඝෝෂණ අවස්ථා වලදී ක්‍රියාකලයුතු ආකාරය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් මෙම වාර්තාවට අඩංගුවිය යුතු යැයි සාධාරණ යෝජනාවක් කල හැකිය. මෙම ලිපියෙහි අඩංගු වන්නේ එම කරුණ පිළිබදව අදාල වන සමහර ප්‍රශ්න පිලිබදව සාකාච්ඡාවකි.

තමන් වැදගත් යැයි සළකන කරුණු සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම සෑම පුරවැසියෙකුම සතු මූලික අයිතියකි. පෙළපාලි යෑම අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයකි. ලෝකයේ සෑම රටකම මෙන්ම දෛනිකව පැවැත්වෙන පෙළපාලි ගණන අසීමිතය. නිදහස ඇති සෑම රටවල් තුළම මෙම අයිතිය ආරක්ෂා කිරීම සදහා රාජ්‍ය මැදිහත් වේ.

රජය පෙළපාලි යෑමට ඇති අයිතිය ආරක්ෂාර කරන්නේ එසේ පෙලපාලියේ යෙදෙන අය ආරක්ෂාහ කිරීමට මැදිහත්විමෙන්ය. එම ආරක්ෂා කිරීම කරන්නේ පොලිසිය මගිනි. මේ අනුව පෙළපාලි වලදී පොලිසිය සහභාගී වන්නේ පෙළපාලිකරුවන්ට ආරක්ෂාව සලසා දීම සඳහා මිස ඔවුන්ට හිරිහැර කිරීමටවත් ඔවුන් පළවාහැරීමටවත් නොවේ. පෙළපාලියට සහභාගී වන්නන්ට ඔවුන්ගේ විරුද්ධ පාර්ශවයන් විසින් හෝ වෙනත් කණ්ඩායමක් විසින් හිරිහැර කොට බාධාකරනු ලැබීම වැළැක්වීම පෙළපාලි වලට සහභාගීවන පොලිස් නිලධාරීන්ගේ රාජකාරියයි. මෙම කරුණ පිළිබදව නිසි අවබෝධයක් නොපැවතීම නිසා තමන්ගේ රාජකාරිය කුමක් දැයි නිසිලෙස අවබෝධ කොට නොගෙන කෙරෙන යම් ක්‍රියාවක් නිසා පොලිසිය පෙළපාලිවලට සහභාගී වන්නේ ඒවායෙහි ආරක්ෂවකයෙකු වශයෙන් නොව ඒවා කඩාකප්පල් කරන්නෙකු ලෙසය යන මතයක් රටපුරා පවතී. ජාතික පොලිස් කොමිසම විසින් දැන් පවත්වනු ලබන පරීක්ෂෙණය මෙම වැදගත් කරුණ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කිරීමට අවස්ථාවක් කරගත යුතුව ඇත.

මහජන පෙළපාලියක් හෝ උද්ඝෝෂණයක් හා කැරැල්ලක් අතර ඇති වෙනස මෙහිදී පැහැදිලිකර ගත යුතුව ඇත. ශබ්දකෝෂවලට අනුව ‘රයට්’ (riot) යන වචනයේ අර්ථනිරූපනය මෙසේය. රයට් යනුවෙන් හදුන්වන්නේ සිවිල් අවුලක් හෝ කළබලයකි. එය ප්‍රකාශයට පත්වන්නේ බලධාරීන්ට විරුද්ධව, දේපලවලට විරුද්ධව හෝ ජනතාවට විරුද්ධව හෝ ජන කොටසක් ප්‍රචණ්ඩව ක්‍රියාකිරීම මගිනි. මහජන පෙළපාලියක් හෝ උදඝෝෂණයක් යනු එවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවක් නොවේ. එමෙන්ම පෙළපාලියක් බලධාරීන්ට දේපල කට හෝ ජනතාවට හානි කිරීම සදහා කරන්නක් ද නොවේ. පෙළපාලියක දී සටන් පාඨ කීම හෝ විවිධ කරුණු සටහන් කරණ ලද පුවරු ඔසවාගෙන යෑම හෝ සළකන්නේ ප්‍රචණ්ඩ ක්‍රියා වශයෙන් නොව අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයන් ලෙසිනි. පෙළපාලිකරුවාගේ අරමුණ වන්නේ ඔවුන්ගේ ගමන බලාසිටින මහජනතාවගේ අවධානයට, සමහර යම් වැදගත් කරුණු ගෙන ඒමය. බොහෝ විට මහජනයා විසින් සැළකිල්ලට ගෙන නැති හෝ අවධානය යොමුකිරීමට අකමැති වන යම් කරුණක් මතක් කරදෙමින් ඒ පිළිබදව සාධනීයව ක්‍රියාකරන ලෙස ඉල්ලා සිටීම පෙළපාලිකරුවන්ගේ අරමුණ වේ.

ඒ සදහා විචිත්‍රවූ සමහර විට නාට්‍යාකාර වූත් උපක්‍රම පෙළපාලිකරුවන් පාවිච්චිකරන්නේ ඒ මගින් වඩාත් හොදින් තමන්ගේ ප්‍රකාශනය, කිරීම සදහාය. ජන අවබෝධය ඇති කිරීම මගින් ජනතා ක්‍රියාකාරිත්වයක් ඇතිකල හැකිය යන අදහසත් එසේ කිරීම මගින් තමන් මුහුණ දෙන අසාධාරණයන් හෝ වෙනත් වැරදි නිවැරදි කර ගැනීමට මහජන සහභාගීත්වයක් ඇතිකරගත හැකිය යන අදහසත්, පෙළපාලිකරුවන් මෙහෙයවනු ලබන සංකල්පයන් වේ. මේ අනුව පෙළපාලි යෑම ශිෂ්ඨසම්පන්න මහජන ප්‍රකාශනයක් වන අතර එය ප්‍රචණ්ඩ ක්‍රියාවක්වත් බලධාරීන්ට හෝ දේපලවලට හෝ ජනතාවට විනාශයක් ඇතිකිරීම සදහා කරණු ලබන ක්‍රියාවක්වත් නොවේ. මේ නිසා මෙම පෙළපාලිවල දී ඇති පොලිස් සහභාගීත්වය කැරලි මර්ධන ඒකකයක් මගින් කල යුතුද යන්න යන ප්‍රශ්නය ඇති වේ. සාමකාමී උද්ඝෝෂණයකට සාමකාමීව ආරක්ෂාව සැපයීම පොලීසියේ යුතුකම විය යුතු අතර මෙම ක්‍රියාවලියට කැරලි පිළිබද අදහසක් පටලවා ගැනීම මගින් ඇතිවන වැරදි ආකල්පයම ආරක්ෂාව වෙනුවට මර්ධනය කිරීම පිළිබද අදහසට තුඩු දෙන්නක් විය හැකිය.

දැන් ලෝකයේ බොහෝ රටවල පෙළපාලි වලට සහභාගී වන පොලිස් නිලධාරීන්, කැරලි මර්ධන ඇදුම් කට්ටල වලින් සැරසී හෝ කැරළි මර්ධනයට පාවිච්චිකරන ආයුධ ආදිය රැගෙන පෙළපාලි පවත්වන ස්ථානයන්ට නොපැමිණේ. උදාහරණයක් වශයෙන් ලංකාවට කිට්ටුවෙන් පිහිටා තිබෙන ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පොලිස් නිලධාරීන් ඉතා දැවැන්ත පෙළපාලිවලට පවා සහභාගී වන්නේ ඔවුන්ගේ සාමාන්යක නිල ඇදුමෙන් වන අතර ඔවුන් වේවැල් කැබැල්ලක් වැනි දෙයක් හැර වෙනත් ආයුධද එම ස්ථාන වලට ගෙන නොයති. මේ ආකාරයෙන් ඔවුන් සහභාගී වන්නේම තමන්ද රටේ පුරවැසියන් බවත් තමන්ට පැවරී ඇති රාජකාරිය පුරවැසියා යෙදෙන නීත්‍යානුකූල කටයුත්තක් ආරක්ෂා කිරීම සදහා පමණක් බවත් පෙන්වීමටය. වේවැලක් වැනි දෙයක් පමණක් ගෙනයන්නේද ඉතාම හදිසි අවස්ථාවදී වුවත් තමන්ගේ බලය ප්‍රමාණය ඉක්මවා යෙදීමට සූදානමක් නැති බව ප්‍රකාශයට පත්කිරීම සදහාය.

මේ පිළිබදව තවත් උදාහරණයක් නම් හොං කොං නගරය පුරා ශිෂ්‍යයන් විසින් 2014 සැප්තැම්බර් 26 සිට දෙසැම්බර් 15 වන දින දක්වා සමහර පාරවල් අත්පත් කොට ගෙන එහි රුදී සිටීමෙන් කරන ලද උද්ඝෝෂණයය. එහිදී  අතීශයින් කාර්යබහුල ලෝකයේ ප්‍රධානතම නගරයක වානිජමය වශයෙන් අතීශයින්ම වැදගත් වන්නාවූ පෙදෙසක පාරවල් ගණනාවක් මෙම ශිෂ්‍යයන් විසින් මේ කාලය පුරාම අත්පත් කර ගෙන සිටින ලදි. රාත්‍රීකාල වලදී විශාල ජනතාවක් මෙම පෙළපාලි වලට සහභාගී විය. එවැනි තත්ත්වයක් යටතේත් හොං කොං පොලීසිය ශිෂ්‍යයන්ට පහර දීමට හෝ ඔවුන් එයින් පළවාහැරීම සදහා කදුළුගෑස් ආදී විවිධ උපක්‍රම යොදාගැනීම සදහා බලධාරීන් විසින් යොදවාගත්තේ නැත. දිනපතාම පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් අදාල ප්‍රදේශවල රැදී සිටි නමුත් ඔවුන් එහි සිටියේ ආරක්ෂාකයන් වශයෙන් මිස උද්ඝෝෂණ කඩාකප්පල්කරුවන් වශයෙන් නොවේ. මෙවැනි අවස්ථාවකදී පවා පොලිසිය ප්‍රදර්ශනය කලේ උද්ඝෝෂණයක් පැවැත්වීම සදහා ශිෂ්‍යයන්ට ඇති අයිතියට ගරුකරන බවය.

පෙළපාලි හා උද්ඝෝෂණ අවස්ථා වලදී ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් ආරක්ෂා කරමින් සාමකාමී ලෙස අධීක්ෂණයේ යෙදීම කරා ලංකාවේ පොලීසිය යොමුකරවා ගැනීම සදහා කුමන ආකාරයක විධික්‍රමයක් අවශ්‍යයද යන්න ජාතික පොලිස් කොමිසම විසින් සළකා බැලිය යුතුව ඇත. මේ සදහා වෙනත් රටවල යොදා ගෙන ඇති විධික්‍රමයන් සමහරක් මෙහිදී සළකා බැලිය යුතුව ඇත.

මෙම විධික්‍රමයේ පළමුතැන ගත යුතු වන්නේ ඉහළ පොලිස් නිළධාරීන් විසින් අනිත් පොලිස් නිළධාරීන් තුළ ජනනය කල යුතු වන්නා වූ ප්‍රජාතන්ත්‍රවාදී මානසික තත්ත්වයයි. මෙම මානසික තත්ත්වය ඇති කිරීමේ එක් ප්‍රධාන සාධකයක් නම් රටේ නීතියත් විශේෂයෙන්ම රටේ මානව හිමිකම් පිළිබඳව පවතින නීතියත් පිළිබදව පොලිස් නිළධාරීන්ට ගැඹුරු අවබෝධයක් ලබාදීමය. පොලිස් නිළධාරීන් වනාහී රටේ සමස්ථ පරළි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයේ සහකරුවන් මිස එයට බාධාකරන්නන් නොවන බවට අවබෝධයක් ඇතිකල යුතුව ඇත. එම අවබෝධය තුළින් ඇතිකරන මානසික තත්ත්වයක් තුලින් උද්ඝෝෂණ හා පෙළපාලි පිළිබදව සාධනීයව බැලීමේ හැකියාවක් මෙම නිළධාරීන් තුළින් ඇති කල යුතුය.

යම් හදිසි තත්ත්වයක් යටතේ යම් මර්ධනකාරී ක්‍රියාවක් කිරීමට සිදුවුව හොත් එසේ කිරීමේ දී පිළිපැදිය යුතු ක්‍රියා පටිපාටියද පැහැදිලි කරගත යුතුය. එවැනි අවස්ථාවක පෙළපාලිකරුවන් හා පොලිස් නිළධාරීන් අතර පැවතිය යුතු සාකච්ඡාව කුමක්ද? මෙහිදී අණ දීමේ ක්‍රියාවලිය කරන්නේ කුමන අකාරයකින්ද? යන්නද වැදගත් කරුණකි. මෙවැනි අවස්ථාවකට සම්බන්ධවන නිළධාරීන් මෙහෙයවන ඉහළ නිළධාරීන් තුළ පැවතිය යුතු සමාජමය මෙන්ම දේශපාලන අවබෝධයත් යම් හදිසි අවස්ථාවක් ඇතිවුව හොත් එයට ප්‍රචණ්ඩව සහභාගී නොවී සාමකාමී තත්ත්වයකට පත්කරගන්නා අකාරය සම්බන්ධයෙනුත් ඉතාම සුවිශේෂ අවස්ථාවකදී අත්අඩංගුවට ගැනීම වැනි ක්‍රියාවක් කරන්නේ නම් එය සාධාරණව හා ආචාරශීලීව කිරීම මාර්ගයෙන් වැඩි කැළඹීමක් ඇතිවීමට ඉඩ නොදෙන තත්ත්වයක් ඇතිකරගන්නේ කෙසේද? සම්බන්ධයෙනුත් මෙම නිළධාරීන් තුළ අවබෝධයක් හා හැකියාවක් පැවතිය යුතුය.

මෙවැනි අවස්ථාවකදී කදුඑ ගෑස් හා ජල ප්‍රහාර ආදිය සම්බන්ධයෙන් ද ක්‍රියාකලයුතු ආකාරයන් පිළිබදව ද වඩා පැහැදිලි අවබෝධයක් ඇතිකල යුතුව ඇත. එවැනි ක්‍රියාමාර්ගයන් ගතයුතු වන්නේ මුළුමනින්ම පාලනය කරගත නොහැකි වන්නාවූ තත්ත්වයන් යටතේ වන අතර එම අවස්ථා වලදීද මේ පිලිබදව වගකීමෙන් යුතුව හා සාධාරණව ක්‍රියාත්මක කරන ඉහළ නිළධාරීන්ගේ මගපෙන්වීම යටතේ පමණක් එවැනි ක්‍රියා සිදුවිය යුතුව ඇත.

ඔක්තෝබර් 29 දින සිද්ධියේ දී ශිෂ්‍යයන් 39 දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදි. එසේ අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවයක් පැවතුනේද යන්න සම්බන්ධව විභාග කලයුතුය. පෙළපාලි හෝ උද්ඝෝෂණවලට සහභාගී වන්නන් අත්අඩංගුවට ගැනීමක් සිදු කරන්නේ කිසියම් අයෙකු විසින් ඉතා පැහැදිලිව කිසියම් නීතිවිරෝධී ක්‍රියාවක් කළහොත් පමණි. රටේ වෙනත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම පිළිබදව හා පෙළපාලිකරුවෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පවතින නීතිය එකමය. පෙළිපාලිකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විශේෂ නීතියක් නොපවතී. අත්අඩංගුවට ගැනීම සාධාරණය කිරීම සම්බන්ධව යම් අපරාධයක් කරතිබීම අවශ්‍යෙවේ. යම් පෙළපාලිකරුවෙකු අත්අඩංගුවට ගත හොත් ඔහු විසින් කරතිබූ අපරාධය කුමක් දැයි පෙන්වාදීමේ හැකියාව අත්අඩංගුවට ගත් නිලධාරීන්ට ඇත්නම් පමණක් එම අත්අඩංගුවට ගැනීම සාධාරණ වේ.

මේ අකාරයෙන් පෙළපාලි හා උදඝෝෂණ වලදී පොලිස් සහභාගීත්වය කෙසේ සිදුවිය යුතුද යන්න පිළිබදව පොලිස් සේවය තුළ මෙන්ම රටේ මහජනතාව තුළද අවබෝධයක් ඇතිකල යුතු ආකාරයෙන් ක්‍රියාකිරීමේ අවශ්‍යතාවක් ජාතික පොලිස් කොමිසමට උදාවී ඇත. ඔවුන් එසේ කිරීමේදී මේ පිළිබදව අදහස් තමන් වෙත ඉදිරිපත්කරන ලෙස සියළුම මහජන සංවිධාන වලට අවස්ථාව ලබාදිය යුතුය. අතීත කාලයේදී අදාල කරුණු පිළිබදව විශාල අත්දැකීමක් මෙම සංවිධාන සතුව පවතී. මේ ආකාර සාකච්ඡාවක් මගින් කරණු ලබන තුලනාත්මක හැදෑරීමක් මගින් ජාතික පොලිස් කොමිසමේ වාර්තාව නිකුත් වුවහොත් මෙය අනාගතයේ දී රටේ සාමය හා ස්ථාවරත්වය ඇතිකර ගැනීමට උදව් වන අවස්ථාවක් වනු ඇත.

 

නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles