Wednesday, October 5, 2022

සජීන් සහ ප්‍රියාත්බන්දු ගේ ඉරණම නීතිපති අතේ..

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන සහ හිටපු වරාය සභාපති ආචාර්ය ප‍්‍රියත්බන්දු වික‍්‍රමට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද මූලික විමර්ශන අවසන් කර ඇත. 


අදාළ විමර්ශන කටයුතු අවසන් කිරීමෙන් පසුව ගත යුතු ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳව උපදෙස් ලබාගැනීම සඳහා පරීක්ෂණ වාර්තා මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති අතර නීතිපති උපදෙස් ලැබුණු වහාම අදාළ පුද්ගලයන් දෙදෙනාට එරෙහිව ඉදිරි නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට නියමිතය.


රජයේ දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා මත සජින් වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගත්තේ 2015 මැයි 11 වන දිනය. මාස හතරක කාලයක් බන්ධනාගාර ගතව සිටි මන්ත‍්‍රී සජින් වාස් දැඩි ඇප කොන්දේසි මත ඉකුත් සැප්තැම්බර් 23 වන දින ඇප මත නිදහස් විය.


ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රජයේ වාහන 24 ක් අයුතු ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන සිදු කළ අතර අදාළ විමර්ශන වාර්තා දැන් නීතිපතිවරයා වෙත යොමු කර ඇත.


 මීට අමතරව හිටපු වරාය සභාපති පි‍්‍රයත්බන්දු වික‍්‍රම අයුතු ලෙස ආදායම් ඉපැයීම පිළිබඳ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශන ආරම්භ කර තිබිණි.


ඒ අනුව ඔහුට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ලවී ඇති අතර ඔහු විසින් උපයන ලද කෝටි ගණනක වත්කම් උපයාගත්තේ කෙසේද යන්න පැහැදිලි කරදීමට ඔහුට නොහැකි වී ඇත.


අයුතු ලෙස මුදල් රැස්කිරීම පිළිබඳ පොලිස් විමර්ශන කටයුතු අවසන් කර පි‍්‍රයත්බන්දු වික‍්‍රම මහතාගේ ලිපි ගොනුවද නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර නුදුරේ දී ම සජින් වාස්ට සහ පි‍්‍රයත්බන්දුට එරෙහිව නඩු පැවරෙනු ඇතැයි  නීති අංශ පෙන්වා දෙයි.


(දයා නෙත්තසිංහ)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles