Friday, August 19, 2022

ෆේස්බුක් මගින් දිවිනසාගැනීම් හෙලිකිරීම අනතුරුදායකයි

සිය දිවි නසා ගැනීම පිළිබඳ වාර්තාකරණයේදී ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි සහ ඇතැම් ඉලෙක්ට්‍රොනික හා මුද්‍රිත මාධ්‍ය ක්‍රියා කරන ආකාරය සමාජයට අතිශයෙන් හානිදායක විය හැකි යැයි කැලණිය විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ(රාගම) ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ.ඒ.එල්.ඒ. කුරුප්පුආරච්චි මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ ලක්බිම ඔන්ලයින් වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා මෙසේද කීය.

දිවි නසා ගැනීමක් කියන්නේ ජීවිතයේ ප්‍රශ්න ගැටුලු අර්බුද වලට විසදුම් සොයනු වෙනුවට ඒ ප්‍රශ්න ගැටලු අර්බුද එලෙසම තිබියදී ජීවිතයෙන් පලා යාමක්. නමුත් ඒ සංසිද්ධීය දෙස විවිධ පුද්ගලයන් විවිධ කෝණ වලින් දැකිය හැකියි.

නමුත් එවැනි සිද්ධීන් ජනතාව අතරට ගෙන යන මාධ්‍ය කරුවා එහිදී  දැඩි සංයමකින් සහ ශික්ෂණයකින් ක්‍රියා කළ යුතුයි.

එසේ නොමැති නම් එම දිවි නසා ගැනීම තුළින් සමාජය තුළ තවත් එවනිම දිවි නසා ගැනීම් (Copycat suicide) පෙළකට ඉඩ සැලසීම වළක්වන්නට බැහැ.

සාමාන්‍ය කෙනෙකු දිවි නසා ගැනීමේදී මාධ්‍ය මගීන් ලැබෙන ප්‍රසිද්ධිය වඩා රූමත්, ධනවත්, ජනප්‍රිය හෝ ඉහළ වෘත්තීන්හි නියළෙන පුද්ගලයන්ගේ දිවි නසා ගැනීම් සඳහා මාධ්‍ය මගීන් වැඩි ඉඩ කඩක් ලබා දෙනවා. ඒ එවන් සිද්ධීන් සම්බන්ධයෙන් ජනතාව තුළ පවත්නා ස්වභාවික උනන්දුව මුල් කොට ගෙනයි.

නමුත් කිසියම් රූමත් තරුණියක් දිවි නසා ගත් පසු ඒ ප්‍රවෘත්තිය සමඟ ඇගේ රූමත් බව විදහා දැක්වෙන ඡායාරූප ඉදිරිපත් කිරීමෙන් රූමත් බව කෙරෙහි ඇති සමාජමය ඉල්ලුම හා වටිනාකම ඒ දිවි නසා ගැනීම කෙරෙහි ද යොමු වන්නට පුළුවන්.

ඒ වගේම සමාජ පුරුෂාර්ථ වශයෙන් සැලකෙන උගත් ධනවත් ආදී තත්වයන් වල පසුවන්නවුන් සිදු කළ දිවිනසා ගැනීම් මාධ්‍ය මගීන් ප්‍රසිද්ධ කිරීමේදී ඔවුන් ගේ වටිනාකම හුවා දැක්වීමෙන්ද තවත් පිරිසක් තුළ ඒ දිවිනසා ගැනිීම් වලද කිසියම් වටිනා කමක් තිබෙන්නාක් සේ හැගී යා හැකියි.

ඒ නිසා එවනි දිවි නසා ගැනීම් පසු පස එබදු හෝ ඒ ආකරයේ දිවි නසා ගැනීම් කිහිපයක් සිදු වීමේ පැහැදිලි අවදානමක් තිබෙනවා.

මෙහිදී අදහස් දැක් වූ මහාචාර්ය කුරුප්පුආරච්චි මහතා මෙසේද කීය.

ෆේස්බුක් ඇතුලු නූතන සමාජ ජාලා වෙබ් අඩවි වල දිවි නසා ගැනීම්, හදීසි අනතුරු සහ අපරාධ ආදිය පිළිබඳ ජංගම දුරකථන ආදියෙන් ලබා ගත් ජායාරූප එලෙසින්ම ප්‍රසිද්ධ කොට තිබෙනු දකින්නට පුළුවන්.

මේවා ද  සමාජයේ මානසික සෞඛ්‍යය කෙරෙහි දැඩි සේ අනර්ථකාරී ලෙස බලපෑ හැකියි.

පලමුව මේවා දැකීමෙන් සමහරුන් තුළ මානසික කම්පනයක් (Psychological trauma) ඇතිවිය හැකි අතර පසුව එය පශ්චාත් ක්ෂතික ආතති ආබාධය (Post-traumatic stress disorder) නම් මානසික රෝගී තත්වය දක්වාත් වර්ධනය විය හැකියි.

ඒ අතර තවත් සමහරුන් තුළ මේවා නිතර නිතර දැකීම නිසා ඒ සම්බන්ධයෙන් ඇතිවිය යුතු සාමාන්‍ය සංවේදීතාව පවා නොමැතිව විසංවේදීකරණය (Desensitization) නම් තත්වයට පත් විය හැකියි.

ඒ නිසා ෆේස්බුක් ඇතුලු සමාජ ජාලා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගීන් දිවි නසා ගැනීම් පිළිබඳ කතා කරන සෑම විටම ඒවා වැලැක්විය හැකි ආකාරයට එම පුවත් හා ඡායාරූප සකස් කළ යුතු බව මහාචාර්ය කුරුප්පුආරච්චි මහතා කියයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles