Wednesday, August 17, 2022

රජය සතු ව්‍යාපාර සඳහා සාමූහික ගිවිසුමක්

රජය විසින් සමාරම්භක පියවරක් වශයෙන්, තෝරා ගත් රජය සතු ව්‍යාපාර කිහිපයක් සමඟ සාමූහික අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම 2017 මාර්තු 15 වන දින පෙ.ව. 11.00 ට මුදල් අමාත්‍යාංශයේ නව ශ්‍රවණාගාරයේ දී සිදු කිරීමට නියමිත ය. ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන රජය සතු ව්‍යාපාර මෙම ගිවිසුම සඳහා අත්සන් තැබීමට තෝරාගෙන ඇති අතර මේ සඳහා 2017 පෙබරවාරි මස 28 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

උපාය මාර්ගික වශයෙන් වැදගත්කමක් ඇති රජය සතු ව්‍යාපාර, මෙරට දළ දේශීය නිෂ්පාදිතය සඳහා දක්වන දායකත්වය වර්ධනය කරමින් රටේ ආර්ථික අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා මෙම සාමූහික අවබෝධතා ගිවිසුම ඉහළ දායකත්වයක් ලබා දෙනු ඇත. වැඩි දියුණු කරන ලද සාමූහික ක්‍රියාමාර්ග, නව්‍ය මූල්‍යකරණ ක්‍රමවේද, ශක්තිමත් හා විචක්ෂණ මූල්‍ය කළමනාකරණය, තරඟකාරිත්වය සඳහා මුහුණ දීම, ජාත්‍යන්තර විශිෂ්ට අත්දැකීම් දේශීය ආයතන විසින් භාවිතා කිරීම, මහජන වගවීම හා ඵලදායී මානව සම්පත් කළමනාකරණය තුළින් රජය සතු ව්‍යාපාරවල ඉලක්ක ගත අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබෙන අතර එමඟින් ඒවායේ මෙහෙයුම් හා මූල්‍ය ඵලදායීතාව වර්ධනය කර ගැනීම සඳහා පෙළඹවීමත්, ඒ සඳහා පහසුකම් සැපයීමත් රජයේ මූලික අරමුණ වේ.

මෙම ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්, අදාළ ආයතන අයත් රේඛීය අමාත්‍යාංශවල ලේකම්වරු සහ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් එහි සභාපතිවරුන් අත්සන් තැබීමට නියමිත ය.

තෝරාගත් රජය සතු ව්‍යාපාර හා අදාළ රේඛීය අමාත්‍යාංශ විසින් ස්වකීය කළමනාකරණ මෙවලමක් ලෙස මෙම සාමූහික අවබෝධතා යොදාගනු ලබන ප්‍රමාණය මත මෙම ක්‍රියාවලියේ ඵලදායීත්වය ප්‍රධාන වශයෙන් රැඳී පවතී. වර්ෂ 2017 සිට ආරම්භ වන වසර 3 ක කාල පරිච්ඡේදයක් සඳහා සංයුක්ත සැලැස්ම, ක්‍රියාකාරී සැලැස්ම සහ වාර්ෂික අයවැය තුළ ඇතුළත් මූලික කාර්ය සාධන දර්ශක මෙම සාමූහික අවබෝධතා ගිවිසුමේ ඇතුළත්ව ඇත. මීට අමතරව රජය සතු ව්‍යාපාර මඟින් සිදු කරන සියලුම ව්‍යාපාරික නොවන මෙහෙයුම් මඟින් ඇතිවන බලපෑම් පිළිබඳව ද මෙම ගිවිසුම තුළ ඇතුළත්ව ඇත.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් තම පාරිභෝගිකයන් සඳහා ලබා දෙන විදුලි බල සැපයුමේ ප්‍රමිතිය වැඩිදියුණු කිරීම සඳහා එහි මූලික කාර්ය සාධන දර්ශක ලෙස සාමාන්‍ය බිඳවැටීම් කාල දර්ශක පද්ධතිය අඛණ්ඩව අඩු කිරීම, සාමාන්‍ය බිඳවැටීම් සංඛ්‍යාත දර්ශකය  අඩු කිරීම හා පුනර්ජනනීය සම්පත් භාවිතයෙන් විදුලි නිෂ්පාදනය වැඩි කිරීමටත් එමඟින් 2019 වසර අවසාන වන විට සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්තීන් නිපදවීමේ සංයුතිය වැඩි කිරීමත් හඳුනාගෙන තිබේ.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්ය සාධන දර්ශක ලෙස පිරිපහදු කාර්යක්ෂමතාව නිෂ්පාදන ධාරිතාවේ ප්‍රතිශතයක් ලෙස ඉහළ නැංවීම, වත්කම්වලට අනුව ආයතනයේ පවතින ණය අඩු කිරීම මඟින් මූල්‍ය ශක්‍යතාව තහවුරු කිරීම, ආයතනික හා ව්‍යූහාත්මක වෙනස්කම් තුළින් ඵලදායීතාවය සහ කළමනාකරණ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම හඳුනාගෙන තිබේ.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය එහි ප්‍රධාන කාර්ය සාධන දර්ශක ලෙස හඳුනාගෙන ඇත්තේ නව ජල සැපයුම් සංඛ්‍යාව වාර්ෂිකව වැඩි කිරීම, ආදායම් නොලබන ජල සැපයුම් ප්‍රතිශතය අඩු කිරීම, සුරක්ෂිත පානීය ජලය ලබා ගැනීමට ඇති හැකියාව තව දුරටත් වැඩි කිරීම, සේවකයන්ගේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම හා කිලෝ මීටරයක් ඇතුළත කාන්දු අලුත් වැඩියාව සඳහා මසකට සිදු කරන වියදම අඩු කර ගැනීමයි.

ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමෙහි ප්‍රධාන කාර්ය සාධන දර්ශක ලෙස මිලියන 15 ක් පමණ මඟීන් ප්‍රමාණයක් මෙහෙයවීමට හැකි පරිදි ගුවන් තොටුපල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, මුළු ගුවන් භාණ්ඩ ප්‍රවාහනයට අමතරව අන්තර් ගුවන් භාණ්ඩ ප්‍රවාහනයට පහසුකම් සැලසීම, ගුවන් ගමනාගමන නියමයන්ට අනුකූල වන පරිදි කලාපයේ ශ්‍රේණිගත ප්‍රමිතීන්ට අනුව ගුවන් තොටුපල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම හා ලංකාවේ ගුවන් තොටුපලවල භාවිතා කරන ගුවන් යානා ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු සැලසීම හඳුනාගෙන ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය තම ප්‍රධාන කාර්යසාධන දර්ශක ලෙස හඳුනාගෙන ඇත්තේ, නැව් මෙහෙයුම් කිරීම සඳහා ගත වන සාමාන්‍ය කාලය (පැය ගණන) අඩු කිරීම, බහාලුම් නැව් සඳහා සාමාන්‍ය පොරොත්තු කාලයක් පවත්වා ගැනීම සහ එක් එක් දොඹකරයන්හි බහාලුම් හැසිරවීමේ ඵලදායීතාවය (හසුරුවන ප්‍රමාණය/ පැය ගණන) වර්ධනය කිරීමයි.

මෙම ප්‍රමුඛ ව්‍යාපෘතියෙහි සාර්ථකත්වය මත අනෙකුත් රාජ්‍ය ව්‍යවසායයන් ද ක්‍රමානුකූලව මෙම ක්‍රමවේදයට අනුගත කිරීමට රජය බලාපොරොත්තු වේ. රාජ්‍ය සංස්ථා, බැංකු, අධ්‍යයන ආයතන, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ පොදු සමාගම් 350 කට වැඩි රාජ්‍ය ව්‍යාපාර ප්‍රමාණයක් පවතින අතර ඒවා ද ඉදිරියේ දී සාර්ථක කර ගැනීම උදෙසා එම ආයතනයන්හි ප්‍රගතිය විශ්ලේෂණය කිරීමේ කාර්යය, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.

සමස්තයක් ලෙස මෙම සාමූහික අවබෝධතා ගිවිසුම ගනුදෙනුකරුවන්, සේවකයන්, නියාමන ආයතන, රාජ්‍ය ආයතන, මහජනතාව ඇතුළු සියලු අදාළ පාර්ශවයන් වෙත විනිවිදභාවයකින් හා වගවීමකින් යුතු තොරතුරු සපයන මාර්ගයක් වේ.

 

අධ්‍යක්ෂ ජනරාල්,
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles