Thursday, January 20, 2022

වැඩිම පළි­බෝ­ධ නා­ශක කොළ එළ­ව­ළු­වල!

ඇතුවත් බැරි නැතුවත් බැරි පළිබෝධ නාශක අවභාවිතය හා ඉවක් බවක් නැතිව භාවිතය හා කෘෂි නිලධාරින්ගේ උපදෙස් නැතිව භාවිතය නිසා පාරිසරික ගැටලු රැසක් ඇතිවී තිබේ.

ලොව පාරිසරික විද්‍යාඥයන් කළ අලුත්ම පර්යේෂණ අනුව විසිරී යන ලෙස විදින පළිබෝධ නාශක මඟින් සියයට 95 – 98 ප්‍රමාණයක්ම ඉලක්කගත සත්ව හෝ ශාක විශේෂ වෙත නොයන බව හෙළිවී තිබේ. ඒ වෙනුවට ඒ පළිබෝධ නාශක දියර ඒ අවට ඇති සත්ව හා ශාඛ විශේෂ වෙත ළඟාවී ඒවාට අහිතකර බලපෑම් ඇති කරන බව හෙළිවී ඇතැයි අන්තර් ජාතික පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි.

මේ පිළිබඳව කරුණු දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා සම්මානිත මහාචාර්ය සී.බී. දිසානායකයන් පවසන්නේ මේ අයුරින් භාවිත කරන පළිබෝධනාශක නිසා ජලය දූෂණය වීම නවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවයි. ජලය සියලු ජීවීන්ට අත්‍යවශ්‍ය දෙයක්.

එය දූෂණය වීම වැළැක්වීමට මේවා භාවිත කරන හා ඊට උපදෙස් දෙන අය කටයුතු කළ යුතුයි. පළිබෝධ නාශක පාවිච්චි කරන විට ඉන් සිදුවන දූෂණය හා එහි හිස් බෝතල් ජල මාර්ගවලට දැමීම නැවැත්විය යුතුයි.

එසේම මේවා භාවිතය පිළිබඳ කෘෂිකර්ම නිලධාරින් ගොවීන්ට නිවැරදි උපදෙස් ලබාදිය යුතුයි. ගොවීන් ඔවුන්ගෙන්ම ඒ උපදෙස් ලබාගත යුතු යැයි ද මහාචාර්යවරයා කියයි.

අපේ රටේ පළිබෝධ නාශක පාලනය කිරීමට 1980 අංක 33 දරන පළිබෝධ නාශක පාලන පනත අනුව බලය දී ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගැ‍ටබේ පිහි‍ටි පලිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයටයි.

පළිබෝධ නාශක රෙජිස්ටාර් කාර්යාලයේ සංඛ්‍යා ලේඛන අනුව පසුව වසර 7 ඇතුළත මෙරටට ගෙන්වා ඇති මුළු පළිබෝධ නාශක ප්‍රමාණය මෙට්‍රික්ටොන් 38 214 කි.

කෙසේ වුවත් පසුගිය කාලයේ අනුගමනය කළ පරිසර හිතකාමි කෘෂිකර්ම වැඩපිළිවෙළ නිසා මෙරටට ගෙන්වන පළිබෝධ නාශක ප්‍රමාණය 2019 දි සියයට 45 කින් පමණ අඩුවී ඇතැයි පළිබෝධ නාශක රෙජිස්ටාර් කාර්යාලය පවසයි.

පළිබෝධ නාශක රෙජිස්ටාර් ආචාර්ය සුමිත් ජයකොඩි මහතා පවසන්නේ 2013 දි මෙරටට පළිබෝධ නාශක මෙට්‍රික් ටොන් 8100 ක් පමණ ගෙන්වුවත් 2019 දි ඒ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4299.5 ක් දක්වා අඩුවී ඇති බවයි. 2018 දි පළිබෝධ නාශක මෙට්‍රික් ටොන් 5325 ක් ගෙන්වා ඇති අතර 2016 දි ගෙන්වා ඇති පළිබෝධ නාශක ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4253 කි.

2015 දි අවසානයේදී පමණ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතනහිමිපාණන්ගේ බලවත් උනන්දුව මත වස විස නැති රටක් හැදීම පිණිස ‘ග්ලයිපොසෙට්’ (රවුන්ඩ් අප්) වැනි පළිබෝධ නාශක රැසක් මෙරට භාවිතය තහනම් කෙරිණි.

මේ නිසා 2016 – 2017 වසර වලදී මෙරටට ගෙන එන පළිබෝධ නාශක ප්‍රමාණය තරමක් අඩුවිය. නමුත් පසුව 2018 දී පළිබෝධ නාශක රෙජිස්ටාර් කාර්යාලය විසින් මේ පළිබෝධ නාශක තහනම් ඉවත් කෙරිණි. ඒ නිසා 2018 දී මෙරටට ගෙන්වූ පළිබෝධ නාශක ප්‍රමාණය යළි වැඩිවි ඇත. නමුත් 2019 දී ඒ ප්‍රමාණය අඩුවී ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ පළිබෝධ නාශක පිළිබඳව දැනුම්වත් කිරීම්, ඒකාබද්ධ පළිබෝධ නාශක වැඩපිළිවෙළ හා ජෛව පාලන වැඩපිළිවෙළ නිසා බව කෘෂි විද්‍යාඥයෝ පවසති.

මේ පිළිබඳව අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පවසන්නේ 2018 දී පමණ පසුගිය යහපාලන රජය තවත් විෂ පළිබෝධ නාශක 3 කගේ තහනම ඉවත් කළ බවයි. ඒ අනුව ක්ලෝරෝෆයිරිපොස්, කාබ්රිල් හා කාබොෆියුරාන් ඒ අතර වන බව ද උන්වහන්සේ පවසති. 2017 සිට මේ වර්ග තහනම් කර තිබූ බවත් කැබිනට් අනුමැතිය නැතිව මෙම තහනම පළිබෝධ නාශක රෙජිස්ටාර් කාර්යාලය විසින් ඉවත් කළ බවත් උන්වහන්සේ පවසති. මේ නිසා 2018 දී පළිබෝධ නාශක වැඩි වශයෙන් මෙරටට ගලා ආ බව සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරයි.

පළිබෝධ නාශක පාලනය පිළිබඳ කරුණු දක්වන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම අධ්‍යක්ෂ (ව්‍යාපෘති හා පුහුණු) ජේ.ආර්. සුබසිංහ මහතා පවසන්නේ අපේ රටේ දැනට එළවළ වර්ගවලට සිදුකරන පළිබෝධ නාශක භාවිතය වැඩි බවයි. කෙසේ වුවත් එළවළු වගාවේදී පළිබෝධ නාශක භාවිතය අවම කිරීමට යහපත් කෘෂිකාර්මික වත්පිළිවෙත් ක්‍රමය (GAP) ක්‍රියාත්මක කිරීම දැන් අරඹා ඇති බවත් ඔහු පවසයි. ඊට පෙර ක්‍රියාත්මක කළ ඒකාබද්ධ පළිබෝධ නාශක වැඩපිළිවෙළට වඩා මේ වැඩපිළ‍ිවෙළ සාර්ථක වෙමින් පවතී.

වමේ සිට දකු­ණට පාර්ලි­මේන්තු මන්ත්‍රී  අතු­ර­ලියේ රතන හිමි, පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ සම්මා­නිත භූ ගර්භ විද්‍යා   මහා­චාර්ය සී.බී. දිසා­නා­යක, විග­ණ­කා­ධි­පති ඩබ්ලිව්.පී.සී. වික්‍ර­ම­රත්න සහ පලි­බෝ­ධ­නා­ශක  රෙජි­ස්ටාර් ආචාර්ය සුමිත් ජය­කොඩි. 

“ඉස්සර හුඟක් අය එළවළුවලට ඉවක් බවක් නැතිව පළිබෝධ නාශක පාවිච්චි කළා. නමුත් දැන් අපි ක්‍රියාත්මක කරන GAP වැඩපිළිවෙළ නිසා පළිබෝධනාශක භාවිතය තරමක් අඩුවෙලා. ඒ නිසාම ගොවියන්ට ලැබෙන ආදායමත් වැඩිවෙලා තිබෙනවා. අපි දැනට ගොවිජන සේවා මධ්‍යස්ථානවල කෘෂිකර්ම උපදේශකවරුන් මගින් මේ යහපත් කෘෂිකාර්මික වත් පිළිවෙත් වැඩපිළිවෙළ ගම් මට්ටමට ගෙන ගොස් තිබෙනවා. එය බොහෝ දුරට සාර්ථකයි. මේ වැඩපිළිවෙළට ගොවි ජනතාව ක්‍රමයෙන් නැඹුරුවීමත් සමඟ අපේ රටේ පළිබෝධනාශක භාවිතය තවත් අඩුවේවි.” කෘෂිකර්ම අධ්‍යක්ෂ සුබසිංහ මහතා පවසයි.

1980 අංක 33 දරන පළිබෝධ නාශක පාලන පනත මගින් පළිබෝධනාශක ආනයනය, ඇසිරීම, ලේබල් කිරීම, ගබඩා කිරීම, සංයෝග සකස් කිරීම, ප්‍රවාහනය කිරීම, විකිණීම හා බෙදා හැරීම පාලනය කිරීම සඳහා අවශ්‍ය වන්නාවූ විධිවිධාන සැපයීම සිදු‍ කෙරේ.

එම කටයුතු නියාමනය සිදු කරන්නේ පලිබෝධනාශක රෙජස්ටාර් කාර්යාලයයි. පළිබෝධ නාශක භාවිතය පිළිබඳ අදාළ නියාමන ආයතන මගින් ඉටුවිය යුතු කාර්ය බාරය පිළිබඳව හා බල පැවැත්වෙන රෙගුලාසි නියමයන්ට හා ප්‍රමිතීන්ට අනුව ඒවා භාවිතා වන්නේ ද යන්න පිළිබඳව මෙන්ම එමගින් ඇතිවිය හැකි සෞඛ්‍යමය හා පාරිසරික ගැටලු අවම කිරීම පිළිබඳව ඉහත ආයතන මගින් ඉටුවිය යුතු කාර්ය භාරය පිළිබඳ සෙවීමට ජාතික විගණන කාර්යාලයේ පරිසර විගණන අංශය මගින් 2020 දී පරිසර විගණන වාර්තාවක් සකස් කර ඇත.

එමඟින් හෙළිවී ඇත්තේ 2013 සිට 2017 දක්වා ශ්‍රී ලංකාවට පළිබෝධ නාශක මෙට්‍රික් ටොන් 28,640 ක් ගෙන්වා ඇති බවයි. ඒ සඳහා ඩොලර් මිලියන 225 ක් හෙවත් රුපියල් කෝටි 4500 ක් වැය කර තිබිණි. 2019 ජුනි 30 වැනි දින වන විට ශ්‍රී ලංකාවට ආනයනය කර තිබූ මුළු පළිබෝධ නාශක වලට අඩංගු සක්‍රීය සංඝටක ප්‍රමාණය 200 කි. නමුත් පළිබෝධ නාශක රෙජිස්ටාර් කාර්යාලය මගින් එහි භෞතික සම්පත් හා මානව සම්පත් උපයෝගී කර ගනිමින් වර්තමානයේ පරීක්ෂා කරනු ලබන්නේ පළිබෝධ නාශක සක්‍රීය සංඝටක 200 කින් සංඝටක 18 ක් පමණක් බව එම විගණනයේදි පැහැදිලි වී ඇත.

රට තුළට ආනයනය කරනු ලබන පළිබෝධ නාශක වල යෝග්‍යතාව පරීක්ෂා කිරීම සඳහා වර්තමානයේදී එම පළිබෝධනාශක නිෂ්පාදන රටවලින් නිකුත් කරන තත්ත්ව සහතිකය පමණක් පාදක කරගනු ලැබේ. ඒ අනුව 100% ක්ම දේශීය රසායනාගාර පරීක්ෂාවන් තුළින් පළිබෝධ නාශක පරික්ෂා කිරීමක් සිදු නොවන බව මෙහිදී පැහැදිලි විය. මෙම විගණන ගවේෂණය මගින් පළිබෝධ නාශක අලෙවි සහතික ලබා දීමේ කාර්ය භාරය පරීක්ෂාවේදී විධිමත් ආකාරයෙන් එය ක්‍රියාත්මක නොවන බව නිරීක්ෂණය වී ඇත. පළිබෝධ නාශක අලෙවි සැල් නියාමනය ද ප්‍රමාණාත්මකව හා අඛණ්ඩව සිදු නොවන බව මෙම විගණයේදී පැහැදිලි වී තිබේ.

මෙහිදී කල්ඉකුත්වු පළිබෝධ නාශක පරිසර හිතකාමී ලෙස අපහරණය කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක නොවන බව නිරීක්ෂණය වූ බවත් 2019 සැප්තැම්බර් 30 වන විට කල්ඉකුත්වූ පළිබෝධ නාශක ද්‍රව ආකාරයෙන් ලීටර් 2057 ක් හා ඝන ආකාරයෙන් පළිබෝධනාශක කිලෝග්‍රෑම් 24153 ක් රාජ්‍ය අංශයට අයත් ස්ථාන කිහිපයක ගබඩා කර තිබූ බවත් මෙම විගණනයේදී හෙළිවී ඇත. මෙම කල්ඉකුත් වූ පළිබෝධ නාශක පරිසර හිතකාමී ලෙස අපහරණය කිරීමට අවශ්‍ය පියවර ගැනීමක් සිදු නොකර ඉතා දීර්ඝ කාලයක් අනාරක්ෂිතව ගබඩා කර තිබූ බවද මෙහිදී පැහැදිලි විය.

ආනයනය කරනු ලබන පළිබෝධ නාශක නියැදි රසායනාගාර පරීක්ෂණයකට භාජනය කිරීමට අවශ්‍ය මානව හා භෞතික පහසුකම් රේගුවේ ස්ථාපිත කර නොමැති අතර ආනයනකරු විසින් ඉදිරිපත් කරන තත්ත්ව සහතිකයට අදාළව මෙම පළිබෝධ නාශක නිෂ්කාශනය සිදුකරන බවත් මෙම විගණනයේදී හෙළිවූ බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා හෙළි කර තිබේ. ආනයනය කරනු ලබන සියලුම පළිබෝධ නාශක නියැදි රසායනාගාර පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය මානව හා භෞතික සම්පත් ප්‍රමාණවත් පරිදි පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ ස්ථාපිත කර නොතිබුණු බවද විගණකාධිපතිවරයා පවසයි.

අම්පාර, කළුතර, මාතර, ගම්පහ, කුරුණෑගල, පුත්තලම, නුවරඑළිය දිස්ත්‍රික්කවල වී, කොළ එළවළු, අන්නාසි, අඹ, ගස්ලබු, මිරිස් හා එළවළු සම්බන්ධ සිදුකරන ලද නියැදි පරීක්ෂාවේදී ගොවීන් විසින් පරිසරයට හා මානව සෞඛයට හිතකර ආකාරයට පළිබෝධ නාශක භාවිතය සිදු නොකරන බවද නිරීක්ෂණය විය.

පළිබෝධ නාශක භාවිතය හා පසුභාවිතය නියාමනය කිරීමට හා පාලනය කිරීමට අවශ්‍ය නිලධාරින්ට පුහුණුව හා අඛණ්ඩව දැනුම යාවත්කාලීන කිරීමට වගකිව යුතු ආයතන කටයුතු කළ යුතු බවද මෙහිදී පැහැදිලි වී ඇත. මෙම අධ්‍යයනය අනුව හෙළි වූ තවත් කරුණක් වූයේ 2018 වර්ෂය වන විට දිවයින පුරා පළිබෝධ නාශක අලෙවිසැල් 2094 ක් තිබුණත් ඉන් අලෙවි සහතික ලබා ගෙන තිබුණේ 1079 ක් පමණක් බවයි. මෙම විගණන වාර්තාවට අනුව පළිබෝධ නාශක ආනයනය, භාවිතය, කල් ඉක්තුවූ පළිබෝධ නාශක හා පලිබෝධනාශක හිස් බහාලුම් පරිසර හිතකාමී ලෙස ඉවතට දැමීම යන කරුණු සම්බන්ධයෙන් වගකිවයුතු ආයතනවල කාර්යක්ෂම බව වර්ධනය කර නොගතහොත් එමඟින් මානව සෞඛ්‍යයටත් සතා සිවුපාවාටත් ස්වාභාවික පරිසරයටත් අහිතකර ප්‍රතිවිපාක සිදුවිය හැකි බව විගණකාධිපතිවරයා පෙන්වා දෙයි.

මෙම විගණන අධ්‍යයනයේදී අස්වැන්න නෙළීමට ආසන්න එළවළු හා පලතුරු නියැදි 340 ක් පරීක්ෂාවට ලක්කර ඇත. ඉන් නියැදි 89 කම ජගත් ප්‍රමිති හා මෙරට ප්‍රමිති අනුව තිබිය යුතු උපරිම පළිබෝධ නාශක ප්‍රතිශතයට වඩා පලිබෝධනාශක අන්තර්ගතව තිබී ඇත. කොළ එළවළු නියැදි 124 න් නියැදි 56 ක් එනම් 46% කම පමණ පළිබෝධ නාශක බහුලව තිබී ඇත. ඊට අමතරව එළවළු නියැදි 186 න් 29 කම ප්‍රමිතිය ඉක්මවූ මට්ටමින් පළිබෝධ නාශක අන්තර්ගතවී තිබූ බව විගණකාධිපතිවරයා නිකුත් කළ විගණන වාර්තාවෙන් හෙළිවී තිබේ.

වයඹ විශ්වවිද්‍යාලය හා පළිබෝධ නාශක රෙජිස්ටාර් කාර්යාලය 2016 – 2917 වසරවලදී කළ පර්යේෂණයක් අනුව වාණිජ ලෙස වගා කරන කොළ එළවළුවල 100% ක්ම වාගේ පළිබෝධ නාශක අන්තර්ගත බව හෙළිවී තිබේ. පළිබෝධ නාශක රෙජිස්ටාර් ආචාර්ය සුමිත් ජයකොඩි පවසන්නේ පුත්තලම, නුවරඑළිය, කළුතර දිස්ත්‍රික්කවල නියැදි 700 ක් යොදාගෙන එම පර්යේෂණය කළ බවයි.

ඒ අනුව වානිජ ලෙස මහා පරිමාණයෙන් වගා කරන අස්වැන්න නෙළීමට ආසන්නව තිබූ ගොටුකොළ, මුගුණුවැන්න හා කතුරුමුරුංගාවල අන් එළවළුවලට වඩා පළිබෝධ නාශක අඩංගුව තිබූ බව මේ පර්යේෂණය මගින් හෙළිවී ඇත. ඒ සමඟම ගෝවා, තක්කාලි වැනි එළවළු වලත් අනෙක් එළවළු වලට වඩා පළිබෝධ නාශක අන්තර්ගත බව මින් අනාවරණය වී ඇත. මේ අනුව මෙරටට පසුගිය වකවානුවේ විවිධ වසරවලදී අඩු වැඩි වශයෙන් පළිබෝධ නාශක ගෙන්වා ඇත. ඒ අනුව වසරකට පළිබෝධ නාශක මෙට්‍රික් ටොන් 4000 සිට 8000 දක්වා ගෙන්වා තිබේ.

අපේ රටේ පාරම්පරික කෘෂිකර්මය හා කාබනික කෘෂිකර්මය මෙන්ම වාණිජ කෘෂිකර්මය මගින් රට ස්වයංපෝෂිත කිරීමට උත්සහ දරන මේ වකවානුවේ ඇතුවත් නැතුවත් බැරි පළිබෝධ නාශක පාවිච්චිය තිරසර ලෙස කළමනාකරණය කිරීම ජාතික කර්තව්‍යයක් බවට පත්ව තිබෙන බව කිව යුතුය. ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන් කෘෂි විද්‍යාඥයන් කෘෂි උපදේශකවරු හා ගොවි ජනතාව එක්වී පරිසර හිතකාමී කාර්යක්ෂම වැඩපිළිවෙළක් වහාම සකස් කළ යුතුව ඇත. silumina

Sourcesilumina

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles