Monday, July 4, 2022

විදේශාධාර ඉහලින්ම ලැබෙන කාලයක් – ඇමති රවී

විදේශාධාර වැඩියෙන්ම ලැබෙන යුගය ඇරඹි බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා ප්‍රකාශ කෙළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 1. 5ක ණය මුදලින් පළමු වාරිකය ඩොලර් මිලියන 168ක මුදල ලැබීමෙන් මේ සඳහා කොළ එළිය දැල්වුණු බව මුදල් ඇමැතිවරයා කීය.

ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජපානය, යුරෝපීය රටවල හා වෙනත් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ රාශියකින් මෙරටට ණය ආධාර ලැබීමට මේ වනවිට සංඥා එළි දැල්වී ඇතැයිද ඇමැතිවරයා සඳහන් කෙළේය.

ඉතා අඩු පොලී අනුපාත හා ණය මුදල් ආපසු ගෙවීමේ දිගුකාලීන කාලපරාසයක් සහිත මෙරටට ලැබෙන මේ මුදල් යොදාගෙන රටේ යටිතල පහසුකම් නංවාලන ව්‍යාපෘති ආරම්භ කරන බවද රවී කරුණානායක මහතා කීය.

ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඉතා නුදුරේදීම ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 4ක නැතිනම් ඩොලර් කෝටි 400ක ණය ආධාර මුදලක් ලබා දෙන බව ඇමැතිවරයා අනාවරණය කළේය.

ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර ලෙස ජපානයෙන් රුපියල් කෝටි 5000ක්, ජර්මනියෙන් ඩොයිෂ් මාර්ක් බිලියන 18ක් මීට අමතරව රටට ලැබුණු බව මුදල් ඇමැතිවරයා කීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා 26 – 28 ජපානයේ සිදු කළ ජී 7 සමගාමී සමුළුව සහ ඉකුත් පෙබරවාරි මාසයේ ජර්මනියේ සිදුකළ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයේ දී මේ ණය ආධාර සඳහා එකඟතාවය පළ කැරිණි. ජනාධිපතිවරයාට අමතරව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ද ජාත්‍යන්තර මූල්‍ය ආර්ථික හා ආයෝජන සමුළු රාශියක් ඉකුත් කාලයේ දී සිදුකර තිබේ. එහි ප්‍රතිඵල ලෙසද නව විදේශාධාර රටට ලැබීමට ඇරඹී ඇතැයි කී මුදල් ඇමැතිවරයා මේ මුදල් රටට, ජනතාවට වඩාත් ප්‍රතිලාභ හිමි කර දෙන ව්‍යාපෘතිවලට පමණක් යොදා ගන්නා බවද කීය.

ශ්‍රී ලංකාවට විදේශාධාර ලැබීම් ඉහළයෑමට රට කෙරෙහි ජාත්‍යන්තරයේ සුබවාදී ප්‍රතිරූපයක් ගොඩනැගී තිබීම මුල් වූ බවද ඊට යහපාලන රජයේ විදේශ ප්‍රතිපත්තිය දායක වී ඇති බවද මුදල් ඇමැතිවරයා විස්තර කළේය.

විදේශාධාර ලබා ගැනීම සඳහා රජය අයවැයෙන් අනුමත කොට ගත් මුදලට වඩා කිසිදු මුදලක් ලබා නොගන්නා බව කී මුදල් ඇමැතිවරයා දැනට ලැබෙමින් පවතින මුදල් රටේ කෘෂිකර්ම, කර්මාන්ත හා සේවා අංශ තුනේ සමාජ ආර්ථික යටිතල පහසුකම් දියුණු කිරීමට යොදා ගන්නා බවද කීය.

මෙලෙස විදේශාධාර ලැබීම් ඉහළ යන මොහොතක, පිටරටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයෝද තම උපන් රටට ඉටු විය යුතු යුතුකමක් සේ සලකා තම විදේශ මුදල් මෙහි ආයෝජනයට පෙරට ආ යුතු බවද මුදල් ඇමැතිවරයා කීය. ඒ සඳහා ඉහළ හා දැඩි සුරක්ෂිතතාවයක් ප්‍රතිලාභ ලෙස ලබාදීමට රජය සූදානම් බවද රවී කරුණානායක මහතා ප්‍රකාශ කෙළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles