Monday, July 4, 2022

සැප වාහන ජනතා සේවය සඳහායි – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

මැති ඇමතිවරුන් යනු නිතර ගමන් බිමන් යන අය බැවින් වෙනත් අයට වඩා වාහනයක අවශ්‍යතාව පවතින බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය,කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

මැති ඇමතිවරුන්ට වාහන ලබාගැනීම සඳහා තමන් විසින් ඊයේ දිනයේ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට යොමු කළ බව හෙතෙම කියා සිටියේ අද(08)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදීය.

කොහොමත් වසර 5න් 5ට වාහනයක් ලබාගැනීමේ හැකියාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‍ට හිමිවන බවත්,ඒ අනුව වාහන සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම කිසිදු ගැටළුවක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

මෙහිදී මා‍ධ්‍යවේදියෙකු විමසා සිටියේ සාමාන්‍ය වාහන නොව එක් අමාත්‍යවරයෙකුට වාහනයක් සඳහා කෝටි 3.5ක්ද,තවත් අයෙකුට කෝටි 2.5ක්ද ආදී වශයෙන් කෝටි ගණනින් ඉතා ඉහළ වටිනාකමකින් යුතු වාහන සඳහා මුදල් වෙන්කිරීම අනුමත කළ හැකිද යන්නය.

ඊට ප්‍රතිචාර දක්වමින් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍යවරුන් පාවිච්චි කරන වාහනවල මිල ගණන් එවැනි ඉහළ මට්ටමක පවතින බැවින් ඒ අයුරින් මුදල් වෙන් කර ඇති බවයි.

ජනතාවට රටේ සංවර්ධනය සඳහා පටි තද කරගන්නැයි ඉල්ලීම් කරන අතරතුර මැති ඇමතිවරුන් පමණක් එවැනි කැප කිරීම් නොකරන්නේ මන්දැයි මෙහිදී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කරනු ලැබිණි.

අමාත්‍යවරයා එහිදී කියා සිටියේ සියලුදෙනාම එලෙස කැප කිරීම් කරන බව හා මැති ඇමතිවරුන්‍ට වාහන ගෙන්වන්නේද ජනතාවට සේවය කිරීමට බව අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවට එක්වුණු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද කියා සිටියේ ජනතාවට සේවය කිරීමට ගම් ප්‍රදේශවලට යාමේදී සාමාන්‍ය වාහනවලින් යාමට නොහැකි තරමට මාර්ග අබලන් තත්ත්වයේ පවතින බව හා ඒ සඳහා ‘ෆෝ වීල්’වාහන අත්‍යවශ්‍ය බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles