Monday, July 4, 2022

‘‘හෙණ ගහන අපරාධයකට’’ ගල් ගසා මරා දැමීම

ගල් ගසා මරණයට පත්කිරීම ඇරැඹෙන්නේ යුදෙව් ආගමෙනි. ඒ, මීට වසර තුන් දහසකට පෙරයි. ඉස්ලාම් ආගම එම සම්ප‍්‍රදාය කොපි කෙළේය. මුල් කාලයේ, අපරාධකරුවා පමණක් නොව, ඔහුට හෝ ඈට හිමි බූරුවා/බැටළුවාද ගල් ගසා මරණයට පත්කෙරුණි. අද බූරුවාව නිදහස් කොට මනුෂ්‍යයාට පමණක් ගල් ගසති.

යුදෙව් ආගම යටතේ එදා ගල් ගසා මරණයට පත්කෙරෙන මෙකි ‘‘හෙණ ගහන අපරාධ’’ වුණේ මොනවාද?

උපෝසථ දවසේදී (ඉරිදා) පින් දහම් නොකර වෙනත් වැඩපල කිරීම, දෙවියන්ට අපහාස කිරීම, සමලිංගික සේවනය, ප‍්‍රතිමා වන්දනාව, කන්‍යාවක් නොවන කාන්තාවක් කන්‍යාවක් බව අඟවා විවාපත් වීම, නගරයේදී හෝ කුඹුරේදී වෙනත් පුරුෂයෙකුට බහ දී ඇති කාන්තාවක් සමග සංසර්ගයේ යෙදීම සහ එළදෙනක් සමග සංසර්ගයේ යෙදීම ආදී වශයෙනි. මේ විකාර ‘අපරාධ’ සහ දඬුවම් අද යුදෙව් නීතිය තුළ නැත. එහෙත් ෂරියා නීතිපොත්වල, සමලිංගිකත්වය සහ අනාචාරය වැනි සමහරක් තවමත් ඉතිරි කරගෙන තිබේ.

ශ‍්‍රී ලාංකික කාන්තාවක් අනාචාරයේ හැසිරිණැයි කියන චෝදනාවක් මත ගල් ගසා මරා දැමීමට සෞදි අරාබි අධිකරණයක් තීන්දු කොට ඇත. 21 වැනි සියවසක් ගැන මොන තරම් තප්පුලෑවත්, අප වනාහී, තවමත් පුරාණ ලෝකයේ තිරශ්චීනත්වයක් සහ වනචාරීත්වයක් ඉවසන නරුම මිනිස් රොත්තක් බව මේ සිද්ධිය අපේ මුහුණටම කියාපායි. ලංකාවේ ‘ත‍්‍රස්ත මර්දන පනත’ වැනි දුෂ්ට නීති ඉවත් කරන්නැයි නිවැරදිවම ඉල්ලා සිටින ශිෂ්ට ලෝකයක්, අහිංසක ගැහැනියක් ගල් ගසා මරා දැමීමට ඉඩ හරින්නේ කෙසේදැයි කියා දිය හැකි ජගතෙක් වේද? ඉරාක මහ පොළොවේ ඇත්තෙන්ම නොතිබුණු ‘සංහාරක අවියක’ ව්‍යාජ අවසරය යටතේ ඉරාක පාලකයාව බලහත්කාරයෙන් මැඩලා ඝාතනය කළ ලෝකයක්, තමන් අභිමත පිරිමියෙකු සමග නිදාගැනීමේ වරදට ගැහැනියකට ගල් ගසා මරා දමන සෞදි පාලකයන්ව ඉවසන්නේ කෙසේද යන්න කියා දිය හැකි ජගතෙක් වේද?

මීට කලකට ඉහත සිරියාවේ කාන්තාවක් මේ වරද සම්බන්ධයෙන්, ‘ඉස්ලාමීය රාජ්‍ය’ නැමැති වනචාරී කල්ලිය විසින් කඹයකින් බැඳ වධක භූමිය වෙත ඇදගෙන විත් ගල් ගසා මරා දැමෙන වීඩියෝ පටය නැරඹුවොත්, ආගමික අන්තවාදය විසින් ලෝකයා වෙත මුදා හැරෙන ම්ලේච්ඡත්වය ඉදිරියේ නොහඬා සිටීමට කිසි මනුෂ්‍යයෙකු අසමත් වනු ඇත. එම ඝාතනය සිදු කිරීමට අණ දෙමින් ඇගේ ඝාතනය ඉදිරියේ සාක්ෂිකරුවෙකු වශයෙන් ආඩම්බරයෙන් පෙනී සිටින්නේ, සුදෝ සුදුවට හැඳ ගත්, ඇගේම පියා ය. සෑම ආගමක්ම එක සමානව ප‍්‍රතික්ෂේප කරන මේ ලියුම්කරු, ඕනෑම ආගමක නාමයෙන් කෙරෙන සෑම අපරාධයක් සම්බන්ධයෙන්ම එකී ආගමේ සෑම සාමාජිකයෙකුම සෘජුව නොවෙතත් වක‍්‍රාකාරව වගකිව යුතු බව තරයේ අදහයි. මගේ ‘සැබෑ ආගමේ’ ඔවැනි දෙයක් නැත කියා හෝ මා එවැන්නෙකු නොවේ යැයි කියා හෝ අත් හෝදා ගැනීමට කිසිවෙකුට පුලූවන් කමක් නැත. තමාගේ ‘නිවැරදි දහම/ආගම’ වෙනත් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් හෝ රටක් විසින් වැරදියට පාවිච්චි කරන තාක් කල්, ඒ ‘නිවැරදි’ ආගමිකයන් සියල්ලන්ම අර කී වැරැද්දට වගකිව යුතු වෙයි. මගේ දරුවා ISIS-stoning-of-Soraya-Sharia-Law-imposed-by-ISIS-on-Christians-e1411878330624කරන වැරැද්දක් නතර කැරැවීම සඳහා ගත හැකි සෑම පියවරක්ම නොගන්නා තාක් කල්, පියෙකු වශයෙන් මා වැරදිකරුවෙකු වන්නා සේ ය. බොදුබල සේනා ෆැසිස්ට්වාදීන් බුදුන්ගේ නාමයෙන් ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ට සහ කතෝලික ජනතාවට පහර දෙද්දී සහ ඔවුන්ගේ දේපල විනාශ කරද්දී ඊට එරෙහිව සෑම බෞද්ධයෙකුම එදා නැගී සිටිය යුතුව තිබුණේ යම් සේ ද, ඒ ආකාරයෙන්ම, ඉස්ලාම් ධර්මයේ නාමයෙන් කෙරෙන මෙවැනි විනාශයන්ට එරෙහිව මුලින්ම නැගී සිටිය යුත්තේද ඉස්ලාම් භක්තිකයන්ම බව අවධාරණයෙන් කිව යුතුය. වාසනාවකට, අද මුළු මහත් ලෝකයම පාහේ (මුස්ලිම් ලෝකයද ඇතුළුව) ‘ඉස්ලාමීය රාජ්‍යය’ කල්ලිය විසින් මුදාහැර ඇති ම්ලේච්ඡත්වයට එරෙහිව නැගී සිටිති. එහෙත්, සෞදි අරාබිය වැනි රටක පවති, නූතන ලෝකයේ නොපැවතිය යුතු නෛතික ම්ලේච්ඡුත්වයක්, අනිත් පැත්තෙන් මුළු ලෝකයාම ඉවසා සිටිති.

සෞදි අරාබියේ ෂරියා නීතිය අනුව, කෙනෙකු අනාචාරයේ හැසිරුණු බව ඔප්පු කිරීම සඳහා ඇසින් දුටු සාක්ෂිකරුවන්, ගැහැනුන් නම් අට දෙනෙකුද, පිරිමින් නම් හතර දෙනෙකුද, අවශ්‍ය කරන බව කියැවේ. මේ වරද, නීතිය ඉදිරියේ ‘අපරාධයක්’ වශයෙන් සළකන අතරේම එය ඔප්පු කිරීම ඒ සා දුෂ්කර කාර්යයක් බවට පත්කොට ඇත්තේ, දඬුවම අධෛර්යමත් කිරීමට බව කියති. එහෙත් අදාළ කාන්තාව විසින්ම තමන් කළ ‘අපරාධය’ ගැන පාපොච්චාරණයක් කර තිබීම නිසා ඉහත කී සාක්ෂිකරුවන් දැන් අවශ්‍ය නොකරන බවත් දැන ගන්නට ඇත. මේ අහිංසක ගැහැනියගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඉහත කී නීතිමය කරුණු ගැන සැළකිලිමත්ව කටයුතු කිරීමට අපේ බලධාරීන් වගබලා ගත යුතුය. ඒ සම්බන්ධයෙන් වන නීතිමය මැදිහත් වීමක් ලංකාවේ ආණ්ඩුව පැත්තෙන් දැනටමත් සිදු කෙරෙමින් පවතින බව දැන ගන්නට ලැබීම සතුටකි. ඇගේ ජීවිතය, අනාගත විසඳුමක් වෙනුවෙන් අද පරදුවට තැබිය නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත. එනිසා, සෞදි නීතිය සහ ආණ්ඩුව සමග අපේ බලධාරීන් වහා කාර්ය නියුක්ත විය යුතුව තිබේ.

එහෙත්, මූලික ප‍්‍රශ්නය අප මගහැරිය යුතු නැත. එනම්, මේ කියන ප‍්‍රශ්නය අපේ කාන්තාවට පමණක් අදාළ වන හෝ ඇගේ ජීවිතය බේරා ගැනීමකින් පමණක් අවසන් වන ප‍්‍රශ්නයක් නොවන බව වටහා ගැනීමයි. එබැවින් මේ සම්බන්ධයෙන් විවිධ අය ඉදිරිපත් කරන විසඳුම් ගැන වඩාත් යථාවාදීව බැලීමට අපට සිදුවෙයි. ඒ අතර, ඇතැමුන් කියන්නේ, අපේ කාන්තාවන් සෞදි අරාබියේ සේවයට යැවීම නතර කළ යුතු බවයි. තවත් අය කියන්නේ, එරටට යන අපේ පුරවැසියන්ට එරට නීතිරීති ගැන අවබෝධයක් ලබා දීමට කටයුතු කළ යුතු බවයි. ඊටත් එහාට යන තවත් අය, අපේ පිරිමින්ට සහ ගැහැනුන්ට විදෙස්ගත වීමට හේතු වන්නා වූ ප‍්‍රශ්නවලට දීර්ඝ කාලීන විසඳුමක් දේශීය වශයෙන් අපේක්ෂා කරති. ඒ අනුව, ලංකාවේ රැකියා අවස්ථා සම්පාදනය කරමින්, ලංකාවේම ගෞරවාන්විත ජීවිකාවක් උපයා ගැනීමේ පසුබිමක් සකස් කළ යුතු බව ඔවුහූ පෙන්වා දෙති. මේ සියලූ හේතු කාරණා, අදාළ ප‍්‍රශ්නය තමන්ට බලපාන කෝණයෙන් බලා ඉදිරිපත් කරනු ලබන විසඳුම් වශයෙන් හඳුනාගත හැකිය. එහිදී පවා ඉදිරිපත්ව ඇති ඇතැම් යෝජනා, හුදෙක් හිස් විසඳුම් බව පෙනේ. උදාහරණයක් වශයෙන්, අපේ කාන්තාවන් පිටරට ගෘහ සේවයට යැවීම නතර කරන්නැයි කරන ඉල්ලීම, රටේ ආර්ථිකය පැත්තෙන් ගත්තත්, අදාළ සේවක සේවිකාවන්ගේ පෞද්ගලික පැවැත්ම පැත්තෙන් ගත්තත්, තවත් ප‍්‍රශ්න රාශියකට මුල පිරීමක් මිස, අපටම වුව, විසඳුමක් වන්නේ නැත. ඔවුන් විදේශගත වීමේ පෙළඹවීම අවම කිරීම සඳහා ලංකාවේම රැකියා කිරීමට හැකියාව ඇති කරන සංවර්ධනයක් ඇති කිරීම, අපේ පැත්තෙන් ගත් විට, ඊට වඩා වැදගත් යෝජනාවකි. එහෙත් එවැන්නක් ගැන බලාපොරොත්තු තබා ගැනීම දුෂ්කර ය. ඊටත් වඩා එය දීර්ඝ කාලීන ය.

ඉහත කී අහිංසක කාන්තාවගේ ජීවිතය බේරා ගැනීමේ ක්ෂනික අවශ්‍යතාවට අමතරව අප ඉදිරියේ මේ හොල්මන් කරන්නේ පොදුවේ මනුෂ්‍යත්වය බේරා ගැනීමේ ප‍්‍රශ්නයක් බව සිහියට ගැනීම වටී. එල්ලා මැරීමේ දී එම ක‍්‍රියාව කරන තනි පුද්ගලයෙකු හෝ කිහිප දෙනෙකු අපට හඳුනා ගත හැකිය. ගල් ගසා මැරීමේදී එම ඝාතනය සිදු කරන තනි පුද්ගලයෙකු නොමැත. අහවලා ඝාතකයා යැයි ඇඟිල්ල දිගු කොට පෙන්විය හැකි අලූගෝසුවෙකු එතැන නැත. ඒ වෙනුවට සිටින්නේ ඝාතකයන් සමූහයකි. ශිෂ්ටාචාරය විසින් යුක්තිය ඉල්ලා දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය කරගත් දණ්ඩ නීති පද්ධතියක් තුළ, මේ ඝාතන ක‍්‍රියාව හැකි තාක් සමාජයෙන් ඈත් කොට විශේෂිත ආයතනික පද්ධතියක් තුළ, පොලීසිය, නීතිඥයන්, අධිකරණ නිලධාරීන් වැනි සීමිත පිරිසකට පවරා තිබේ. ගල් ගසා මැරීම තුළ ඉහත කී පිරිසට අමතරව සමස්ත සමාජයමත් ප‍්‍රායෝගිකවම සිටිති. එය තනි ක‍්‍රියාවක් නොව, සාමූහික සහ සමාජයීය ක‍්‍රියාවක් බවට පත්කෙරේ. ඒ අනුව, ගල් ගසා මරණයට පත් කිරීම යනු, එක පැත්තකින් ම්ලේච්ඡුත්වය මුළු සමාජය පුරාම පැතිරවීමක් වන අතරේ අනිත් පැත්තෙන් ඒ මගින් ම්ලේච්ඡත්වය එහි woman-caught-in-adultery1අන්තයටම ගෙන යාමටත් වගබලා ගනු ලැබේ. උදාහරණයක් වශයෙන්, ෂරියා නීතිය යටතේ මේ ඝාතනය සිදු කරන රටවල නීතියට අනුව, අපරාධකරුවාව/අපරාධකාරියව ඝාතනය කිරීම සඳහා පාවිච්චි කරන ගල්, පමණට වඩා විශාල විය යුතු නැති බවත්, පමණට වඩා කුඩා විය යුතු නැති බවත් සඳහන් ය. පමණට වඩා විශාල විය යුතු නැති බවට පැනවීමක් ඇත්තේ, විශාල ගලකින් වදින තනි පහරකින් එක වර මරණයට පත්වීම වළක්වා ගැනීමටයි. එනම්, අපරාධකරුවා/අපරාධකාරිය උපරිමයෙන් සහ වැඩිම වේලාවක් විඳවිය යුතු බව අර ඝාතක සාමුහිකයෙන් අපේක්ෂා කෙරේ.

සාක්ෂිකරුවන් සියයක් සිටියත්, අනාචාරය වැනි ‘වරදක්’, ගල් ගසා හෝ වෙනත් ආකාරයකින් කෙනෙකුව මරණයට පත්කිරීමට තරම් වන ‘අපරාධයක්’ යැයි කීමම, සකල ශිෂ්ටත්වය තිරිසන් ලෙසින් පාගා දැමීමකි. මෙය, සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ ජීවිතයට ඇති අයිතිය සමස්ත ලෝකයා විසින්ම ජය ගත යුතු අභියෝගයක් සේ භාර ගැනීම ඉල්ලා සිටින මොහොතකි. හේතුව, ජීවිතය යනු, මොනම දේව ධර්මයකින් හෝ ලෞකික පැනවීමකින්වත් අනෙකෙකු විසින් පැහැර ගත යුතු දෙයක් නොවන බැවිනි. මේ නිසා ලංකාවේ එල්ලූම් ගස ඉල්ලා කෑගසන ස්ත‍්‍රීන් සහ පුරුෂයන් මේ අහිංසක ගැහැනිය ගල් ගසා මරා දැමීමට එරෙහිව උද්ඝොෂණය කරන අතරේම, අර කී මූලික මනුෂ්‍යත්වය ගැනත් සිතා බැලීම වටී.

(ගාමිණී වියන්ගොඩ)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles