Friday, August 19, 2022

ලොතරැයි රණ්ඩුව සහ ආණ්ඩුවේ ගමන!

මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ කැබිනට් සංශෝධන ක්‍රියාවලිය මෙන්ම ආණ්ඩුවේ ඇමැතිවරයකු විසින් මාධ්‍යවේදියකුට තර්ජනය කිරීමේ සිද්ධියක්ද දේශපාලන ක්ෂේත්‍රය උණුසුම් කළ විවාදාත්මක මාතෘකා බවට පත් විය. බොහෝ තැන්වල බොහෝ දෙනකු විසින් මේවා පිළිබඳ කරන ලද විවේචන, විමර්ශන මෙන්ම අපහාස, උපහාස හා නර්මාලාපද අපට ඇසිණි. ඒකාබද්ධ විපක්ෂයේ කීපදෙනෙක්ද මේවා දැඩි විවේචනයකට ලක් කළහ. එහි කිසිදු වරදක් නැත. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඒ හැම විවේචනයක් මඟින්ම තහවුරු විය. දේශපාලනයේදි විවේචනයට මුහුණ දිය යුතුය. එමතු නොව, එහි ගැඹුරක් හරයක් වේ නම් එයින් නිවැරදි වීමද පරිණත දේශපාලන ප්‍රතිචාරයක් බව කිව යුතුය. එහෙත් මේ රටේ දේශපාලනයේදී එබඳු සංවර්ධනාත්මක විවේචන සිදු වේද? විවේචකයාගේ අරමුණ හෝ අභිප්‍රාය කුමක්ද? සමාන්‍යයෙන් මේ රටේ දේශපාලන විවේචන දෙස බලන විට පැහැදිලි වන්නේ ඒවා බොහෝ විට “දෙඤ්ඤම් බැටේ” විවේචන බවය.

මේ ආණ්ඩුව බලයට පත් වන විට තිබුණු දේශපාලන වාතාවරණය කෙබඳුදැයි අද බොහෝ දෙනකුට අමතක වී තිබේ. මෛත්‍රී ජනාධිපතිවරයාත් රනිල් අගමැතිවරයාත් එක්ව කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංශෝධන ක්‍රියාවලිය නොවන්නට තවමත් මේ රටේ ඒකාධිපති ස්වරූපය ගත් විධායකයක් පවතිනු ඇත. 19 වැනි සංශෝධනය මඟින් කරන ලද විධායක බලතල අඩු කිරීම යනු අතිශය විස්මයජනක සිද්ධියකි. බලයට පත් වන කිසිවකු ඒ බලය අඩු කරගැනීමට එකඟ වූ බවට දැනට තිබෙන එකම නිදර්ශනය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පමණි. ශ්‍රී ලංකාවේ තබා, ලෝක දේශපාලන ඉතිහාසයේවත් එබඳු සිදුවීමක් සටහන් වී නැත. ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම, තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම වැනි සාධනීය වෙනස්කම් අද සිදු වී තිබේ. එහෙත් සමහරුන් කියන “සිස්ටම් ‍චේන්ජ්” එක සිදු වී නැති බව සැබෑය.

l සම්මුති ආණ්ඩුව

මේ නිසා තවමත් පවතින විධායක ජනාධිපති ක්‍රමය තුළ ජනතාවට ඔවුන් විසින් අපේක්ෂා කරන ලද බොහෝ දේවල් ඒ ආකාරයෙන්ම ඉටු නොවන බව පෙනී යනු ඇත. එහෙත් මේ පාලන තන්ත්‍රය පැහැදිලිවම එජාපයේ හෝ ශ්‍රීලනිපයේ එකක් නොවේ. එයට ප්‍රබල හේතුවක්ද විය. එනම්: ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පැහැදිලි ජනවරමකින් පත් වුවද පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී කිසිම පක්ෂයකට පැහැදිලි බහුතරයක් ජනතාව ලබා දී නොතිබිණි.

මෛත්‍රී – රනිල් සම්මුති ආණ්ඩුව බිහි වන්නේ ඒ ජනමතය ලැබුණු ප්‍රධාන පක්ෂ දෙකේ සංයෝගයකිනි. ඉතිහාසය මුළුල්ලේම කඳවුරු දෙකක සිට සටන් කළා වූද ප්‍රතිපත්තිවලින් එකඟතාවක් නැති වූද පක්ෂ දෙකක් පොදු එකඟතාවක් අනුව මේ ආණ්ඩුව නිර්මාණය කරගෙන තිබේ. කැබිනට් මණ්ඩලය යනු ඒ ප්‍රධාන පක්ෂ දෙකේ පොදු එකඟතාව අනුව සාදාගන්නා ලද එකකි. එජාපයේ සමහරුන් තවමත් සලකන්නේ මේ ආණ්ඩුව පැහැදිලිවම ඔවුන් ලද ජනවරමක් බවය. ඔවුන්ගේ තනි අයිතියක් බවය. එහෙත් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ එබඳු පටු අදහස්වල සිර වී නොසිට, මේ ජනවරම පිළිබඳ අවබෝධයෙන් පාලනය ගෙන යන බව ඉඳුරා පැහැදිලිය.

විධායක ජනාධිපති යනු තවමත් නීත්‍යනුකූල බලතල සහිත භූමිකාවක ප්‍රමුඛ රාජ්‍ය නායකයාය. ජනාධිපතිවරයාට වෙනම පක්ෂයක්ද ඇත. ඔහු ශ්‍රීලනිපයේ නායකත්වයද, සන්ධානයේ නායකත්වයද භාරව සිටියි. පාර්ලිමේන්තු බලය හිමි අගමැතිවරයා ද එජාපයේ නායකත්වය උසුලයි. ඔහු තම පක්ෂයට සවන් දිය යුතුය. එසේම තමන් හා විධායකය අතර තිබෙන සම්මුතියද ආරක්ෂා කළ යුතුය. නායකයන් එසේ වගකීමෙන් හා අවබෝධයෙන් ක්‍රියා කළත් පක්ෂ දෙකේ මන්ත්‍රීවරුන් අතර සබඳතාව විසඳිය නොහැකි ආකාරයේ හේතුවලින් දෙ‍දරුම් කා තිබේ.

මේ භේදය නොබෝද සිදු වූ කැබිනට් සංශෝධනයේදීත් අපට පැහැදිලි විය. දේශපාලන කෝඩුකාරයන් නොවූ මෛත්‍රී හා රනිල් ඒ භේදය සමහන් කර රටට ආණ්ඩුවේ ශක්තිය ප්‍රදර්ශනය කළහ. කැබිනට් සංශෝධනයෙන් පසු මුදල් ඇමැතිධුරය හා විදේශ ඇමැතිධුරය වෙනස් විය. බොහෝ දෙනකු අපේක්ෂා කළේ මේ වෙනස ආණ්ඩුව කඩා වැටීමට හේතුවක් වනු ඇති බවය. එහෙත් එවැන්නක් සිදු වූයේ නැත. කැබිනට් සංශෝධනයෙන් පසු අමාත්‍යාංශවල විෂයපථය බෙදා වෙන් කිරීම ආණ්ඩුව මුහුණ පෑ ඊළඟ අභියෝගය විය. මුදල් අමාත්‍යාංශයට අයත්ව තිබුණු ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශයට ලබා දී ඒ ප්‍රශ්නයද විසඳාගැනීමට ආණ්ඩුවට හැකි විය.

ඒකාබද්ධ විපක්ෂය මෙන්ම ජවිපෙද මේ විෂය බෙදෙීම පිළිබඳ ආණ්ඩුවට නිර්දය විවේචන එල්ල කළහ. විදේශ ඇමැතිවරයා ලොතරැයි විකුණන ආකාරය නිරූපණය කරන කාටූන් පවා ජනමාධ්‍යවල පළ විය. මේ පිළිබඳ අපටද විවේචන තිබේ. විදේශ ඇමැතිවරයකුට එබඳු ලොතරැයි මණ්ඩල භාර කිරීම විහිළුවක් බවත් එහි කිසිදු තර්කානුකූල පදනමක් නැති බවත් අපිදු ඉඳුරා කියමු. මේ විකාරරූපී එකඟතාව ආණ්ඩුවේ විවේචකයන්ට අත දිග හැර සිත් සේ පහර දිය හැකි දුර්වලම පන්දුවක් බව අපට පෙනේ. එහෙත් මේ රටේ ඇමැතිවරුන් පත් කිරීමේදී හෝ අමාත්‍යාංශ විෂයයන් වෙන් කිරීමේදී හෝ බොහෝ විට විෂයක්ෂේත්‍ර දැනුම හෝ දේශපාලන න්‍යායාත්මක අවබෝධය හෝ මිනුම් දණ්ඩක් වූ බවක්ද අපට කිව නොහැකිය. පක්ෂයේ ජ්‍යෙෂ්ඨත්වය, දේශපාලන පළපුරුද්ද එහිදි සලකා බැලිණි. අමාත්‍යාංශවල ලේකම් ඇතුළු කාර්යක්ෂම නිලධාරීහු ඒ කාර්යභාරය ඉටු කළහ. ඇමැතිවරුන්ට තම කාර්යය ඉටු කිරීමට එය පහසුවක්ද විය. විශ්වවිද්‍යාලයක හෝ පාසලක විෂයමාලා පැවරීමේදී මෙන් ඇමැතිවරුන් හෝ උපඇමතිවරුන් තෝරාගත් කිසිම ආණ්ඩුවක්ද නැත. එදා දුමින්ද සිල්වා වැනි තරුණ මන්ත්‍රීවරයකු ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකයකු බවට පත් වූ අයුරු අපට මතකය. එය හුදෙක් හිතවත්කම අනුව මුහුණ බලාගෙන කළ පත්වීමක් වුවද එදා කිසිවෙක් එයට විරුද්ධ නොවූහ. මේ අනුව ඇමැති විෂයය හෝ ඇමැතිකම හෝ විද්‍යාත්මකව විමසා බලා කරන පැවරීමක් නොවේ. ඒකාබද්ධ විපක්ෂයේ ලොතරැයි රණ්ඩුව, ආණ්ඩුවට ගහන්නට කරන පුහු වැඩක් මිස බරපතළ දෙයක්ද නොවේ.

l නරක සම්ප්‍රදායක්

මේ රටේ ඇමැතිවරුන් සිතූ සිතූ පරිදි නිර්මාණය කිරීමේ මහා මැවුම්කාර බලයක් සහිත විධායක ජනාධිපතිධුරයක් නිර්මාණය කර තිබේ. ඒ ජනාධිපති ක්‍රමය භාවිත කරමින් පසුගිය ආණ්ඩුව ඇමැතිකම් මැවූ ආකාරය අපට මතකය. එකම ඇමැතිධුරය ශාඛා අනුශාඛා බවට වෙන් කර ඇමැතිකම් පිරිනැමීමේ නරකම සම්ප්‍රදායක් අපට තිබිණි. ඒ පිළිබඳ නිදසුන් දීමට අවශ්‍යද නැත. අපි සීනි ඇමැතිතුමා ගැන පමණක් මතක් කරමු. බාග වෙලාවට එදා තවත් කීපදෙනකු ආණ්ඩුවට එක් වූවා නම් තේ සහ කෝපි ඇමැතිවරුන්ද නිර්මාණය වීමට ඉඩ තිබිණි. කොහොමටත් දුසිම්වලින් නොව, ග්‍රෝස්වලින් මැනිය හැකි ප්‍රමාණයේ ඇමැතිවරුන් පිරිසක් නඩත්තු කිරීමට අපට ඉඩ ලැබුණේ එකී විධායක ජනාධිපති ක්‍රමයට පින් සිදු වන්නටය.

මේ ආණ්ඩුව බලයට පත් වුවද ඒ ඇදය ඇරගැනීමට නොහැකි විය. පසුගිය කාලය මුළුල්ලේත් අදත් තිබෙන මේ ගර්හිත දේශපාලන ක්‍රමය නඩත්තු කිරීමට අපට සිදු වී තිබේ. බොහෝ දෙනකුට වුවමනා කැබිනට් ඇමැතිකමකි. ඒ ඇමැතිකමේ දිග පළල ගැන වුව සමහරු තෘප්තිමත් නොවෙති. මේ ආණ්ඩුවට විද්‍යාත්මක පදනමකින් ඇමැතිධුර සකස් කිරීමේ සැබෑ වුවමනාවක්ද තිබිණි. එහෙත් බොහෝ දෙනකුගේ දේශපාලන මනදොළ නොසංසිඳුවා ආණ්ඩු කිරීම නොහැකි බව මේ පක්ෂ දෙකෙහිම නායකයෝ දනිති. ඇමැතිකම්වලට පමණක් නොව කාර්වලටද පොර අල්ලමින් රටම හිනස්සවන අයටත්, තමන්ගේ විහිළුකාර වැඩ නිසා මේ ආණ්ඩුව පත්වන අසීරුතාව පෙනෙතියි සිතිය හැකිද? එජාපයට අයත් වූ ඇමැතිධුර වෙනස් විය යුතු නැතැයි ප්‍රසිද්ධියේ ඝෝෂා කළ අයද වූහ. ඇමැති සංශෝධනයේදී තමන්ට කලින්ට වඩා සැලකිල්ලක් සිදුවිය යුතුයැයි කී අයද වූහ. එහෙව් පසුබිමක “ඔයින් ගියා මැදැයි!“ කීම වැරදිද නැත.

කෙසේ හෝ මේ ‘අන්තෝ ජටා බහි ජටා‘ දේශපාලන තත්ත්වය සමනය කරගෙන ඉදිරියට රට ගෙනයෑමට ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් තිබෙන අවංක හැඟීම මේ නොයෙක් ආකාරයේ දේශපාලන අසනීප තිබෙන මැති ඇමැතිවරුන්ට නැති බව අපට පැහැදිලිය. එසේම අද මෙබඳු විවේචන එල්ල කරන ඒකාබද්ධ පිලද තම හෘදයසාක්ෂියෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් ති‍බේ. එනම් පසුගිය පාලන සමයේ මේ රටේ කැබිනට් ඇමැතිධුර සඳහා විෂයක්ෂේත්‍රයන් ආයතන විද්‍යාත්මක පදනමක් අනුව කර තිබිණිද යන්නයි. එදා මේ රටේ සමහර ඇමැතිවරුන්ට සිය අමාත්‍යාංශය තුළ තම අභිමතය පරිදි ක්‍රියා කිරීමට තරම් නිදහසක් නොවූ බවද කියති. එසේ නම් මේ ඇදය දිගු කලක් ති‍ස්සේම පෙනිපෙනී පවත්වා ගෙන ආ ඇදයක් මිස අලුත් දෙයක් නොවන බවද අප මතක් කළ යුතුය.

අද ඒකාබද්ධ විපක්ෂය මේ ආණ්ඩුවට කරන චෝදනා හා විවේචන දෙස බලද්දී ඒවා හරියටම මුට්ටියේ කළුපාට ගැන හට්ටිය හිනා වීමක් නොවේදැයි අපට සිතේ. එහෙත් අප ආණ්ඩුවට යෝජනා කරන්නේ ජනතාව අපේක්ෂා කළ අරමුණු හෝ අභිලාෂයන් ඉටු කර දීම ආණ්ඩුවේ දේශපාලන න්‍යායපත්‍රයේ අංක එකට තබාගත යුතු බවය. එනිසා පක්ෂ මට්ටමින් පුද්ගලයන් පිනවීම ඒ ජනතාවගේ කනස්සල්ලට හේතු වන බවද ආණ්ඩුවේ නායකයෝ තේරුම් ගත යුතු වෙති.

අනෙක් අතට අමාත්‍යාංශයක් යනු ආණ්ඩුව ඇතුළත වෙනම පුංචි ආණ්ඩුවක් හෝ තම අභිමතය පරිදි ක්‍රියා කළ හැකි බලප්‍රදේශයක් නොවන බවද මේ බල පොරයට, ආයතන තෘෂ්ණාවට වැටී සිටින ඇමැතිවරුද වටහා ගත යුතු වෙති. තම දේශපාලන වගකීම ඉටු කිරීමේදී ඔවුන් විසින් දක්වනු ලබන විචක්ෂණ භාවයත්, අවංක භාවයත් ඔවුන් පිළිබඳ විමසා බලන මිනුම් දඬු බවට පත් වන බවද සඳහන් කළ යුතුය. එය විවේචකයන්ට දිය හැකි සාර්ථකම පිළිතුරු බවද අප‍ට හැ‍ඟේ. ‍

l අධි චෝදනා

දැන් අපි ආණ්ඩුවට එල්ල වී තිබෙන මාධ්‍ය නිදහසට බාධා කිරීම පිළිබඳ චෝදනාව ගැනද මඳක් විමසා බලමු. මේ චෝදනාවට ලක්ව සිටින ජෝන් අමරතුංග මහතාගේ එම දේශපාලන හැසිරීම අපි කිසි සේත් අනුමත නොකරමු. ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු මෙන්ම පළපුරුද්ද හා කළ පුරුද්ද ඇති ඇමැතිවරුයකුද වූ ඔහු එබඳු බාල මුග්ධ හැසිරීමක් මඟින් ආණ්ඩුව අසීරුතාවකට පත් කිරීමටකට වඩා දේශපාලන වශයෙන් උඩ බලාගෙන කෙළගැසීමක් කළ බවද අපගේ අදහසය. එය වෙනම කතාවකි. එහෙත් එම පුද්ගල සිදුවීම සමස්ත මාධ්‍ය නිදහසටම තර්ජනක් එල්ල කරන්නේ කෙසේද? යන සාධාරණ ප්‍රශ්නය අපට තිබේ. ඇත්තටම පසුගිය පාලන සමයේ මේ රටේ මාධ්‍ය නිදහස පිළිබඳ යථාර්ථය කුමක්ද? ආණ්ඩුව විවේචනය කිරීමට, මාධ්‍යකරුවන්ට නිදහසේ පෑන මෙහෙයවීමට ඉඩක් තිබිණිද? මාධ්‍යවේදීන්ට පහරදීම් මාධ්‍ය ආයතන ගිනිතැබීම්, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් පිළිබඳ එදා පාලනයට එරෙහිව ඉදිරිපත්ව තිබෙන අධිචෝදනා පත්‍රය යළි මෙහි සඳහන් කළ යුතු නැත. එහෙත් ඒ ගර්හිත මාධ්‍ය දඩයම අද සිදු වේද? මාධ්‍යකරුවන් ලුහුබැඳ සුදු වෑන් ධාවනය වන බවක් කිව හැකිද? ඇමැතිවරයකු ආණ්ඩුවේ මාධ්‍ය ආයතනයක් වූ රූපවාහිනියටද පාතාල මැරයන්ද කැටුව ගියේ මාධ්‍ය නිදහස තහවුරු කිරීමට හෝ රූපවාහිනි බලධාරීන්‍‍ගේ දුක-සැප විමසීමට හෝ නොවන බවද මේ විවේචකයන්ට පෙන්වා දිය යුතුය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනක ස්වාධීන රූපවාහිනී ආයතනයේ ගොඩනැගිලි පරිශ්‍රය විවෘත කරමින් එදා රාජ්‍ය මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳව දුන් සහතිකය කුමක්ද? ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තේරුම් නොගත් ඇතැම් බලධාරීන්ගේ ආශීර්වාදය යටතේ එදා අයිටීඑන් ආයතනය මෛත්‍රීට එල්ල කළේ කෙබඳු නින්දිත, ගර්හිත, අශීලාචාර ප්‍රහාරයක්දැයි සිතා බලනු වටී. පෞද්ගලික අපහාස, අවලාද නැඟීම සඳහා කාන්තාවන් හා දරුවන් යොදාගනිමින් නිර්මාණය කළ කුප්‍රකට ප්‍රවෘත්ති හා අශීලාචාර දැන්වීම්වලින්ද එදා රටම හෙළි කළ දේශපාලන නග්නත්වය අපට මතකය. මෛත්‍රීපාල නමැති සාමාන්‍ය පන්තියෙන් පැමිණ, ජනහදට සමීප වූ, පිවිතුරු දේශපාලනයක සොඳුරු පරමාදර්ශයක් බඳු චරිතයක් මතු වීම නොඉවසූ වරප්‍රසාද සහිත පන්තිය බියෙන් වෙව්ලා දේශපාලන අවලාද කඳු ගැසූ ඒ මාධ්‍ය නිදහස අද වළ දමා තිබේ. එසේම රාජ්‍යයක නායකයකු ලෙස තමන් අවඥාවට ලක් කළ තරුණයකු ළඟට කැඳවා ඔහුට මෛත්‍රියෙන් සැලකීමට තරම් ළතෙත් හදවතක්ද මෛත්‍රී ජනාධිපතිවරයා සතු විය. එබඳු ක්‍රියාවක් එදා සිදු වී නම් එයට වගකිව යුතු අය අදටත් අතුරුදන් වූවන්ගේ ලේඛනයේ නොසිටිත්ද? මේ ආණ්ඩුව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරමින් තොරතුරු දැනගැනීමේ පනතක් සම්මත කළ බවද මේ මාධ්‍ය නිදහස වෙනුවෙන් ගද්‍රභ ඝෝෂා කරන මහත්වරුන්ට මතක් කළ යුතුය. එහෙත් එදා සමහර මාධ්‍යවවලට සිදු වූයේ පාලකයන් සත්‍ය ලෙස පිළිගත් දෑ වාර්තා කිරීමටය. පාලකයන්ගේ සාධාරණත්වයේ කෝදුවෙන් සාධාරණත්වය මැන බැලීමටය. එදා ගුවන්විදුලියේ උදැසන විකාශය වූ වැඩසටහනකින් මේ ‍රටේ සම්භාවනීය පුරවැසියන්, ආගමික නායක පූජකාදීන් අවමානයට ලක් කළ ග්‍රාම්‍ය විලාසය අපට මතකය. එහෙව් මාධ්‍ය දඩයමක්, මාධ්‍ය අසංස්කෘතියක් තිබුණු රටක අද ඇති වී තිබෙන මාධ්‍ය නිදහස හුදෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී විලාසය පිළිබඳ සාඩම්බර ලකුණක්ද වැන්න. මෛත්‍රී ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ පළමුව රාජ්‍ය මාධ්‍ය ශිෂ්ට පිළිවෙතක්, ගෞරවනීය සම්ප්‍රදායක් අනුගමනය කළ යුතු බවය; එය සුරැකීම ආණ්ඩුවේ වගකීම බවය. තමා ඒ සඳහා රාජ්‍ය නායකයා ලෙස කොන්දේසි විරහිතව පෙනී සිටින බවය.

ආණ්ඩුවේ කැබිනට් සංශෝධනය විවේචන කරන අයත් ආණ්ඩුව මාධ්‍ය නිදහසට තර්ජනයක් වී ඇතැයි කියන අයත් ඉතිහාසය දෙස ආපසු හැරී බැලිය යුතුය. ඒ ඉතිහාසයේ අඳුරු පැල්ලම් වෙත දෑස් රඳවා ඒවාට මුල් වූ චරිත මෙන්ම ඒ චරිත ආරක්ෂා කළ බලධාරීන් පිළිබඳවද කල්පනා කර බැලිය යුතුය. මේ ආණ්ඩුව ගෙවී ගිය වසර දෙක හමාරක් වැනි කාලය තුළ බියෙන් තොරව ජිවත් විය හැකි රටක් නිර්මාණය කර තිබේ. කතා කිරීමට, විවේචනය කිරීමට නිදහස ලබා දී තිබේ. ඒ සියල්ල අහිමි කිරීමේ වග උත්තරකරුවන් බවට පත්ව සිටින අයද අද ශාන්තුවරයන්ගේ වෙස් ගෙන ජන කරළියට නැඟ සිටිති. මේ ආණ්ඩුවද තමන් කරන හොඳ වැඩ ගැන ජනතාව දැනුවත් කරන්නේ අඩුවෙනි. ඒකාබද්ධ විපක්ෂයේ තර්ක බිඳදැමීමට ආණ්ඩුව දක්වන අවධානයද අඩුය. මේ ආණ්ඩුව හදන ව්‍යවස්ථාවෙන් රට අස්ථාවර වන බව ඒකාබද්ධයේ සමහරු කීහ. එහෙත් තවම ව්‍යවස්ථාවක් ‍කෙටුම්පත් කරවත් නැත. බුද්ධාගමට හිමි වී තිබුණු ප්‍රමුඛතාව ඉවත් කිරීමේ අනතුරක් ගැනද සමහරු කියති. ඒ පිළිබඳව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදීත් ජනාධිපතිවරයා මහජනයා ඉදිරිපිටත් පැහැදිලි පිළිතුරක් දුන්හ. එබඳු දෙයක් ආණ්ඩුව හිතා බලාවත් නැතැයි ජනාධිපතිවරයා නොයෙක් අවස්ථාවලදී කියා තිබේ. අලුත් ව්‍යවස්ථාවේ පදනම ඒකීයභාවය නමැති මූලධර්මය බව ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවද ප්‍රකාශ කර තිබේ.

l ප්‍රධාන අර්බුද

මේ ආණ්ඩුව රටට ඉදිරිපත් කළ දේශපාලන වැඩ පිළිවෙලක් තිබේ. එය ජනතාව විසින්ද අනුමත කරන ලද්දකි. ඒකාබද්ධ විපක්ෂය මෙන්ම ආණ්ඩුවේ විවේචකයන්ගේ වගකීම ඒ ජනතා සම්මුතිය ඉටු කරන ආකාරය විමසිල්ලෙන් බලා සිටීමත්, අවශ්‍ය තැන අවශ්‍ය වි‍රෝධතා මතු කිරීමත් විනා කෝකටත් විරුද්ධ වීමේ පිළිවෙත නොවේ.

මේ මොහොතේ රටේ තිබෙන ප්‍රධාන අර්බුද, ගැටලු පෙන්වා ජනතාවට සහන සලසා දීමට ආණ්ඩුවට බලපෑම් කිරීම විපක්ෂයේ ප්‍රමුඛ කාර්යය විය යුතුය. ලොතරැයිවලට රණ්ඩු වීමට වඩා එය වැදගත්ය. සොබාදහමේ විපත් මෙන්ම දේශපාලනඥයන්ගේ බල තණ්හාව නිසා රටට එළඹෙන විපත්ද ගැඹුරින් වටහාගැනීම සඳහා ජනතාවද දැනුවත් කළ යුතුය. මේ ආණ්ඩුවට අන්තර්ජාතික සහයෝගයද නොමඳව ලැබේ. රටත් ජනතාවත් උදෙසා එක්ව යන සාමූහික ගමනක් අද රටට අවශ්‍යව තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles