Wednesday, August 17, 2022

බුන්දල තුන්බිය

බුන්දල…..   දකුණු ලක සුන්දර කුරුළු පාරාදීසය…..

වර්ෂ 1993 දී ශ‍්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර රම්සා තෙත් බිම ලෙස නම් කර ජගත් අවධානය දිනාගන්නට බුන්දල ජාතික උද්‍යානය සමත්විය.

වියළි උණුසුම් දේශගුණයකට උරුමකම් කියන බුන්දල වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර 900 – 1300 ත් වන අතර සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 27 ක් පමණවේ.

කොහොලංකල, ඇබිල්ලකල, බුන්දල හා මලල යන නොගැඹුරු කලපු හතරකින් යුත් බුන්දල වනෝද්‍යානය මැදින් ඇබිල්ලකල ඔයහ ා මලල ඔය ද නැගෙනහිර මායිමෙන් කිරිදි ඔය ද ගලා බසී.

ක්ෂීරපායින් , මත්සයින් , උභය ජීවීන් හා උරගයන් මෙන්ම දේශීය කුරුළු විශේෂ කිහිපයකට වාසභූමිය වූ බුන්දල සංක‍්‍රමණික පක්ෂීන් සදහා ඉතාම හොද පාරාදීසයකි.

 

එකම උද්‍යානයක් තුළ පරිසර පද්ධතීන් කිහිපයක් දැකියහැකි සුවිශේෂී ජෛවවිවිධත්වයකින් යුත් බුන්දල ජාතික උද්‍යානය  මේ වන විට විශාල තර්ජනයකට මුහුණ පා ඇත.

ආක‍්‍රමණශීලී ආගන්තු ශාක විශේෂ වන කලපු අන්දර, කටු පතොක් ශාක විසින් ගොඩබිම් කලාපය විශාල ප‍්‍රමාණයක් ආක‍්‍රමණය කරමින් දේශීය විශේෂ අභිබවා ව්‍යාප්ත වී ඇත. තවද  හම්බු පන් හා ජපන් ජබර මගින් ජලාශී‍්‍රත ප‍්‍රදේශයන්  මුලිමනින්ම වසා ගෙන ඇත.

 

ප‍්‍රශාන්ත විමලදාස  – සහකාර අධ්‍යක්ෂ (දකුණු කලාප) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දකුණු කලාපයට අයත් බුන්දල පාතික වනෝද්‍යානය ජෛවවිවිධත්වය පැත්තෙනුත් බොහොම සුවිශේෂී ස්ථානයක්. එහි තිබෙන ජෛවවිවිධත්වය සුරකීමේදී අපට සලකා බලන්න සිද්ද වෙනවා මේ වන විටත් ව්‍යාප්ත වෙලා තියන ආගන්තුක ආක‍්‍රමණික ශාක විශේෂයෙන්ම කලපු අන්දර  (Prosopis juliflora ) හා කටු පතොක් (Opuntia dillenii)  ඒ වගේම මිරිදිය ආගන්තුක ශාකයක් ලෙස හම්බු පන් (Typha-angustifolia)  මෙම උද්‍යානයේ ව්‍යාප්ත වෙලා තියනවා. විශේෂයෙන් කලපු අන්දර තමයි වඩාත්ම ආක‍්‍රමණශීලී විදියට ව්‍යාප්ත වෙලා තියෙන්නේ. මෙහි අපි හදුනානෙ තියන ගොඩබිම් කලාපය සියයට 35 යේ කටු පදුරු හා විශාල ගස් වලින් යුත් ශාක වැස්මකින් යුක්තයි ඒ අතරින් අක්කර 2000 ඉක්මවලා  කලපු අන්දර ව්‍යාප්ත වෙලා තියනවා.

Prosopis juliflora යන විද්‍යත්මක නාමයෙන් හ`දුන්වන  කළපු අන්දර ශාකය මධ්‍යම සහ දකුණු ඇමෙරිකාව නිජබිම් කොටගත් ශාකයකි. 1950 දශකයේදී මෙම ශාකය සෙවන ගසක් ලෙස සහ පස වැඩි දියුණු කිරීමේ අරමුණෙන් හම්බන්තොට ප‍්‍රදේශයට හඳුන්වා දී ඇත

කලපු අන්දර ගස මීටර් 3 -12 උසට අතු සහිත ශාකයකි.

කොල පැහැති අතු බෝහෝ දුරට රවුම්ය, රිකිලි වල යුගල වශයෙන් හෝ තනි තනිව කටු පිහිටා ඇත.

ගැටවලින් හටගන්නා පත‍්‍ර, පත‍්‍රිකා රාශියකින් සමන්මිවිතය.සිනිඳු මදක් බූව සහිතය පති‍්‍රකා මත කෙඳි ඇත.

කොල-සුදු පැහැයක් ගන්නා පුෂ්පිකා මෝරන විට ලා කහ පැහැයට හැරේ.

නිය`ගයට සහ පසේ ලවණතාවයට ඔරොත්තු දීමේ හැකියාව හේතුවෙන් අනේ ශාක විශේෂ අබිබවා වේගයෙන් වැඞී පැතිරී ඇත.

මේ සමග තරග කල නොහැකි දේශීය ශාක විශේෂයන් හට වාසස්ථාන අහිමිවීමේ තත්වයක් මේ වන විට උදා වී ඇත.

සමස්ථ ප‍්‍රදේශයම කලපු අන්දර ගහනය වැඩිවීමත් සම`ග කටු පඳුරු සහිත පරිසරය තුල සතුන් හට ජීවත් වීමට නෙහැකි තත්වයන් නිර්මාණ වී  තිබේ.

ශාකයේ තියුණු ශක්තිමත් කටු ඇනීම නිසා ශාක භක්‍ෂක සතුන් රෝගාතුර වීම සහ මියයෑම් ද වර්තා වී  ඇත.

ඝනව වැඞී ඇති කලපු අන්දර උඩිවියනක් සේ ක‍්‍රියා කරන විට ඊට නොදවනි ලෙස කටුපතොක් යටි වියනක් ලෙස සමස්ත භූමියම ආක‍්‍රමණය කර ඇත.

දකුණු ඇමෙරිකාව නිජබිම වු කටු පතොක් ශාකය  Opuntia dillenii යන විද්‍යත්මක නාමයෙන් හ`දුන්වයි.

සාමාන්‍යයෙන් සෙ.මී. 50-100ක් උස, කලාතුරකින් මීටර් 2ක් පමණ උසකට වැඩෙන කෙලින් හෝ පැතිර වැඩෙන මාංශල ශාකයකි.

බොහෝ අතු බෙදුනු සාපේක්‍ෂව විශාල පැතලි සහ දිගැටි කඳ කොටස් සමූහයකි

1 සිට 7 දක්වා පොකුරු ලෙස සැදුනු තියුණු කටු වලින්  ගහනයි. කඳ කොටස් වල දාරයන් දිගේ අලංකාර කහ පැහැති පුෂ්ප හටගනී.

ඵලායේ මතුපිට පොකුරු වශයෙන් සෑදුනු තියුණු කුඩා කෙඳි දක්නට ලැබේ. ඒවා පැසුනු විට රතු – දම් පැහැයක් ගනී.

බුන්දලට ප‍්‍රභල ආක‍්‍රමණයක් වූ කටු පතොක් ශාකය බීජ ම`ගින් හා මාංසල කඳ කොටස් වල වර්ධක ප‍්‍රචාරණය මගින් පුණර්ජනනය වේ.

ජාත්‍යන්තර වැදගත් කමක් සහිත බුන්දල ජාතික උද්‍යානයේ ආකර්ෂණයට මෙම ආක‍්‍රමණශීලී ශාක විශේෂ ප‍්‍රභල තර්ජනයක් වී ඇත. එම නිසා සංචාරක කර්මාන්තයට සිදුවී ඇති බලපෑම සුළුපටු නොවේ.

ඒ . ඩබ් . පී. කමිල් ප‍්‍රසංග –  කෙෂත‍්‍ර නිළධාරී , වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

බුන්දල ජාතික උද්‍යානයේ කලපු අන්දර හා කටු පතොක් ශාකය නිසා මේ වන විට විදේශීය සිට පැමිණෙන සංචාරක පක්ෂීන්ගේ විශාල ලෙස  අඩුවීමක් සිදුවී තිබෙනවා. එමෙන්ම දේශීය සිටින පක්ෂීන්ගේ ආහාර හා කැදලි වලට ඇති බලපෑම නිසා සංචාරක කර්මාන්තය බොහෝ ලෙස පහත වැටී තියනවා.

බුන්දල ජාතික උද්‍යානයේ අවට සංචාරක කර්මාන්තය තුළින් තම ජීවනෝපාය සකස්  කරගත් පිරිස් සදහා මෙම ආක‍්‍රමණික ශක ප‍්‍රභල මරු පහරක් වී ඇත.

 

සරත් ගාමිණී ගලප්පත්ති  – සංචාරක මගපෙන්වන්නෙක් , බුන්දල

මගේ වයස අවුරුදු 50 ක් වෙනවා. මේ අවුරුදු 50 ක කාලය තුළ මේ ගමේ සංචාරක ව්‍යාපාරය මුලින්ම ඉතා ලස්සනට දියුණු ත්ත්වයක පැවතුණා. දැන් සංචාරක ව්‍යාපාරය කරගෙන යාමට කිසිම පහසු කමක් නෑ මොකද මේ කලපු අන්දර ගිණි අන්දර කටු පතොක් වැනි දේවල් නිසා. ඒ වගේම මේ කලපු හා වැව් ආශීතව වැවෙන ජපන් ජබර  හම්බු හා කූර වැනි ෙදිවලි ග‍්‍රහනය වෙලා තියනවා. පිටරටවලින් එන කුරුල්ලන් ඒ දවස්වල පැමිණියා ඒත් දැන් ඒ පක්ෂීන් ගම්පියසට පැමිණෙන්නේ නෑ  ඒ නිසා සංචාරක කර්මාන්තයට කණකොකා හඩලලා තියනවා. ම් නිසා සංචාරක කර්මාන්තයෙන් යැපෙන අපේ ගමේ අපි වගේ අය ඉතාමත් පහත් මට්ටමට අද වැටිලා තියනවා.

 

කලපු අන්දර හා පතොක් ශාකවල ආක‍්‍රමණ ශීලී බව බුන්දල වාසස්ථාන කරගත් සත්ව විශේෂ සදහා දැඩි බලපෑමක් ඇති කර ඇත. විශේෂයෙන් අලි ඇතුන් සදහා ආහාර හා වාසස්ථාන අහිමි වී ඇති අතර ඔවුන්ගේ ගමන් මාර්ගද ඇහිරී තොස් ඇත.

දේශීය ශාක වලට ඇති වී ඇති බල පෑම නිසා ආහාර හා වාසස්ථාන අහිමි වීමෙන් වන සතුන් ගම් වැදීම අවට ගම්මාන වල ජන ජීවිතයට ප‍්‍රබල තර්ජනයකි.

 

 

ඩබ් . එච්. පේ‍්‍රමරත්න – ගොවි මහතෙක් , නව නගර ගම්මානය , වැලිගත්ත

 ”මේ කැලේ තියෙන්නේ කලපු අන්දරයි  කටු පතොකුයි  ඒ නිසා උන්ට කන්න දෙයක්  නෑ. ඒ නිසයි උ අපිට කරදර කරන්නේ. මම ගිය වතාවේ පත්තක්කා දාලා තිබුණා පත්තක්කා වගාව සම්පූර්ණයෙන්ම විනාශ කෙරුවා. කැලේ ඉන්න ඌරෝ මුවෝ  රිලව් වදුරෝ සේරම ඇවිල්ලා අපේ වගාවන්ට හානි කරනවා.

 

එස්. ඒ. නන්දසීලි –  භාණ්ඩාගාරික , වන ජීවී ප‍්‍රජාමූල සංවිධානය, වැලිගත්ත

අලි වැටක් දාලා තියනවා. එත් කැලේ කන්න නැති නිසා අලි ගමට එනවා. මොකද කැලේ තියෙන්නේ කලපු අන්දරයි කටු පතොකුයි විතරයි.

කලපුු අන්දර හා කටු පතොක් ශාක ගොඩබිම් ප‍්‍රදේශ  ආක‍්‍රමණය කරන අතරතුර බුන්දල හා ඒ අවට වැව් හා වගුරු බිම් ඇතුළු තෙත් බිම් ආශීතව හම්බු පන් හා ජපන් පබර ප‍්‍රභල ලෙසම ආක‍්‍රමණය කර ඇත.

හම්බු පන්  Typha-angustifolia යන විද්‍යාත්මක නාමයෙන් හ`දුන්වයි.

 

හම්බු පන් පත‍්‍ර  මීටර 1.5 ත් 2.5 අතර උසට වැඩෙන අතර  අර්ධ චක‍්‍රකාරව විහිදීමට පටන් ගන්නා පත‍්‍ර පළලින්  සෙ.මි 1  පමණද දිගින් මිටර  1.5 ද වන අතර පත‍්‍ර අග සමතලා උල් ස්වරූපයක් උසුලයි.

මල් දුඹුරු පැහැති කරල් ආකාර  ස්වරූපයක් ගන්නා අතර පිරිමි සහ ගැහැණු මල් සහිත පුෂ්ප මංජරී වෙන වෙනම පිහිටයි.

 

 

 

විශේෂයෙන් වියළි කාලයේදී මෙම හම්බු පන් පුෂ්ප මන්ජරිය පුපුරා සුළග මගින් ව්‍යාප්ත වේ. මෙමගින් අවට ගම්වල ජන ජීවිතයට ඇති  වී ඇති තර්ජනය සුළුපටු නොවේ.

 

ජේ. කේ. කුසුමාවතී –  ප‍්‍රධාන පාලිකා , සුචරිත සමනළ පෙර පාසල , ඌරුණිය

 

මම හම්බු පන් පැතිරීම නිසා අපේ දරුවන්ට හරිම කරදරයක් . දරුවන්ගේ දෙමාපියන්ට හැමදාම ඇවිත්  මෙතන සුද්ද පවිත‍්‍ර කරන්න සිද්ද වෙනවා. ඒක හරි කරදරයක්. දරුවන් ලෙඩ වීමේ ප‍්‍රවණතාවය වැඩිවී තියනවා. දිනෙන් දිනම මේ පෑවුම් කාලය සමග  මේ හම්බු පැතිරීම වැඩි නිසා දරුවන්ගේ පැමිණීමේ ප‍්‍රතිශතය අඩුවී තියනවා.

 

තනුජා දිල්හානි  –  සුභ සාධක වෙළද සැළ , සිරියාගම

 

මේ හම්බු පන් අපිට හරිම කරදරයක් කෙඩි විකුණන්න තියන එක බඩුවක් වත් තියා ගන්න බෑ. හැම තිස්සෙම පීහි දාන්න  ඕනා. කඬේ බඩු විකුණනවට වඩා බඩු පිහි දාන එක තමයි  කරන්න වෙලා තියෙන්නේ.

 

ආර් . ඒ . කාන්ති –  සිරියාගම , හම්බන්තොට

හම්බු පන් නිසා හරිම කරදරේ පොඩි ළමෙක් නිදිකරවලා තියන්නවත් බෑ  දවල් කාලයටත් නෙට් එකක් දාලා තියන්න  ඕනා. නෙට් එක ඇතුලේ හිටං හම්බු බැදිලා තියනවා.

මේ වන විට බුන්දල අවට ප‍්‍රදේශයට ප‍්‍රබල සෞඛ්‍ය ගැටළුවක් බවට මෙම හම්බු පන් ආක‍්‍රමණය බලපා ඇත.

 

එච්.ජී. ප‍්‍රියන්ති –   සිරියාගම , හම්බන්තොට

මේකෙන් පැතිර යන බූව නිසා කෑම ටිකක් උයලා තියා ගන්න බෑ . කෑම වලං වල මේවා රැුදෙනවා මේ නිසා ලෙඩ රෝග හැදෙනවා. ඇත්තටම මේ ගමේ ඉන්න දරැුවන්ට තියන ලොකුම රෝගය තමයි ඇදුම. මේක පැතිරිලා යන්නේ මේ හම්බු බූවෙන් පිටවන විෂබීජ වලින්. දොස්තර කෙනෙක් ළගට ගියොත් වැඩිදෙනෙක් ඉන්නේ මේ ආශී‍්‍රත රෝගවලින් පෙලෙන අය.

 

වෛද්‍ය චමින්ද කුරුකුලසූරිය –  වෛද්‍ය නිළධාරී , මූලික රෝහල , දෙබර වැව

බුන්දල අවට ගම්මාන වල ජලාශ‍්‍රීතව විශේෂයෙන් හම්බු ශාකය ව්‍යාප්තියක් දකින්නට ලැබෙනවා. මෙහි පුෂ්ප මංජරිය වියළි කාල වලදී පැතිරීම නිසා ස්වසන ආබාධ රෝග ශට ගැනීම වැඩිවෙනවා. විශේෂයෙන්ම කුඩා ළමුන්ට ස්වසන ආබාධ නිතර ඇතිවන ස්භාවය නිසා දරුවන් අපස්මාරය වැනි රෝග නිසා සායන වෙත යොමු වීමේ  ප‍්‍රවණතාවයක් පසුගිය අවුරුදු කීපයක් තිස්සේ  දකින්නට ලැබෙනවා.

 

මෙම ආක‍්‍රමණශීලී ආගන්තුක ජීව විශේෂ මර්ධනය හා පාලනයේ දී  නිසි ක‍්‍රමවේදයන් අනුගමනය කිරීම ඉතාම වැදගත් වේ. එසේ නොමැති වුවහොත් මෙම විශේෂ ව්‍යප්තිය දෙගුණ තෙගුන වීමේ අවදානමක් ඇත.

විශේෂයෙන් කලපු අන්දර ඉවත් කිරීමේ දී මුල් කොටස් සමග  උදුරා  ඉවත් කිරීම සිදු කල යුතුයි. එ මන්ද යත් මුල් කැබැලිවලින් පවා නැවත පැල වීමේ හැකියාව ඇති බැවිනි.

කටු පතොක් ශාකයද කුඩා කැබැල්ලකින් වුවද නැවත පැල වීමේ ප‍්‍රවණතාවය වැඩි නිසා මුලින් උදුරා වියලීමට සලස්වා ගිනි තැබීම සිදු කළ යුතුයි.

බුන්දල ජාතික උද්‍යානයේ ආක‍්‍රමණශීලී ශාක විශේෂ මර්ධනය හා පාලනය සදහා මේ වන විටත් රාජ්‍ය හා රාජ්‍ය නෙවන සංවිධානද නොයෙකුත් පෞද්ගලික ආයතනද එක්ව විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කර ඇත.

ජී. යූ . සාරංග –  උද්‍යාන භාරකරු , බුන්දල ජාතික උද්‍යානය

 

සංචාරක කර්මාන්තය දියුණු කර ගැනීම සදහා අපි සංචාරකයින් ගමන් කරන මාර්ග දෙපස කලපු අන්දර හා කටු පතොක්  ඉවත් කිරීම සිදු කරනවා. ඒ වගේම තෘණ බිම් සකස් කිරීම සිදුකරගෙන යනවා. උද්‍යනය අලංකාරය හා වන සතුන්ගේ ආහාර සුලබ කිරීම සදහා මෙම කලපු අන්දර හා කටු පතොක් ඉවත් කර තෘණ බිම් නිර්මාණය සිදු කරනවා.

 

රුවන් සංජීව –  අංශ ප‍්‍රධානී (පාලන) , ලීනියා ඇක්වා ආයතනය

 

අප වසර 8 ක් තිස්සේ බුන්දල ජාතික උද්‍යානයේ කලපු අන්දර හා කටු පතොක් නිවැරිදි ක‍්‍රමවේදයන්ට අනුකූලව ඉවත් කිරීම සිදුකරගෙන යනවා. ඉදිරියටත් එම ක‍්‍රමවේදයන් භාවිතා කරමින් මෙම කටයුතු ඉදිරියට කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා.

 

මෙම ජාතික උද්‍යානය අලි ඇතුන් ගැවසෙන උද්‍යායක් එබැවින් කලපු අන්දර හා කටු පතොක් ඉවත්කල පසුබිම තුළ දේශීය ශාක සිටුවා සංරක්ෂණය කිරීම අපහසු වන නිසා ශක වල  ස්භාවික පුනර්ජනන ක‍්‍රීයාවලිය මෙම ව්‍යාපෘතිය තුළ ක‍්‍රියාත්මකයි.

පාරසරික, සමාජ හා ආර්ථික වශයෙන් ගැටළු බෝහොමයකට සෘජු හා වක‍්‍ර යන දෙයාකාරයෙන්ම වග කියන මෙම ආක‍්‍රමණශීලී ජීව විශේෂ හදුනා ගැනීම පාලනය හා මර්ධනය සදහා ගෝලීය පරිසර පහසුකම් යටතේ ලැබෙන මූල්‍යමය ආධාර මගින් මේ වන විටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ජෛවවිවිධත්ව ලේකම් කාර්යාලය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල එක්ව ආක‍්‍රමණශීලී ආගන්තුක ජීවීන් ඇතුළුවීම හා  පැතිරීම  පාලනය සදහා වන ධාරිතා වර්ධන ව්‍යාපෘතිය නමින්  ව්‍යාපෘතියක්් ක‍්‍රීයාත්මකයි.

ආර්. එච්. එම්. පී. අබේකෝන් –  අධ්‍යක්ෂ , ජෛවවිවිධත්ව ලේකම් කාර්යාලය

ආගන්තුතක ආක‍්‍රමණශීලී ජීවී විශේෂ කළමණාකරණය සදහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය  යටතේ අප විසින් සිදු කරනු ලබන ජාතික ප‍්‍රතිපත්තියක්  ඒ වගේම ජාතික ප‍්‍රතිපත්තිය තුළ  ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් හා උපාය මාර්ග මෙන්ම ක‍්‍රියාකාරී සැලැස්මක් අන්තර්ගත වෙනවා. මෙම ක‍්‍රියාකාරකම් තුළින් අපට ජාතික වනෝද්‍යානය තුළ ආක‍්‍රමණික ශෘක ඉවත් කිරීම කළමණාකරනය  හදහා කළ හැකි සුදුසු ක‍්‍රියාකාරකම් හදුනාගෙන එම ක‍්‍රියාකාරකම් ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

දකුණු ලක සුන්දර කරුළු පාරාදීසය හෙවත් බුන්දල රම්සා තෙත් බිම ආක‍්‍රමණශීලී ආගන්තුක ජීව විශේෂයන්ගෙන් තොර කලාපයක් කිරීම ජාතික අවශ්‍යතාවයකි.

ඒ මන්දයත් බුන්දල ජාතික උද්‍යානය යනු හම්බන්තොටට හෝ දකුණු ලකට  හෝ  ශ‍්‍රී ලංකාවට පමණක් වැදගත් වූවක් නොව  සමස්ත ලෝකයේම ජීවීන්ගේත් විශේෂයෙන් පක්ෂීන්ගෙත් උරුමයකි.

පැසෙන නිබඳ සුවදැල් කෙත් වතු සැම                දිළෙන්න

ඇසෙන කුංච නඳ වන මැද හැමදා ගිගුරුම්           දෙවන්න

වන සතුනගෙ කුස පුරවා කුරුළු නඳට සවන්       දෙන්න

මතු පරපුරේ වන උරුමය –  පණ මෙන් බුන්දල   රකින්න

 

නලින් චාමින්ද මීමනගේ

මාධ්‍ය හා සන්නිවේදන උපදේශක

IAS  ව්‍යාපෘතිය

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය

0715293666

[email protected]

https://www.facebook.com/nalin.meemanage

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles