Wednesday, August 17, 2022

GSP+ සමඟ රට අගතියෙන් ප්‍රගතියට

GSP+ (වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය) යනු සංවර්ධනය වන රටවල අපනයන පුළුල් කිරීම මගින් විදේශ විනිමය ඉපැයීම් වැඩි කර ගැනීමට සහාය වීම පිණිස කාර්මික රටවල් විසින් ගන්නා ලද සාමූහික ජාත්‍යන්තර ප්‍රයත්නයක කොටසක් ලෙස 1972 දී ක්‍රියාත්මක කරන ලද සංවර්ධනය වන රටවල් සඳහ වන අනුග්‍රහක තීරුබදු වරණයන් ක්‍රමයකි. වඩාත් පැහැදිලිව දැක්වුවහොත් ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවලට ආවේණික වූ ගත ස්වභාවයන් වන දිළිඳුකම අවම කිරීම, යහපාලනය වර්ධනය කිරීම සහ තිරසර සංවර්ධනය ළඟා කරගැනීමේ අරමුණු දිනාගැනීම වෙනුවෙන් දිරිගැන්වීමක් වශයෙන් එම රටවල අපනයනයන් සඳහා තීරුබදු රහිත ක්‍රමයක් යටතේ යුරෝපීය රටවල වෙඳළපොළ විවෘත කිරීමේ ක්‍රමවේදයයි.

GSP+ සහ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් රටට වැඩි ප්‍රතිලාභයක් අත්කර ගැනීමේ හැකියාව සහිත GSP+ ශ්‍රී ලංකාවට ප්‍රතථමවරට හිමි වන්නේ 2005 වර්ෂයේ දීය. සුනාමි අනතුර හරහා රට තුළ සිදුවූ විනාශය මේ සඳහා බලපෑ ආසන්නතම සාධකය ලෙස දැක්විය හැක. එතැන් පටන් වසර 3ක කාලයක් සඳහා GSP+ සහනය අත් වුව ද 2008 වර්ෂයෙන් පසු තවත් එක් වර්ෂයක් සඳහා එය හිමිවන්නේ අන්තර් ජාතික ප්‍රඥප්ති 3ක් (එනම් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය, වධහිංසාවට එරෙහි ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය) ක්‍රියාත්මක කිරීමේ තිබූ බරපතළ අඩුපාඩු පිළිබඳ විමර්ශනයකට යටත්ව ය. එම විමර්ශනයෙන් හෙළි වූ

බරපතළ අඩුපාඩු ආමන්ත්‍රණය නොකිරීම නිසා 2010 වර්ෂයේ සිට ලංකාවට GSP+ අහිමි විය.

2015 වර්ෂයේ පත්වූ නව ආණ්ඩුව විසින් පසුගිය වසර දෙක තුළ නැවතත් මේ රට මානව හිමිකම් සුරකින, යහපාලනය සහ ප්‍රජාතන්ත්රනවාදය ආරක්ෂා කරන මෙන්ම තිරසර සංවර්ධනයක් අපේක්ෂාවෙන් කටයුතු කරන රටක් බව තහවුරු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස GSP+ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව හිමි විය. එසේම පසුගිය අප්‍රේල් 27 වෙනිදා බ්‍රසල්ස්හි පැවැති යුරෝපා පාර්ලිමේන්තු සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබාදීමට එරෙහිව ගෙනෙන ලද යෝජනාව වැඩි ඡන්ද 317කින් පරාජය වීම ද ශ්‍රී ලංකාව පැත්තෙන් ලද අති විශිෂ්ට ජයග්‍රහණයකි. ඒ අනුව ඉදිරියේ දී GSP+ බදු සහනය හිමිවීමේ අවස්ථාව තව තවත් ආසන්න වෙමින් පවතී.

GSP+ නොලැබේවා යනුවෙන් ප්‍රාර්ථනය 2015 දී පරාජිත මහින්ද රාජපක්ෂ ඇතුළු නඩය දැන් දැන් තමන්ගේ පැවැත්ම අර්බුදයට යන විට දේශපාලන කුහකකම් මතුපිටට පෙන්වමින් සිටී. පසුගිය දා ජී.එස්.පී. ප්ලස් බදු සහනය මෙරටට ලබා දීම සඳහා යුරෝපා කොමිසම නිර්දේශ කළ විට මහින්ද රාජපක්ෂ මහතා කීවේ එයින් වැඩක් නැත කියාය. එසේම බන්දුල ගුණවර්ධනට අනුව රසවත් චොක්ලට් වගේ වුනත් එය සයනයිඩ් කරලක් කියාය. ඇතැම් මාධ්‍ය ද ඒ සඳහා උල්පන්දම් පත්තු කරනු පෙනේ. මේ අනුව හෙට අනිද්දාට අපට ජීඑස්පී එපා කියමින් මේ අය උද්ඝෝෂණය කළ ද අරුමයක් නොවේ. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ ඔවුන්ගේ පැවැත්ම මේ රටතුළ තහවුරු කරගැනීම වෙනුවෙන් මේ රට ජරාජීර්ණ වීමය. ඒ අනුව යහපාලන ආණ්ඩුව විසින් බලවත් උත්සහයකින් සිදුකරන මේ රටේ ආර්ථිකය දියුණු කිරීමේ ක්‍රමවේදය, ප්‍රයත්නය කඩාකප්පල් කිරීමේ අරමු සහිත රාජපක්ෂලාගේ පැතුම වී ඇත්තේ රටට යම් ආර්ථික ප්‍රගතියක් අත්කර දීමට සමත් GSP+ නොලැබේවා යන්නයි.

GSP+ සහ රටේ ස්වෛරීත්වය GSP+ තීරුබදු සහනය ලබාගැනීමට රටේ ස්වෛරීත්වය පාවා දෙමින් සිටින බවට රාජපක්ෂලා ඇතුළු ඔවුන් නියෝජනය කරන කණ්ඩායම් චෝදනා කරමින් සිටී. පසුගිය රාජපක්ෂ පාලන සමයේ අත්තනෝමතික හා බලහත්කාරී ක්‍රියාපිළිවෙත නිසා මුළු ලෝකයටම අප රට එපා කරවූ ආකාරය අප අත්දැක ඇත්තෙමු. එහි එක් ප්‍රතිඵලයක් ලෙස 2010 වර්ෂයේ සිට වසර 07ක් පුරාවට GSP+ තීරුබදු සහනය අපට අහිමි විය. එය නැවත දීනා ගැනීමේ අවසාන මොහොතට පැමිණි සිටින මේ අවස්ථාවේ ඔවුන් නඟන චෝදනාවල අරමුණ වී ඇත්තේ, වත්මන් රජය විසින් රටේ ජනතාවගේ ප්‍රගතිය වෙනුවෙන් ලබා ගැනීමට උත්සාහ කරන මෙම ජයග්‍රහණයට නිග්‍රහ කිරීම සහ අවතක්සේරු කිරීමයි.

රාජපක්ෂ සමයේ මෙන් දැන් රටතුළ සුදුවෑන් සංස්කෘතියක් නැත. අතුරුදන් කිරීමක් නැත. ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් තැන තැන මිනිසුන් මරාදැමීමක් නැත. සිය අත්තනෝමතික පැවැත්ම වෙනුවෙන් ව්‍යවස්ථා, පනත් හෝ වෙනත් ඕනෑම සම්මුතීන්හි වෙනස්කමක් සිදු කරන්නේ ද නැත. බලහත්කාරී ඉඩම් කොල්ලකෑමක් නැත. එපමණක් නොව මුළු රටම වසාගෙන සිටි රාජ භීතිකාවක් නැත. ඒ අනුව දැන් ශ්‍රී ලාංකිකයෝ රාජපක්ෂලාගේ වහලුන් නොවෙති. ඔවුහු ස්වාධීනව කටයුතු කරන්නෝ වෙති. ස්වෛරීත්වය, ස්වාධීනත්වය මෙන්ම ප්‍රජාතන්ත්රවවාදය රට තුළ මනාව ස්ථාපිත වෙමින් පවතී. එවන් සමයක රාජපක්ෂලා මේ අභූත චෝදනානඟන්නේ ඔවුන්ගේ දේශපාලන බංකොලොත්භාවය සහ නොහැකියාව වසා ගැනීමේ එකම අරමුණ පදනම් කරගනිමින් බව තවදුරටත් පැහැදිලි කළ යුතු නොවේ යැයි සිතමු.

GSP+ සහ වෙළඳ පංගුව ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනයෙන් 36%ක තරම් විශාල පංගුවක් හිමිකර ගෙන ඇත්තේ යුරෝපා වෙළඳපොළයි. ඒ අනුව යුරෝපා වෙළඳපොළ යනු ශ්‍රී ලංකාවේ අපනයනය සඳහා ඇති විශාලතම වෙළඳපොළ වෙයි. GSP+ බදු සහනය යටතේ ලංකාවේ අපනයන භාණ්ඩ වර්ග 6400කට තීරු බදු සහනය හිමි වීමම ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් සුවිශේෂී තත්ත්වයකි. තවද ශ්‍රී ලංකාවේ සමස්ත ඇඟලුම් අපනයනයෙන් 46%ක් මිලදී ගනු ලබන්නේ යුරෝපා වෙළඳපොළ බව ද සැලකිය යුතුය. මෙහිදී වඩාත් වැදගත් කරුණ වන්නේ ලංකාවේ ලක්ෂ 15කට අධික ජනතාවක් සිය ජීවනෝපාය සකසා ගනු ලබන්නේ ඇඟලුම් කර්මාන්ත ආශ්‍රිතව වීමයි. 2005ට පෙර ලංකාවේ සමස්ත රෙදිපිලි අපනයනයේ වාර්ෂික වර්ධනය ප්‍රතිශතය 1%ක්ව පැවැති අතර GSP+ බදු සහනය හිමිවීමෙන් පසු 16%ක් දක්වා වර්ධනය විය. එමඟින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්ත ආශ්‍රිත රුකියා දස දහස් ගණනින් නිර්මාණය විය.

2005 වර්ෂයට පෙර වසර පහක කාලය සලකා බැලීමේ දීGSP+ නොමැති තත්ත්වයක් යටතේ යුරෝපා වෙළඳපොළ සිදු කළ ලංකාවේ සමස්ත අපනයනයේ වාර්ෂික වර්ධනය 11.5%ක්ව පැවැති අතර GSP+ සහනය හිමිව තිබූ 2005 -2009 කාල සීමාව තුළ එය 16.4%ක් දක්වා වර්ධනය විය. එසේම රාජපක්ෂ පාලනයේ දෙවැනි යුගය වූ 2010 ත් 2014ත් අතර කාල සීමාව තුළයුරෝපා රටවල සිදුකළ සමස්ත අපනයනයේ වාර්ෂික වර්ධනය 7.4%ක් දක්වා පහත වැටී තිබෙනු දැකගත හැකිය.

GSP+අහිමිවීම තුළ රාජපක්ෂලාගේ නොහැකියාව GSP+ලබා ගත් 2005 වසරේ දී මේ ප්‍රඥප්ති අනුව ක්‍රියාත්මක වන බවට සහතිකයක් මෙරට ආණ්ඩුව විසින් ලබා දුන්න ද එය ක්‍රියාත්මක වූයේ නැත. විශේෂයෙන්ම යුද සමයේ දී බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුවිය. යුරෝපා සංගමයේ නිරීක්ෂණයන්ට අනුව එකඟතා කොන්දේසි කඩ කිරීම නිසා එම සහනය මෙරටට අහිමි විය. ඒ එවකට පැවැති රාජපක්ෂ පාලනය විසින් මෙරට මහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් නොතකා, සිය අත්තනෝමතික සහ බලහත්කාරී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයකි.

එපමණක් නොව රාජපක්ෂවරු 2015 දී පරාජය වන තුරු ඔවුන් ලංකාවේ සමස්ත ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම්, මානව හිමිකම් කිසිදු ආකාරයකින් ආරක්ෂා කිරීමට උත්සහයක් හෝ නොකළේය. යම් හෙයකින් එසේ වූවා නම් මීට පෙර GSP+ මෙරටට ලබා ගැනීම වෙනුවෙන් අවම වශයෙන් ඉල්ලුම් කිරීමට හෝ හැකියාවක් තිබුණි. නමුත් යුරෝපා සංගමය සමඟ කිසිදු අන්යෝන්‍ය ගනුදෙනුවක් සිදු නොකළ එකී සමයේ ලංකාවේ පාලනය රාජපක්ෂවරුන්ට අවැසි පරිදි රාජ්‍ය පාලනය කළා විනා මානව හිමිකම් තුට්ටුවකට මායිම් නොකළේය.

වෙළඳ හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන ආකාරයට GSP+ අහිමිව තිබූ වසර 6ක කාලය තුළ ලංකාවට අහිමි වූ අපනයන ආදායම රුපියල් බිලියන 150කට අධිකය. රාජපක්ෂ පාලනය විසින් පෙන්වා දුන් ආකාරයට GSP+ අහිමි වීම නිසා රැකියා අවස්ථා 10,000ක් නැති වී ඇත. නමුත් වෙළඳ හා වාණිජ කටයුතු අමාත්‍යාංශ දත්ත අනුව රැකියා අවස්ථා 150,000ක ප්‍රමාණයක් අහිමි වී ඇත. එසේම GSP+ අහිමිවූ මුල් කාලයේදීම ඇඟලුම් ක්ෂේත්‍රයේ පමණක් කර්මාන්ත ශාලා 25ක් වසා දැමුණු අතර නව කර්මාන්ත ආරම්භ කිරීම වෙනුවෙන් ව්‍යාපාරික ප්‍රජාව වෙනත් රටවල් කරා සංක්‍රමණය වීමද මෙහිදී බරපතළ ලෙස සැලකිය යුතුය.

එපමණක් නොව මෙම තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවට හිමිව තිබූ යුරෝපා වෙළඳපොළ කොටස් GSP+ හිමිව තිබූ බංගලාදේශය, වියට්නාමය හා ඉන්දුනීසියාව වැනි රටවල් විසින් අත්කර ගනු ලැබීය. මෙකී ආර්ථික පාඩුව පියවා ගැනීමේ අරමුණින් යුතුව නැවතත් GSP+ වෙනුවෙන් ඉල්ලුම් කිරීමේ හැකියාව ලංකාවට හිමි වූයේ වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ ය. ඒ 2015 ජනවාරි මස සිට බලවත් උත්සාහයකින් යුතුව මේ රට තුළ ක්‍රියාත්මක කළ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළ හේතුවෙනි. එසේ නොමැතිව රාජපක්ෂවාදී කල්ලි කණ්ඩායම් සමාජගත කිරීමට උත්සහ කරන ඇතැම් අභූත කාරණා මත නොවේ.

කෙසේ නමුත් මැයි මස GSP+ සහනය ලංකාවට ලැබීමට නියමිතව ඇති අතර මේ සම්බන්ධයෙන් වෙළඳ ප්‍රජාව තුළ මහත් උනන්දුවක් නිර්මාණය වී ඇති බව පෙනේ. GSP+සහනය ලංකාවට හිමිවීමට නියමිත බව වාර්තා පළවූ පසුව ඉන්දියාවේ විශාලතම බයිසිකල් නිෂ්පාදන සමාගම වන HERO සමාගම ලංකාවේ එම බයිසිකල් නිෂ්පාදනය කරන සමාගමේ 60%ක කොටස් මිලදී ගැනීමට කටයුතු කළේය. එවැනි විශාල ආයෝජනයක් සිදුකිරීමට හේතුවී ඇත්තේ GSP+ ලැබෙනවා යන විශ්වාසයයි. ඒ තුළින් දැනට නිෂ්පාදනය කරනු ලබන බයිසිකල් 250,000ක ප්‍රමාණය 2019 වෙද්දි මිලියනයක් (10,00,000) දක්වා වැඩි කිරීමට සැලසුම් සකස් කර ඇත.

ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් මේ ආණ්ඩුව අත්කරගෙන ඇති ශක්තිමත්භාවය, විශ්වාසය දේශපාලනයේ බංකොළොත්භාවයට පත්ව ඇති රාජපක්ෂලා ඇතුළු නඩයට රුස්සන්නේ නැත. ඒ ඔවුන්ගේ නොහැකියාව සමාජය ඉදිරියේ පෙන්නුම් කෙරෙන දර්ශකයක් වන නිසාය.

GSP+ නොමැතිවත් රාජපක්ෂලා වේගවත් වැඩකොටසක් සිදුකළ බව ඇතැමුන් පවසනු අසා ඇති නමුත් නැවතත් ඒ කියමන විමසා බැලිය යුතු බව පැවසිය යුතුය. මන්ද යුදසමය අවසන් වූ සැනින් රාජපක්ෂලා සිය බලලෝභී අත්තනෝමතික ගමනක නිරත වූවා විනා රටට සුගතියක් අත්කර දීමට සමත් දැක්මක් සහිතව ගමනක යෙදුනේ නැත.

සමාජය ආර්ථික, සමාජ, සංස්කෘතික වශයෙන් ද වඩ වඩාත් පීඩාවට පත්කරමින් භීතිය රාජ්‍ය පාලනයේ දැක්ම ලෙස යොදා ගනිමින් රාජපක්ෂවරු කටයුතු කළ ආකාරය නැවත නැවත පැහැදිලි කළ යුතු නොවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles