Wednesday, August 17, 2022

රංජන්ගේ ප්‍රකාශ රළු වුණාට ආයෙ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නේ නෑ

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව යළි වෘත්තීය ක්‍රියාමාර්ග නොගන්නා බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.

එම සංගමයේ සභාපති රංජිත් ආරියරත්න මහතා අද (05) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තමන් එරෙහි වූයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට ප්‍රසිද්ධියේ ‘සොරෙක්‘යයි අපහාස කිරීම නිසා බවයි.

ඇයට එරෙහිව චෝදනා පැවතීම හෝ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් පරීක්ෂණ පැවැත්වීම ගැන තමන්ගේ කිසිදු විරෝධයක් නැති බවත්, වරදක් කර ඇත්නම් නිසි විමර්ශනයකින් අනතුරුව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

අදාළ ප්‍රාදේශීය ලේකම්වරිය පවා තමාට එරෙහිව නඟා ඇති චෝදනා සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ඇති බවත්, එය එසේම විය යුතු බවත් ආරියරත්න මහතා කියා සිටියේය.

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ ප්‍රකාශ රළු හෝ දැඩි වුවද, මින් පසු තමන් ඊට ප්‍රතිචාර නොදක්වන බවත්, මහජනතාව අපහසුතාවට පත්වන බැවින් යළි වෘත්තීය ක්‍රියාමාර්ග කරා යාමට කිසිදු බලාපොරොත්තුවක් නැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles