Thursday, January 20, 2022

විදේශවල සිරවී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වා ගන්න – අගමැති

මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට ඊයේ (26) උපදෙස් දුන්නේය.

ඒ අනුව කොවිඩ්-19 වැළැක්වීමට අදාළ ජනාධිපති කාර්ය සාධක බළකාය සමඟ සාකච්ඡා කරමින් මෙම ශ්‍රමිකයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකදී රාජපක්ෂ මහතා විශ්වාසය පළ කළේය. ආර්ථික අපහසුතාවලින් පෙලෙන විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් මෙරටට පැමිණීමට නොහැකිව පීඩාවට පත්ව ඇතැයි රාජ්‍ය ඇමැති පියංකර ජයරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ අනුව මෙම ශ්‍රමිකයන් රැගෙන එන මඟී ගුවන් යානා සඳහා අවශ්‍ය අවසර ලබාදීම සහ ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ ඉටුකර දීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය. මෙසේ පැමිණෙන ශ්‍රමිකයන්ට අවශ්‍ය නිරෝධායන කටයුතු සඳහා තම තමන්ගේ නිවෙස්වල ඉඩ පහසුකම් අනුව අවසර ලබා දිය හැකිද යන්න පිළිබඳ ද ජනාධිපති කාර්ය සාධක බළකායේ අවධානය යොමු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මෙම අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ රාජ්‍ය ඇමැති පියංකර ජයරත්න, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යශයේ ලේකම් එස්.අරුමෛයිනායගම්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ, ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහත්වරු එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles